ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර මහතාගේ අත්දැකිම් ඇසුරෙනි..

අපි ඔහුට සිරිපාල යෑයි කියමු. සිරිපාල තිස්‌පස්‌ හැවිරිදි වියේ පසු වු තරුණයෙකි. හේ යහලු මිත්‍රයන් විශාල පිරිසක්‌ ආශ්‍රය කළේය. කොටින්ම කිවහොත් සිරිපාල සමාජශීලී තරුණයෙකි. ඔහු පදිංචිව සිටියේ මුහුදුකරය ආශ්‍රිත ගම්මානයකය. හේ රැකියාව වශයෙන් ඉස්‌සන් ඇති කිරීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගියේය. සිරිපාල එම ව්‍යාපාරය ඉතා සරුවට කරගෙන ගියේය. ඔහු ඉන් විශාල ආදායමක්‌ද ලැබීය. කෙටි කාලයක්‌ තුළ සිරිපාල ඉස්‌සන් කොටු කිහිපයකම හිමිකරුවකු බවට පත්ව සිටියේය. සිරිපාලගේ දියුණුවට ඇතැම් මිතුරන් ඉරිසියා කළහ. ඇතමුන් සිරිපාල ඉතා සමීපව ඇසුරු කළ ද උගුලක්‌ ඇටවීම සඳහා අවස්‌ථාව එනතුරු මඟ බලා සිටියහ. සිරිපාලට නියම මිතුරන් හඳුනා ගැනීමට නොහැකි වූයේය. ඔහුට වින කිරීමට එන මිතුරන් මොහු හරි හැටි හඳුනා ගත්තේ නැත. ඒ විතරක්‌ නොව සිරිපාල මිතුරන් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කළේය.

සිරිපාලට මිතුරන්ගෙන් ලැබෙන සාදවලින් ද අඩුවක්‌ නොවීය. එක්‌ දිනක පස්‌වරුවේ සිරිපාල මිතුරන් පිරිසක්‌ සමඟ සාදයකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගියේය. සාදය පැවතියේ මුහුදුකරය ආශ්‍රිත අවන්හලකය. මෙකී සාදය මහ රෑ පසුවන තුරුම පැවතුණි. සාදය අවසන් වී සිරිපාල තම මිතුරන් සමඟ එම අවන්හලෙන් පිටවූයේ නිවෙස්‌වලට ඒමේ බලාපොරොත්තුවෙනි. ඒ වන විට සියලු දෙනා පදමට මත් වි සිටියහ.

නමුත් සිරිපාල එදින රාත්‍රියේ යළි නිවසට පැමිණ තිබුණේ නැත. මින් සිරිපාලගේ පවුලේ අය කලබලයට පත්ව සිටියහ. පසු දින උදෑසන සිරිපලගේ ඥාතියකුට දුරකථන පණිවුඩයක්‌ ලැබුණේය. සිරිපාල අයියා පාර අයිනේ ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා එම දුරකථන පණිවුඩයෙන් කියවිණි. පවුලේ අය මෙම සිද්ධියෙන් දැඩි තැතිගැනීමකට ලක්‌වූහ. පොලිසියටද මේ ආංරචිය ලැබීමට වැඩි වෙලාවක්‌ ගතවූයේ නැත. සිරිපාල මරා දමලා! ඒ වන විට මෙම පුවත ලැව් ගින්නක්‌ සේ ගම පුරාද පැතිර ගොස්‌ තිබුණේය. සිද්ධිය වූ ස්‌ථානයට පොලිස්‌ නිලධාරීන්ද පැමිණියහ. සිරිපාලගේ පපු ප්‍රදේශය ආශ්‍රිත රවුම් තුවාලයක්‌ දක්‌නට ලැබුණේය. සිරිපාල වෙඩි තැබීමකින් මරා දමා ඇති බවට පොලිසිය උපකල්පනය කළේය. ඒ අනුව සිරිපාලගේ සිරුර පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලට රැගෙන එනු ලැබිය.

පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වනු ලැබුවේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතාය. සිරිපාලගේ පපු ප්‍රදේශය තුළ තිබූ තුවාලය කෙරෙහි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අවධානය යොමුවිය. හේ මෙකී තුවාලය ඉතා සියුම් ලෙස නිරීක්‌ෂණය කළේය. එය සෙන්ටිමිටර් භාගයකින් පමණ යුත් ඕවලකාර හැඩයෙන් යුත් තුවාලයක්‌ විය. තුවාලය වටා කළු පැහැගැන්වී තිබුණි. මෙකී තුවාලය දෙස බාහිරින් බලන විට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබූ ආකාරයක්‌ දක්‌නට ලැබුණේය. පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ ස්‌ථානිය පරීක්‌ෂණයක්‌ සිදු කරණු ලැබීය. එම ස්‌ථානයේ එතරම් ලේ වහනය වී ඇති බවක්‌ ද දක්‌නට නොවීය. ඒ විතරක්‌ නොව හිස්‌ උණ්‌ඩ හා පතොරම් කොපුද එම ස්‌ථානයේ දක්‌නට ලැබුණේ නැත.

මළ සිරුර විච්ඡේදනය කිරීමට පළමුව සිරිපාලගේ සිරුර එක්‌ස්‌ කිරණ පරීක්‌ෂාවට ලක්‌ කිරීමට අධිකරණ වෛද්‍යවරයා විසින් කටයුතු කළේය. වෙඩි වැදීමකින් මරණය වී ඇද්දැයි සැක කරන විට මළ සිරුර ඝණ පොලිතින් කොළයක ඔතා කොටස්‌ වශයෙන් එක්‌ස්‌ කිරණ පරීක්‌ෂාවට ලක්‌කරන්නේය. මේසේ පරීක්‌ෂා කිරීමෙන් ශරීරය තුළ වෙඩි උණ්‌ඩ හා මුනිස්‌සම් තිබේ නම් එම සංඛ්‍යාව සහ සිරුරේ ඒවා පිහිටා තිබෙන ස්‌ථානයන් එකස්‌ කිරණ සේයා පටලය පරීක්‌ෂා කිරීමෙන් දැකගත හැකිය. එවැනි එක්‌ස්‌ කිරණ පටල නඩු විභාගයකදී ඉදිරිපත් කිරීමෙන් මරණයට හේතුව මරණය වී ඇති ආකාරය ඔප්පු කිරීමට අධිකරණ වෛද්‍යවරයාට බෙහෙවින් උපකාරි වේ. එහෙත් සිරිපාලගේ එක්‌ස්‌කිරණ පරීක්‌ෂාවේ ද සිරුර අභ්‍යන්තරයේ වෙඩි උණ්‌ඩ හෝ මුනිස්‌සම් ඇති බවට එක්‌ස්‌ කිරණ පටලයේ දක්‌නට නොවීය. පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිරිපාලගේ තුවාලය තිබූ ප්‍රදේශය හොඳින් සොදා පිරිසිදු කළේය. එහි කළු පැහැයක්‌ දක්‌නට ලැබුණි. එසේ වන්නේ ලේ කැටිගැසීම නිසා බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

පපුවේ වම් පැත්තේ තමයි තුවාලය දක්‌නට ලැබුණේ. තුවාලයේ පිට හම අයින් කරලා ඇතුළ විවිර කර බලන විට තුවාලය ගමන් කරපු මාවතක්‌ තිබුණා. හම අයින් කළ විට ඉලඇට දෙකක්‌ අතුරින් ගමන් කොට වම් පෙනහැල්ලට හානිවෙලා තිබුණා. හෘදය වස්‌තුවේ දකුණු කෝෂිකාවත් පසාරුකරගෙන ගිහින් තිබුණා. වෙඩි තැබීමකින් වූ තුවාලයක්‌ නම් තුවාලය දෙස බැලූවිට අභ්‍යන්තර අවයවවලට වන හානිය මීට වඩා විශාල වෙන්න ඕන. උණ්‌ඩයත් එක්‌ක එන ශක්‌තිය සිරුරේ අභ්‍යන්තරයට එන නිසා තමයි අවයවවලට විශාල වශයෙන් හානි වෙන්න ඕන. නමුත් එහෙම දෙයක්‌ වෙලා තිබුණේ නැහැ. වෙඩි තිබු තුවාලයක දක්‌නට ලැබෙන පිළිස්‌සුණු ගතියක්‌ මෙහි තිබුණේ නැහැ. තුවාලය දෙස ඉතා සියුම් විදියට පරීක්‌ෂා කළ විට යම් කිසි උලක්‌ වැනි දෙයකින් මොහුට ඇනීම නිසා මෙම තුවාලය ඇතිවෙලා තියෙන බවට අනාවරණය කරගත්තා.

තියුණු උලකින් ඇනපු නිසා මෙකී මරණය වී ඇති බවට පොලිසියට දැනුම් දුන්නා. පසුව පොලිසිය විසින් ඔවුන්ගේ පරීක්‌ෂණ කටයුතු වෙනත් දිශාවකට යොමු කළ බැව් අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා සඳහන් කළේය.

පසුව පොලිසිය විසින් මේ ගැන පරීක්‌ෂණ ආරම්භ කළේය. සිරිපාල මරා දැමීමට යොදාගෙන තිබුණේ ඉස්‌සන් මැරීම සඳහා යොදා ගන්නා උල් කුරකි. ඉස්‌සන් කොටුවල සිටින ඉස්‌සන් මැරීම සඳහා ගන්නා ගනු ලබන්නේ තියුණු උල් කූරකි. පොලිසිය විසින් මෙකී ඝාතනයේ තොරතුරු අනාවරණය ගන්නේ මේ අයුරිනි.

සිරිපාල ඉස්‌සන් ඇති කිරීමේ ව්‍යාපාරය ඉතා සරුවට පවත්වාගෙන යාම නිසා ඇතමුන් ඔහුට ඊෂ්‍යා කළහ. ඔහුගේ දියුණුව ඇතැමුන්ට රිස්‌සුවේ නැත. ඒ විතරක්‌ නොව ඉස්‌සන් කොටු සම්බන්ධයෙන් සිරිපාල හා තවත් පාර්ශවයක්‌ අතර කලක පටන් ආරවුල් ගැටුම් තිබුණි. සිරිපාල මෙලොවින් තුරන් කිරීම සඳහා සැලසුම් සකස්‌ කරන්නේ සාදය අතරතුරදීය. සාදයට සහභාගි වී සිරිපාල ඇතුළු මිතුරන් පිරිස එන අතරමගදි මේ දේපාර්ශවය අතර වචන හුවමාරුවක්‌ ඇතිවිය. එම වචන හුවමාරුව ගැටුමක්‌ බවට පත්වන්නට වැඩි වේලාවක්‌ ගියේ නැත. සිරිපාල සමග අමනාපයෙන් සිටි අයකු ඉස්‌සන් මැරීම සඳහා ගන්නා ඉන්නකින් සිරිපාලගේ පපු කුහරය පසාරුකරගෙන යන ලෙස අනිනු ලැබීය. සිරිපාලට කිසිවක්‌ කරකියා ගැනීමට හැකි වූයේ නැත. හේ එකවරම මහ මග ලේ පෙරාගෙන ඇදවැටුණේය. මිතුරන් පිරිස සිරිපාල දමා යන්නට ගියහ. පසුව පොලිසිය විසින් මෙකී ඝාතනයට සම්බන්ධ සම්බන්ධ පුද්ගලයා ඒ සඳහා යොදාගත් උල් කූර ද අත්අඩංගුවට ගනුලැබීය.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.