පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඉකුත්දා අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ගෝලයින් දෙදෙනා පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට හෙළිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් දෙදෙනා නඳුන් චින්තක වික‍්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ ලසන්ත වික‍්‍රමසේකර ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම ලසන්ත වික‍්‍රමසේකර නැමැත්තා ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම ප‍්‍රාදේශීය සභාවට තරග කළ අයෙක්.

මිදිගම බටහිර කොට්ඨාසය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු එහිදී ඡන්ද 1040ක් ලබාගෙන ඇති බවද සඳහන්.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ මෙම සැකකරු සතුව තිබී නඳුන් චින්තක වික‍්‍රමරත්න නමින් සකස් කළ ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍රයක් හා හැඳුනුම්පතක් ද සොයා ගැණුනා.

එමෙන්ම ඔහු සතුව තිබී තවත් හැඳුනුම්පත් තොගයක් ද සොයා ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වන නඳුන් චින්තක වික‍්‍රමරත්න හෙවත් හරක් කටා වැලිගම මිදිගම බටදූව පාරේ පදිංචිකරුවෙක්.

ඔහු සතුව තිබී අත්බෝම්බයක් සහ හෙරොයින් ග‍්‍රෑම් 15කට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැණුනා.

ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන කාන්තාවක් ද බැද්දාගාන ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඔවුන් තිදෙනා රඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වනවිට ප‍්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.