දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමේ මන්ත්‍රී සංසදයේ රැස්‌වීම මෙවර පැවතියේ උනවටුණේ පිහිටි හෝටලයකය.

පළාත් සභා මන්ත්‍රී ඒ.සී පියසිරි විසින් මෙය සංවිධානය කොට තිබුණි.

“පසුගිය සතිදෙක ඇතුළත මහ ඇමැති ෂාන් විඡේලාල් මහත්තයා රැකියා අවස්‌ථාවන් තම අමාත්‍යංශය මගින් ලබාදීලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට කිසිදු රැකියා අවස්‌ථාවක්‌ ලබාදීලා නැහැ. මේ ගැන අපේ විරෝධය පළ කළයුතු වෙනවා.” මන්ත්‍රීවරු කියන්නට වූහ.

“මහ ඇමැතිවරයාගේ අමාත්‍යාංශය ඇතුළු අනිකුත් අමාත්‍යාංශ මගින් රැකියා අවස්‌ථාවන් ලබාදීපු සංඛ්‍යාව ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ඉල්ලමු”
සම්පත් අතුකෝරල උප සභාපතිවරයා කීවේය.

සම්පත්ගේ යෝජනාව මන්ත්‍රීවරු අනුමත කළහ.

“උසාවි දඩ මුදල් හා මුද්දර ගාස්‌තු පළාත් පාලන ආයතනවලට ලබාදෙන්නේ නැහැ. මහ ඇමැතිතුමා එකට බැරියර් එකක්‌ දමලා තියෙනවා. ඒ මුදල් හිරකරගෙන ඉන්නවා. හබරාදුව ප්‍රාදේශීය සභාවට විතරක්‌ ලක්‌ෂ 1000 ක මුදලක්‌ දෙන්න තියෙනවා. බද්දේගම ප්‍රාදේශිය සභාවට ලක්‌ෂ 500 ක්‌ විතර ලැබෙන්න තියෙනවා. මිලියන 1000 ක්‌ විතර පළාත් පාලන ආයතනවලට මුද්දර ගාස්‌තු හා දඩ මුදල් වශයෙන් ලැබෙන්න තියෙනවා.”
සම්පත් අතුකෝරල කීවේය.

“මේ සඳහා මොකක්‌ හරි කරන්න ඕන”
සෙසු මන්ත්‍රීවරු කියන්නට වූහ.

පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු මුද්දර ගාස්‌තු හා උසාවි දඩමුදල් ලබා දෙන ඉල්ලමින් පළාත් සභා රැස්‌වීමට හදිසි යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට මෙහිදී මන්ත්‍රීවරු කතිකා කරගනු ලැබීය.

“පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු මුද්දර ගාස්‌තු හා උසාවි දඩ මුදල් තමන්ගේ අනුමැතිය නැතිව නිදහස්‌ කරන්න එපා කියලා මහ ඇමැතිවරයා කියා තියෙනවා කියලා ආරංචියි. මේකට අපේ විරෝධය පළ කළ යුතුයි.”

ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සෙසු අමාත්‍යාංශවල ලේකම්වරු සමගත් මේ ගැන කතා කිරීමට මන්ත්‍රීවරු කතිකා කරගනු ලැබීය.

මේ අතර ඒකාබද්ධයට එන බව කියන ශ්‍රී.ල.නි.පක්‌ෂයේ මන්ත්‍රීවරු ගැනද මන්ත්‍රී සංසදයේ දී කථාබහට ලක්‌විය.

“ආපු ගමන්ම මේ අයට සංවිධායක ධුරයන් මෙන්ම තනතුරු දෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් මහින්ද මහත්තාය සමග මුල ඉදලා කැපවීමෙන් වැඩ කළ අයට යම් අසාධාරණයක්‌ ඇති වෙනවා. ඒ නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුයි.”
අජිත් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා කීවේය.

“ඉදිරි මැතිවරණ සඳහා දේශපාලන වැඩපිළිවෙළක්‌ එක්‌ක යායුතුයි.”
අජිත් රාජපක්‌ෂ කීවේය.

“ඩලස්‌ අලහප්පෙරුම හා පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරු කැඳවලා මේ ගැන ඒ අය දැනුවත් කරමු.”
මන්ත්‍රීවරු මෙහිදී කතිකා කරගනු ලැබීය.

මේ අතර එක්‌තරා මන්ත්‍රීවරයකු විසින් අනාගත මහ ඇමැතිවරයා තමන් බවට ප්‍රකාශ කිරීම ගැන මෙහිදි කතා බහට ලක්‌විය.

මන්ත්‍රී සංසදයෙන් අනාගත මහ ඇමැතිවරයකු නම්කොට නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.