තවත් කෙනෙකුට අතපා ජීවත් වීම තරම් අවාසනාවන්ත බවක් තවත් තියේවිද? නමුත් එවැනි අවාසනාවන්ත ජීවිත ඕනෑ තරම් අප සමාජයේ දැකගත හැකිය. ඉන්න හිටින්නට තැනක් නැතිව පාර තොටේ අගුපිල්වල ජීවිත ගෙවන්නන් ද ඕනෑ තරම්ය. කරකියා ගන්නට දෙයක් නොමැතිව අනුන් දෙන බත්පත කන, අනුන් දෙන ඇඳිවත අඳින අසරණයන් ද සමාජයේ බහුලය. නමුත් අසරණ ජීවිත උගසට තබා යාචක වෙසින් සිඟමන් අයදින අය ද මේ අතර සිටිති. අනුන්ගේ දරුවකු තමන්ගේ කුසේ උපන් දරුවකු සේ කරපින්නාගෙන සිඟමන් අයදින සිඟන්නියන් තුළ සැබෑ මව් සෙහෙනහසක් ඇත්තේම නැත.

අද වෙද්දී යාචක ජීවිතය සැබැවින්ම ව්‍යාපාරයක් බවට පත්ව ඇත. අවට බොහෝ යාචකයෝ සිඟමන් අයදින්නේ බිස්නස් එකටය. මේ ව්‍යාපාරයේ නියම උරුමක්කාරයා අතමිට යහමින් ඇති ධනවතෙකි. එපමණක්ම නොව, චණ්ඩියෙකි. ඔහු යටතේ මැරයන් මෙන්ම කුලීකරුවන් ද ඕනෑ තරම්ය. මැරයන්ගේ රාජකාරිය වන්නේ කුලීකරුවන් පාලනය කිරීමය. කුලීකරුවන්ගේ රාජකාරිය වන්නේ දවසේ සිඟමන් යැදීමය.

දවස අවසානයේ දී යාචකයන්ට මැරයන්ගෙන් කොමිස් මුදලක් හිමිවේ. ඒ විතරක් නොවේ. රාත්‍රී කෑම වේලට හොඳ බත් පාර්සලයක් සමඟ මත්පැන් බෝතලයක් ද ලැබේ. කොළඹ නගරයට උදේ පාන්දර ආබාධිත සිඟන්නන් රැගෙන එන වාහන කිහිපයක් ද ඇත. කොළඹ නගරයට එය සාමාන්‍ය දෙයක් වුවද ඇතැමුන්ට එය ආගන්තුකය.

බොහෝ යාචකයන්ගේ අතමිට වර්තමානයේ දී සරුසාරය. ඇතැම් යාචකයෝ දිනකට රුපියල් එක්දාස් පන්සියයක් දෙදහසක් අතර මුදලක් සොයති. බොහෝවිට වර්තමානයේ දී යාචකයකුට අවම වශයෙන් රුපියල් දහසක් ලබා දේ. නමුත් බොහෝවිට බස් රථයට සිඟමනට නැඟ යාචකයන් සිඟමන් අයදින්නේ,

“අනේ නෝනා… මහත්තයෝ… රුපියලක් හරි දෙන්න” කියමිනි.

නමුත් කවුරුන් හෝ කෙනකු වර්තමානයේ දී රුපියල් දෙකේ කාසියක් යාචකයාට දුන් විට මුහුණ අඳුරු වේ. යාචකයන් ඉදිරියේ අද රුපියලට තැනක් නැත. ඔවුන් අද අවම වශයෙන් රුපියල් දහයක්වත් බලාපොරොත්තු වේ. රුපියල් විස්සට යාචකයන්ගෙන් ප්‍රශංසා බොහෝමයක් ලැබේ.

දෙහිවල නගරයේ ප්‍රධාන බස් නැවතුමේ සෑම උදෑසනකම රෝද පුටුවක වාඩි වී සිටින වයස අවුරුදු විස්සක්, විසිපහක් අතර ඉලන්දාරියකු සිඟමන් අයදී. සෑම දිනකම ඔහු බිම ගෑවෙන තරමටම දිගට තම සරම ඇඳ සිටී. රෝද පුටුවට තම ජීවිතය සීමාවන්නට තරම් කිසිම පෙනුමක් ඔහුගෙන් දිස්නොවේ. නමුත් සෑම දිනකම ඔහු දෙහිවල නගරයේ රෝද පුටුවට වී සිඟමන් අයැදීම සුලබය.

දෙහිවල සුපිරි වෙළෙඳසලක් අසල සිටින වයස අවුරුදු පනස් පහක්, හැටක් වයසැති යාචකයකු සැරයටියක් ආධාරයෙන් ගමන් කරයි. සෑම රාත්‍රියකම අසල ඇති සුපිරි හෝටලයෙන් මස් කොත්තුවක් හෝ ෆ්‍රයිඩ් රයිස් එකක් කෑම ඔහුගේ දිනචර්යාවේ එක් පුරුද්දකි. එපමණක්ම නොව, සුපිරි වෙළෙඳසලේ ඇති මත්පැන් අලෙවිසලෙන් සෑම සවසකම ඔහු මත්පැන් බෝතලයක් ද රැගෙන යයි. යාචකයෙක් වුවද ඔහු සුපිරි ජීවිතයක් ගත කරයි. නමුත් හරිහැටි ඇඳුමක් අඳින්නේ නැත. කිළිටි වූ ඇඳුමට, කතා කරන විලාසයට රැවටෙන ඇත්තන් ඔහුගේ සිඟමනට පින් පතා මුදල් ලබාදෙති. නමුත් බොහෝවිට සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරන මිනිසුන්ට වඩා සිඟමන් අයදින යාචකයන් සුපිරියට කෑම ගනිති. සාමාන්‍ය ජීවත් වන අය රාත්‍රී ආහාරයට එක් ව්‍යංජනයක් සමඟ බත් වේලක් ගනිද්දී ඔවුන්ට අතපෑ යාචකයෝ රාත්‍රී ආහාර වේලට මස් සහිත කොත්තු බුදිති.

පිටකොටුව යාචකයන්ට තෝතැන්නකි. බස් රථවල, දුම්රිය පොළවල සිඟමන් යැදීම තහනම් කළ ද අදද ඕනෑ තරම් බස් රථවල, දුම්රිය පොළවල යදින යාචකයෝ සුලබය. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඇති බස් නැවතුම් දෙකම අද වෙද්දී යාචකයන්ගේ නවාතැන්පොළ වී හමාරය. බස් රථයක් එනතුරු මඟ බලමින් ගිනිගහන අව් රශ්මියට හෙම්බත්ව මගීන් බලා සිටියදී බස් නැවතුම ඇතුළත තම කිළිටි වූ කඩමළු තබා නිවහන කරගෙන ජීවත් වන යාචකයන් අදද ඕනෑ තරම්ය. මේ අතර අතපා මුදල් නොඉල්ලුවද තම අතේ ඇති පොතක උදේ හවා මොනමොනවදෝ ලියමින් සිටින යාචක කාන්තාවන් ද දැකගත හැකිය.

කුඩා දරුවකු කරපින්නාගෙන පිටකොටුවේ ගමන් කරන පෙම්වතුන් වෙත ගොස් සිඟමන් අයදින කාන්තාවන්ගේ අතේ සිටින දරුවා එකදිගට හඬා වැලපේ. නමුත් මවට දරුවා නළවාගන්නට කිසිදු අවශ්‍යතාවයක් ද නැත. වැරහැලි ඇඳගත්, සිරුරේ ඉහළ කොටසට ඇඳුමක්වත් නැති පුංචි කෙලිපැටික්කියක් ද රැහැයියකු සේ හඬා වැලපේ. මුහුණ පුරා කඳුළු වැල් ඕනෑ තරම්ය. හෙම්බත්ව හඬා වැලපෙන පුංචි කෙල්ල “මට අම්මා ළඟට යන්න ඕනේ.. යකෝ” යැයි මහ හයියෙන් තවත් අසභ්‍ය වචනයක් ද කියමින් කෑගැසුවාය. මෙය සුලබ සිදුවීමකි. සාමාන්‍යයෙන් දරුවන් කරපින්නාගෙන සිඟමන් යදින යාචක කතුන් බොහෝමයක් සැබෑ මව්වරු නොවෙති. යාචක දරුවන්ව දවසේ පඩියට, පැයේ පඩියට ගෙන සිඟමන් යදින කාන්තාවෝ ඕනෑ තරම් පිටකොටුවේ සිටිති.

අද වෙද්දී පිටකොටුවේ සිඟමන් යදින බොහෝ යාචකයන්ගේ දවසේ ආදායම රුපියල් තුන්දහසටත් වැඩිය. ඔවුන් සතුව බොහෝ බැංකුවල ගිණුම් ද පවතී. යාචකයන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නට රුසියෝ වෙති. නමුත් ඒ කාඩ් වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ රාත්‍රී කාලයටය. මේ අතර බොහෝ යාචකයන් පොලියට මුදල් ලබා දේ. පිටකොටුවේ වෙළෙඳාම් කරන බොහෝ වෙළෙඳුන්ට දවසේ පොලියට මුදල් ලබාදීම කරනුයේ සිඟමන් යදින යාචකයන් බව පැවසුවොත් එය ඔබට විශ්වාස කළ නොහැකිය. ඔවුන් එලෙස පොලියට මුදල් ලබාදෙන්නේ ද ඔබ විසින් මහන්සියෙන් උපයාගත්, පව් යැයි හිතට දැනුණු විට දුන් මුදලිනි.

අද වෙද්දී රුපියල් විස්ස සහ රුපියල් පනහ මුදල් නෝට්ටු වැඩි වශයෙන් ගැවසෙන්නේ යාචකයන් අතරේය. සවස් කාලේ දී අසල ඇති වෙළෙඳසලකට ගොඩවැදී මේ මුදල් නෝට්ටු රුපියල් පන්සියය හා රුපියල් දහස නෝට්ටු බවට පත්කරලීම යාචකයන්ගේ දිනචරියාවේ තවත් වැඩකි.

යාචකයන්ගේ දිනචරියාවේ දී ඔවුන් උදේ සහ දහවල් කෑමවේල බොහෝවිට සපුරාගනු ලබන්නේ සිඟමන් යදිමිනි. මළගිය ඥාතියකු වෙනුවෙන් හෝ වෙනත් පින් පතා කරනු ලබන දානමය කටයුත්තක දී යාචකයන්ට බත්පත් ලබාදෙන අවස්ථාවලදී යාචකයන් මේ බත්පත් ලබාගන්නට පොරබඳින්නේ දින ගණනාවක් කුසට බත් ඇටයක්වත් නොලැබුණු අය පරිද්දෙනි. නමුත් මේ පොරබඳින යාචකයන් බොහෝමයක් පෙරදින රාත්‍රියේ මධුවිත සමඟ හොඳ හැටි රාත්‍රී භෝජනයක් ගත් සිඟන්නෝ වෙති. මේ අතර ලැබෙන බත්පත තවත් යාචකයකුට විකුණා මුදල් ලබාගන්නා යාචකයෝ ද අද සමාජයේ ඕනෑ තරම්ය.

යාචකයන්ගේ කතා විලාසය ද එතරම්ම ප්‍රියජනක නැත. මහල්ලාගේ සිට යාචක කුඩා දරුවා දක්වා වැඩි වශයෙන් කතා කරන්නේ අසභ්‍ය වචනවලිනි. ඔවුන් තවත් කෙනකුට ආමන්ත්‍රණය කරන භාෂාව ද වෙනස්ය. ඔවුන්ට අම්මා තාත්තා, සැමියා බිරිඳ, දරුවන්, සහෝදරයන් සහෝදරියන් නැත. ඒ හැම කෙනෙක්ටම ඔවුන්ට පොදු වූ භාෂාවක් ඇත. (ගෑනි, මිනිහා, ඒකි) යන වචනයන්ගෙන් පටන් ගන්නා ඔවුන්ගේ ආමන්ත්‍රණය එතැනින් නොනැවතී තවත් අසභ්‍ය වචනවලින් ද ආමන්ත්‍රණය වේ. නිත්‍යනුකූල නොවුණු බිරිඳටත්, මවටත් (ගෑනිගෙන්) පටන්ගෙන තවත් අසුබ වදන්වලින් අවසන් කරයි. යාචකයන්ගේ කතාබහේ කිසිදු වැදගත්කමක් නැත. අපගේ කැමරාව දැක අප වෙතට පැමිණි පිටකොටුවේ එක්තරා සිඟන්නියක්,
(උඹලා ඇවිත් අපේ ෆොටෝ ගහන්නේ මොන….(ඊළඟට කීවේ අසභ්‍ය වචනයකි) කියා අපට බැණ වැදුණේය.

වර්තමානයේ දී බොහෝ යාචකයෝ මාර්ග සංඥා කුලුනු අතර සිඟමන් යැදීමට පුරුදු වී සිටිති. විශේෂයෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සංඥා කුලුනු අතර ගැවසෙන ඔවුන් රතු බල්බය දැල්වූ විගසම රථවාහන අතරට ගොස් සිඟමන් අයැදී. මිල අධික සුඛෝපභෝගී රථ අසලට ගොස් සිඟමන් අයැදීමට යාචකයෝ වැඩි කැමැත්තක් දක්වති. කොරගසමින් ඇවිදගන්නට අමාරුවෙන් යන යාචකයන් එවැනි රථ පැමිණි විට ඒ වෙතට දිවයයි.

හඳුන්කූරු පැකට්, කපුරු පැකට් ගෙන සිඟමන් අයදින යාචකයන් ද කොළඹ නගරයේ ඕනෑ තරම්ය. කපුරු පැකට්, හඳුන්කූරු පැකට් ගෙන සිඟමන් අයදින කාන්තාවෝ ඒ අතරේ වක්‍රවාකාරව තවත් ව්‍යාපාරයක් පවත්වාගෙන යති. විශේෂයෙන් මේ සිදුවීම සිදුවන්නේ පිටකොටුව වැනි මිනිසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවලය. බොහෝවිට මේ කපුරු බෝල අලෙවි කරන්නේ කාන්තාවන්ය. ඔවුන් වැඩිපුරම කපුරු බෝල පැකට් ගෙන යන්නේ ද පිරිමින් වෙතය. ඒත්… සෑම පිරිමියකු වෙතම යන්නේ ද නැත. ඒ සඳහා කපුරු බෝල කාන්තාවන්ට ඉවක් ඇත. මුලින්ම ඔවුන් කපුරු බෝල පැකට්ටුව පෙන්නයි. ඇතැම් පිරිමින් කපුරු බෝල පැකට්ටුව නොගෙනම යම් මුදලක් දෙයි. කපුරු බෝල මුවාවෙන් ඇය තම ව්‍යාපාරය ද පවත්වාගෙන යාමට උත්සාහ ගනී. අවසානයේ දී තවත් ගැනුම්කරුවකු යාචක වෙසින් පැමිණි වීදි ගණිකාවගේ දැලේ පැටලේ. එතැනින් නොනවතින සිඟමන් යදින්නිය ඔහුව අසල ඇති කාමරයට රැගෙන ගොස් ඔහුගේ අවශ්‍යතාවය සපුරා මුදල් ලබාගනී. බොහෝ සිඟන්නියෝ වීදි ගණිකාවන්ගේ තැරැව්කාරියක් ලෙසින් ද කටයුතු කරති. තමන්ට පිරිමින් හඳුන්වා දීමේ කටයුතු වෙනුවෙන් වීදි ගණිකාව දිනය අවසානයේ දී යාචකයාට යම් මුදලක් අතමිට මොලවයි.

රාත්‍රී කාලයට යාචකයන්ගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස්ය. බිස්නස්කරුවකුගේ කුලීකරැවකු ලෙස සේවය කරන යාචකයන්ට වෙන්වුණු බෝඩිම් කාමර හෝ නිවාස වෙනමම ඇත. රාත්‍රී කාලයේ දී පිරිමි යාචකයෝ බොහෝ විට මධුවිතක පහස ලබති. ඒ වෙනුවෙන් ඔවුන් ලබාගන්නේ බොහෝවිට ඉස්තරම් වූ මත්පැන්ය. මධුවිතෙන් නොනවතින යාචකයෝ බොහෝවිට වීදි ගණිකාවන්ගේ ඇසුර ලබති. පිටකොටුවේ රාත්‍රිය ගෙවී යන්නේ යාචකයන්ගේත් වීදි ගණිකාවන්ගේත් රාත්‍රිය වීමෙනි. සිඟමන් යදිමින් ලැබෙන විශාල මුදල් රාත්‍රිය අවසානයේ දී වීදි ගණිකාවකට දී තම අවශ්‍යතාවයන් සපුරාගන්නා යාචකයන් පසුවදා උදෑසනම තම හිස් වූ ටින් බෙලෙක්කය රුගෙන නැවතත් වීදියට යන්නේ තවත් දවසකට මුදල් එක්කිරීමටය.

ජීවිතේ අප්‍රමාණ මහන්සි වී මුදල් සොයන බොහෝ කම්කරුවන්ට වඩා අනුන්ගෙන් අතපා ජීවත් වන යාචකයෝ දිනකට මුදල් සොයති. නමුත් ඔවුන්ට හෙටක් නැත. බොරුවෙන් ජීවත්ව දුක් මහන්සියෙන් හම්බකරගත් දේ එක් මොහොතකින් විනාශ කරන යාචකයාගේ හෙට දවස සුබවාදී වන්නේ කෙසේද?

♦ දිශානි ජයමාලි කරුණාරත්න

Loading...