නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරඟය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දෙපිලටම හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 19 ක්.

කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 152ක් රැස්කරගත්තා.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 කට සීමා කිරීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක සුරේෂ් රයිනා සමත් වූවා.

ඒ Shardul Thakur යොමුකළ පන්දුවකට ධනුෂ්ක එල්ලකළ වේගවත් පහරක් ගුවනට ඉපිලී සුපිරි ලෙස රැකගනිමින්.

අනතුරුව කුසල් මෙන්ඩිස් සමග එක්වූ සියල්ලන්ගේ බලාපොරොත්තුව වූ කුසල් ජනිත් අවාසනාවන්ත ලෙස දැවී යන්නේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

Washington Sundar යොමුකළ පන්දුවකින් ලකුණු 3 ක් ලබාසිටි කුසල් ජනිත් දැවී යාමකට ලක්වුණා.

අනතුරුව පිටිය තුල ස්ථාවර වූ මෙන්ඩිස් තරංග සමඟ එක්ව අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවා.

එහිදී උපුල් තරංග පිටියෙන් ඉවත් වූයේ Vijay Shankarගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

තරංගගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසියේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායක තිසර පෙරේරායි.

පිටිය මොහොතකට යළි සැණකෙළියක් කළ තිසර Vijay Shankarගේ එම පන්දුවාරයේ අවසන් පන්දු දෙකම ගුවනේ තබමින් එකපෙලට දැවැන්ත හයේ පහර දෙකක් එල්ලකළා.

කෙසේ වෙතත් Shardul Thakur ගේ පන්දුවකට තිසර එල්ලකළ පහරක් Yuzvendra Chahal විසින් ආරක්ෂාකාරීව රැකගැනීමත් සමඟ තිසරට ලකුණු 16 කින් සෑහීමකට පත්වීමට සිදුවූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් රැස්කරගත්තේ පන්දු 38කදීයි.

ඔහුගේ ඉනිමට හයේ 3 පහර ක් සහ හතරේ පහර 3 ක් ඇතුලත්.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් Shardul Thakur කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවා.

ජයග්‍රහනය සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 153ක්.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 42 ක් සහ දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 39 ක් ලබාගත්තා.

සුරේෂ් රයිනා ලකුණු 27 ක් රැස් කළා.

රෝහිත් ශර්මා ලකුණු 11 යි.

ලෝකේෂ් රාහුල් ලකුණු 18 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2 ක් බිඳහෙලුවා.

මෙම තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව තරග දෙකක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් තරගය බැගින් ජයගෙන තිබෙනවා.

තරගාවලියේ මීළග තරගය ලබන බ්‍රහස්පතින්දා (14) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Loading...