මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට උපරිම වටිනාකමේ සීමාවකින් තොරව හා විශාල වශයෙන් බදු සහන සහිතව වාහන ආනයනය කිරීමට අවස්ථාව සැලසීම ගැන මේ දිනවල කතාබහට ලක්වී ඇත. සමහර අවස්ථාවලදී සියයට සියයක බදු සහනයක් ද ඇතැම් විටෙක එයට වඩා අඩු ප්‍රමාණයක බදු සහනයක් ද සැලසේ. රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යංශය නොබෝදා නිකුත් කළ චක්‍රලේඛය මගින් රාජ්‍ය සේවකයෝ මෙම වාසනාවට උරුමකම් ලැබ සිටිති. රාජ්‍ය අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල සේවය කරන ස්ථිර ලේකම්, අතිරේක ලේකම්, නියෝජ්‍ය ලේකම්, සහකාර ලේකම් ආදි තනතුරු දරන්නන් ද දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කළමනාකර අධ්‍යක්ෂවරැන්, රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවල නිලධාරීන් සහ නීති ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්ට ද මෙම වරප්‍රසාදය හිමිව ඇත.

මෙම සහනය සඳහා රාජ්‍ය අංශයේ 6000කට අධික නිලධාරින් පිරිසක් සුදුසුකම් ලැබ ඇති අතර මේ සඳහා රුපියල් බිලියන 65කට අධික වියදමක් දැරීමට මහා භාණ්ඩාගාරයට සිදුව ඇති බව වාර්තා වේ. මේ සඳහා නිලධාරින් වසර 6ක අඛණ්ඩ සේවාවක් සැපිරිය යුතුය.

මුලින් තිබුණේ රාජ්‍ය නිලධාරින් සඳහා බදු සම්පූර්ණයෙන් ඉවත් නොකර යම් බදු සහනයක් යටතේ උපරිම වටිනාකම සීමාකර වාහන ආනයනය කිරීමට අවසර දීමකි. එහෙත් මේ අලුත් චක්‍රලේඛයෙන් ඒ සියලු අවශ්‍යතා ලිහිල් කර තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව සමඟ කලකිරී සිටි රාජ්‍ය සේවකයන් බහුතරය පවතින පාලනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ අතර ඔවුන් තෘප්තිමත් කර අවනත කර ගැනීම සඳහා ආණ්ඩුව ලහි ලහියේ මෙම පියවර ගත් බවද ඇතැම්හු කියති.

මෙම චක්‍රලේඛයට අමතර වශයෙන් මුදල් අමාත්‍යංශය ද වෙනම චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එයින් කියැවෙන්නේ පූර්ණ රාජ්‍ය නිලධාරීන්ට අමතරව රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සමාන්තර නිලධාරීන්ට ද මෙම වරප්‍රසාදය දී ඇති බවය. එසේම රජයේ දොස්තරවරුන්, නීති නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, කථිකාචාර්යවරුන්, විධායක නිලධාරීන් ද ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද මෙම වරප්‍රසාදය ලැබී ඇති අතර ඒ අය ගෙවිය යුතු ආනයන බදුවලින් රුපියල් මිලියන 5ක හෙවත් ලක්ෂ 50ක අඩු කිරීමක් සලසා තිබේ.

2018 වසරේ අයවැය ලේඛනයේ දී මේ වාහන සඳහා උපරිම වටිනාකම අමෙරිකානු ඩොලර් 45,000, 40,000 හා 35,000 ආදි වශයෙන් සීමා කර තිබුණි. නිලධාරීන්ට වාහන බලපත්‍ර නිකුත් කරන විට උපරිම C1F වටිනාකම ඒවායේ සඳහන් කර තිබුණි. පසුගිය අයවැයේ දී වාහන ආනයනය කරන විට C1F වටිනාකම වෙනුවට ඇන්ජින් ධාරිතාව (Cubic Capacity of the Engine) අනුව බදු ගැසීම ආරම්භ කර තිබූ අතර මෙම චක්‍රලේඛ අනුව යළි C1F වටිනාකමට යාමට සිදුවීම ගැටලුසහගත බවද පැවසේ.

නව චක්‍රලේඛය අනුව රාජ්‍ය නිලධාරීන් සහ විශ්‍රමිකයන්ට හොන්ඩා CRV, බෙන්ස් CLA, හොන්ඩා සිවික්, ටොයෝටා CHR ටර්බෝ ටොයෝටා ප්‍රිමියෝ, ටොයෝටා ඇලියන් ආදී මිලියන 22, 20, 16 ආදි වටිනාකම ඇති අධි සුඛෝපභෝගි වාහන පෞද්ගලිකව හෝ ප්‍රාදේශීය වෙළෙඳුන් මගින් ගෙන්විය හැකිය. මුලදී තිබූ බදු සහන යටතේ ගෙන්වන වාහන වසර 5ක් යනතුරු තවත් කෙනෙකුට පැවරීම තහනම් කළ නීතියද මෙයට පෙර අහෝසි කර ඇත. අධි සුඛෝපභෝගි වාහන ආනයනය කර විශාල මුදලකට අලෙවිකිරීමට රාජ්‍ය නිලධාරීන්ට හැකිව ඇත. අනාගතයේදී මෙම සහනය දේශපාලනඥයන්ට ද අනිවාර්යයෙන් හිමිවන අතර මෙයට පෙර ආණ්ඩුවෙන් දේශපාලනඥයන්ට පමණක් නොව සිය හිතවතුන්ට ද බදු සහන වාහන බලපත්‍ර නිකුත් කළ බව අමතක නැත.

රාජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා, වාහන බලපත්‍ර ලබාදීම ගැන මෙසේ කියයි.

රජයේ වෛද්‍යවරුන් යනු රාජකාරි පැය ගණනක සීමාවක් නැති පූර්ණ කාලීනවම සේවයට කැපවූ විශේෂිත කණ්ඩායමක්. ඒ නිසා අපට හදිසි අවස්ථාවක දී පවා රාජකාරී ස්ථානයට ඉක්මනින් පහසුවෙන් ළඟා වීමට අවශ්‍ය වෙනවා. අපේ සුළු ප්‍රමාදයකින් පවා රෝගියකුගේ ජීවිතය අහිමි වන්න පුළුවන්. ඒ නිසා අපට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම ආණ්ඩුවේ වගකීමක්.

රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ අංක 22/99 චක්‍රලේඛය අනුව අප වැනි නිලධාරීන්ට වාහනයක්, රියැදුරකු සහ ඉන්ධන ලබාදීමට ආණ්ඩුව බැදී සිටිනවා. සෑම වෛද්‍යවරයකුටම මෙම පහසුකම් දීමට ආණ්ඩුවට විශාල වියදමක් දරන්නට සිද්ධ වෙනවා. මෙයට විකල්පයක් වශයෙන් තමා වාහන බලපත්‍රයක් දෙන්නේ. මෙයින් ලැබෙන වාහනයට ඉන්ධන ආණ්ඩුවෙන් නොසපයන අතර රියදුරකු ද ලැබෙන්නේ නැහැ. සියලු කටයුතු අප කළ යුතුය. අපි අගමැතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ද ඉල්ලා සිටියේ ඉහත චක්‍රලේඛය අනුව වාහන සපයන ලෙසටයි. එහෙත් ආණ්ඩුව ඒ වෙනුවට මෙවැනි බලපත්‍රයක් දීමට කටයුතු කළේ එය ඔවුන්ට වියදම් අඩු නිසයි.

මේ ගැන අපි ද කැමැතියි. එය දෙපාර්ශවයටම සහනයක්. එහෙත් මේ නවතම චක්‍රලේඛයේ හැටියට වෛද්‍යවරයකුට මුළු රාජකාරී ජීවිත කාලයටම ලබාගත හැක්කේ වාහන දෙකක් පමණයි. මුල් බලපත්‍රය රාජකාරි කාලය වසර පහකට පසුවද, දෙවැනි වරට වසර 15 කින් ද නිකුත් කරනවා. ඒ අනුව දෙකකටයි සීමාවෙන්නේ. මෙයට පෙර මෙම සහනය වසර 5න් 5ට ලැබුණා. දැන් ඒ තත්ත්වය නැතිවීමෙන් අපට අසාධාරණයක් වී තිබෙනවා. මොකද කොතරම් අලුත් වාහනයක් ගෙනාවත් වසර 5කට පසු කාර්යක්ෂමතාව දුර්වල විය හැකියි. කාර්මික දෝෂවලට ලක්වීමේ ඉඩ වැඩියි. ඒ තත්ත්වය නිසා තමා වසර 5න් 5ට දුන්නේ. එම හේතු නිසා තමා අපි කියන්නේ මුලින් පැවැති වසර 5න් 5ට දීම ක්‍රියාත්මක කරන්න කියලා.

අනික් ගැටලුව තමා අපට උපරිම බදු සහන සීමාව ලක්ෂ 50කට පනවා තිබීම. එයට වඩා වටිනා වාහනයක් ගෙනාවොත් ඒ වෙනස අපි ගෙවිය යුතුයි. එහෙත් දේශපාලනඥයන්ට සම්පූර්ණයෙන්ම බදු සහනය පිරිනමා ඇති අතර ඒ අයට තමන්ට අවශ්‍ය වාහනයක් මිල ගැන නොසලකා කිසිදු බද්දක් නොගෙවා ලබාගැනීමේ වරප්‍රසාදය ලබාදී තිබෙනවා. ඒ වගේම වසර 5කට වරක් බැගින් බලපත්‍රයක් දීමේ ක්‍රමය දේශපාලනඥයින් සඳහා මුලින් පැවැති හැටියටම ක්‍රියාත්මක වෙනවා. තවද මෙම වාහන බලපත්‍ර සහනය මේ ආකාරයටම දේශපාලනඥයින්ට පමණක් නොව ඔවුන්ගේ කාර්යමණ්ඩල නිලධාරීන් සඳහා ද ලබාදී තිබෙනවා. ඒ නිසා මෙය විශාල ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. කිසිම බද්දක් නොගෙවා අධි සුඛෝපභෝගි වාහනයක් ආනයනය කර ලක්ෂ 250 – 300 වැනි විශාල මුදලකට එය විකිණීමට දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලට වරප්‍රසාදය හිමිව තිබෙනවා. එය ආණ්ඩුවට විශාල පාඩුවක් මෙන්ම රටට බදු ආදායම වශයෙන් විශාල මුදලක් අහිමි වෙනවා.

දේශපාලනඥයන් බලයට එන්නේ ජනතාවට සේවයක් කිරීමටයි. නිලධාරීන්ගේ වගේ වැටුප් දීමනා හා සෙසු පහසුකම් ලබාගැනීමට ඔවුන්ට අයිතියක් නැහැ. එහෙත් අද වෙලා තියෙන්නේ නිලධාරීන්ට වඩා වරප්‍රසාද ඒ අයට ලැබීමයි. අපේ වාහන වරප්‍රසාදයට සමාන වරප්‍රසාදයක් ඔවුන්ට ලබාදීම හැර රාජ්‍ය නිලධාරීන් අභිබවා යන වරප්‍රසාද ඒ අයට ලබාදිය යුතු නැහැ. එය හැන්ද අතේ තියෙන අයම අවශ්‍ය තරම් බෙදාගන්නවා වගේ වැඩක්. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳ සාධාරණව කටයුතු කරාවීයැයි අපි අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමයේ සභාපති රංජිත් ආරියරත්න:

“අපේ නිලධාරින් දවසේ පැය 24 පුරාම සේවය කරන අයයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලට රාජකාරි කටයුතු සඳහා යන්න වෙනවා. දේශපාලන අධිකාරියේ දැනුවත් කිරීම් අනුවද විශාල දුරබැහැරට යන්න වෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහායි මෙලෙස වාහන බලපත්‍ර වරප්‍රසාදය රජය ප්‍රදානය කළේ. අපි 1970 වසරේ සිටම මේ පිළිබඳ ඉල්ලීම් කරලා ලබාගත් වරප්‍රසාදයක් තමා මෙය. අපට මෙය දුන්නේ ආයතන ප්‍රධානීන්ට හිමි වරප්‍රසාදයක් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ටයි.

එහෙත් පසුව වෙනත් නිලධාරින් ද ඉල්ලීම් කරලා මෙම වරප්‍රසාදය ලබාගත්තා. අනතුරුව දේශපාලනඥයන්ට ද හිමිවුණා. මෙලෙස විශාල සංඛ්‍යාවකට දීමට සිදුවීම නිසා ආණ්ඩුවට දරා ගැනීමට නොහැකි තරම් විශාල වියදමක් දරන්නට සිදුවුණා. අන්තිමට එය නවත්වන්න සිදුවුණා. ඒකෙන් පසුව අපි යළි යළිත් ඉල්ලීම් කරලා නැවතත් ලබාගත්තා. එහෙත් එය යම් යම් සීමා කිරීම්වලට මේ වනවිට යටත් කරලා තිබෙනවා. මෙම වරප්‍රසාදය යහපත් වුණත් අපි කියන්නේ අලුත් චක්‍රලේඛය දෝෂ සහිත බවයි. වසර 5කට වරක් ලබාගැනීමට මුල් චක්‍රලේඛයේ අවස්ථාව සැලසුණත් මේ අභිනව චක්‍රලේඛය නිසා වසර 5කට වරක් වාහන බලපත්‍ර නිකුත් කිරීම අහෝසි කරලා සේවා කාලය තුළ දෙවරකට පමණක් ලබාගැනීමට හැකිවන අයුරු සීමා පනවලා තියෙනවා. අපි ඉල්ලන්නේ මුල් චක්‍රලේඛයේ විවිවිධාන එලෙසම වලංගු කරලා මෙම අලුත් චක්‍රලේඛය සංශෝධනය කරන ලෙසයි.

දේශපාලනඥයන්ට සහ අනිකුත් පුද්ගලයන්ට මේ සීමා කිරීම් නැහැ. ඒවා නිලධාරින්ට පමණයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා අප ඉල්ලන්නේ මෙම සීමා කිරීම් ඉවත් කරලා මේ බලපත්‍ර දිගටම ලබාදෙන හැටියටයි.

ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති, සීමානිර්ණ කොමිසමේ අභියාචනා මණ්ඩලයේ හිටපු සභාපති අශෝක පීරිස්.

“මෙයට පෙර රාජ්‍ය සේවකයන්ට තීරු බදු සහන මත වාහන ආනයනය කිරීමට බලපත්‍ර දීමේදි වාහනයේ උපරිම වටිනාකමට සීමා පනවා තිබුණා. අමෙරිකානු ඩොලර් 35,000, 400,00 ආදි වශයෙන්. එහෙත් මේ චක්‍රලේඛය අනුව එම සීමාව ඉවත් කර තිබෙනවා. එසේම මා රාජ්‍ය පරිපාලන සේවයේ නිරතව සිටි කාලයේ දුන් වරප්‍රසාදය වන අවුරුදු 5න් 5ට බලපත්‍ර දීම මේ අලුත් ක්‍රමයේදී අහෝසිවී දෙකකට පහළ දමලා තියෙනවා. මට නම් හිතෙන්නේ කලින් නිකුත් කළ චක්‍රලේඛය අනුව වාහනයේ වටිනාකමට සීමා පනවලා වසර 5කට එක බැගින් දෙනවා නම් වඩා යහපත් බවයි. එවිට හොඳ කාර්යක්ෂම වාහනයක් නිතරම රාජ්‍ය සේවකයාට හිමි වනවා. එයින් රාජකාරිවලට පහසුවක් ඇති වෙනවා.

එසේම රාජ්‍ය නිලධාරියා පාවිච්චි කළ වාහනය විශ්‍රාම යනවිට රැගෙන යාමට හැකිවූ අතර වසර 5 ඉකුත්ව තිබෙනවා නම් විශ්‍රාම යනවිට අලුතින් වාහන බලපත්‍රයක් රැගෙන විශ්‍රාම යන්න හැකියාව ලැබුණා. දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරතව අවංකව සේවය කළ රාජ්‍ය සේවකයකුට ගෙදර යනවිට ඉතිරි වන්නේ මෙම වාහන බලපත්‍ර පමණයි. එය ඔහුගේ ජීවිතයේ සන්ධ්‍යා කාලයට විශාල අස්වැසිල්ලක් වුණා.

මේ වනවිට රට දැඩි ආර්ථික හා මූල්‍ය අර්බුදයක ගිලිලයි ඉන්නේ. ඉතින් මේ මගින් විශාල රාජ්‍ය ආදායමක් අහිමි වීම රටේ සංවර්ධනයට දැඩි බාධාවක්. අලුත් ආදායම් ජනනය කර නොගෙන තිබෙන ආදායමත් නැති කිරීමයි මෙයින් සිදුව ඇත්තේ. මෙය ජනප්‍රියතාව ලබාගැනීමේ තීරණයක් මිස යථාර්ථවාදී තීරණයක් නොවෙයි. පසුගිය කාලයේ රාජ්‍ය සේවකයන් පවතින රජය කෙරෙහි දැඩි අප්‍රසාදයක් ඇතිකර ගෙන සිටියා. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් රජය එය සනාථ කරගෙන ඇති. මේ සහනය පිරිනැමුවේ එලෙස බිඳීගිය ජනප්‍රියභාවය රැකගැනීමට වියහැකිය. රටේ යහපතට වඩා දේශපාලන බලය රැකගැනිමේ අවශ්‍යතාව මෙහිදී ප්‍රධාන වී ඇති බව කිවයුතුයි.

රුපියලේ අගය ක්ෂයවීම, රාජ්‍ය ණය ඉහළ යාම, රටේ අසහනකාරී වාතාවරණයක් ඇති වීම, නිෂ්පාදනය පහළයාම ආදි විවිධ අර්බුදවලට ආණ්ඩුවට මේ වනවිට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ නිසා මෙවැනි ජනප්‍රිය තීරණවලට නොගොස් මහා භාණ්ඩාගාරය, අදාළ සංගම් සහ අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කරලා තීන්දුවක් දුන්නා නම් වඩා යහපත්. මුලින් තිබූ ක්‍රමය නොසෑහේ නම් සාකච්ඡා කරලා සැමටම යහපත් වෙන තීරණයක් ගතයුතුව තිබුණා. එහෙම නැතිව මෙවැනි හදිසි තීරණ හැම අතින්ම අහිතකරයි.

දේශපාලනඥයන්ද මෙහිදී වාසි ලබනවා. මේ සහන පොදිය විවිධ ක්ෂේත්‍රවලට ගමන් කරන්න පුළුවන්. පසුගිය රජය සමයේ බෞද්ධ භික්ෂුන්වහන්සේලාට ද දේශපාලනඥයන්ගේ හිතවතුන්ට ද වාහන බලපත්‍ර සහන ප්‍රදානය කළ බව අපට මතකයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ.

“අපි මේ ගැන විරුද්ධ වෙන්නේ නැහැ. මේ ක්‍රමයට රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම හොඳයි. ඔවුන් සතුටට පත්කිරීමෙන් සහය ලබාගැනීම ආණ්ඩුවේ ඉදිරි ගමනට ද යහපත් පිටිවහලක් වෙනවා. එහෙත් අපගේ විමසුම එයින් එහාට ගිය එකක්. ආණ්ඩුව අයවැය ලේඛනය ඉදිරිපත් කරලා මේ වනවිට මාස තුනක පමණ කාලයක් තමා ඉක්ම ගොස් ඇත්තේ. මෙලෙස කෙටි කාලයකින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන එකඟවෙන්න බැහැ. එය රටේ ආර්ථිකයට අහිතකරයි. එසේම අයවැය ලේඛනය පිළිබඳ ජනතාව තුළ යම් පමණටවත් ඉතිරි වී ඇති විශ්වාසනීයත්වය පළුලු වෙනවා. මෙවැනි වෙනසක් කරන්න අවශ්‍ය නම් එය අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ පහසුවෙන් කළහැකිව තිබුණා. අයවැය ලේඛනයට යන්න ඇරලා ඊට පසුව කෙටිකාලයකින් වෙනස් කිරීම පිළිබඳ අපට හිතන්න වෙනවා.

එහෙත් අපි කියන්නේ මේ හදිස්සියේ රටේ ආර්ථිකයකට විවිධ ගැටලු ඇතිවෙමින් තිබියදී ලක්ෂ 30ක තිබූ වාහන බදු නිදහස තවත් ලක්ෂ 20කින් වැඩි කිරීම සුදුසු නැති බවයි. එය නොකළ යුතුව තිබුණු දෙයක්. රටේ වර්තමාන නරක ආර්ථික තත්ත්වය සතුටුදායක නෑහැ. විශේෂයෙන් රුපියල අවප්‍රමාණවීම නිසා වාහන ඇතුළු ආනයන භාණ්ඩවල මිල ඉහළ යාම, විදේශීය ආයෝජන නොලැබීම, ආදායම් නිසි පරිදි රජයට නොලැබීම ආදි කරුණු ගැන සලකා බලනවිට මෙය කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත ඔවුන් සතුටු කරන්නට දුන් දෙයක් ද යන්න ගැන අපිට සැකයක් මතුවෙනවා. මෙයින් විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ට ද විශාල ලෙස සහන දී තිබෙනවා. මෙම අහිතකර තත්ත්වය පිළිබඳ බලධාරීන් යළිත් සලකා බැලිය යුතු බවයි අපගේ විශ්වාසය. එසේම මුලින් වාහන සහන සැලසීමේදී අඩංගු කර තිබූ පැවරුම් කොන්දේසි මෙහිදී ඉවත් කර තිබෙනවා. අධි සුඛෝපභෝගි වාහන ආනයනය කර විශාල ලාභයක් ලබාගෙන විකිණීමට මේ නිසා අවස්ථාව ලැබෙනවා. මෙය ව්‍යාපාරයක් බවට පත්වීමට ඉඩ තිබෙනවා.

මෙම සහනය ඉදිරියේ දී පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ලැබෙනවා. ඒ අය තම වරප්‍රසාදය අවභාවිත කරලා විශාල ලාභ ලැබිය හැකිය. පැවැරුම් කොන්දේසි අවුරැදු 5ක්ව තිබියදී පවා ආනයනය කළ වාහන අතයට මුදලට විකුණු මැති ඇමැතිවරුන් හිටියා. ඒ අයට මෙහිදී විශාල පහසුකමක් ලැබිලා තියෙනවා මුදල් උපයන්න. අනාගතයේදී තව තවත් අයට ද මෙම වරප්‍රසාදය ලැබේවි. එහෙම වුණොත් රටේ ආර්ථිකයට අහිතකර බව වැඩිවෙනවා.

මෙලෙස ගෙන්වන වාහන ආනයන සමාගම් හරහා හෝ පෞද්ගලිකව තම තමාට හෝ ආනයනය කිරීමට පහසුකම් ලැබී තිබෙනවා. අපේ ආයතනයක් මගින් ආනයනය කළත් අපට රුපියල් ලක්ෂ 2-3ක ලාභයක් ලැබෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්ත්වයයි. එයින් අපට ලැබෙන විශේෂ වාසියක් නැහැ. අපි කියන්නේ අපට ලාභ ලැබුණත් නැතත් රටේ ආර්ථික ප්‍රතිපත්ති සකස්කිරීමේදී ආණ්ඩුවේ බලධරයන් මෙයට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

► යසවර්ධන රුද්රිගු

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.