වසරක්‌ පාසා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්‌ දිගුකාලීනව විදෙස්‌ රටවල් බලා පියාසර කරති. මෙයින් බහුතරයක්‌ විදෙස්‌ රැකියා සඳහා වෙනත් රටවල් බලා යන අතර තවත් කොටසක්‌ ස්‌ථීරව ශ්‍රී ලංකාව හැරදා බොහෝවිට සිය පවුල්ද සමග වෙනත් රටවල් බලා යති. ස්‌ථීර වශයෙන් රට හැර යන කොටස උගත් මෙන්ම පුහුණුව ලැබූ කොටසකි. මෙම බුද්ධි ගලනය රටට විශාල ප්‍රශ්නයක්‌ නිර්මාණය කරන නමුත් කිසිම රජයක්‌ මොවුන් රඳවා ගැනීමට හෝ නැවත ගෙන්වා ගැනීමට නිසි පියවරක්‌ ගෙන ඇති බවක්‌ නොපෙනේ. රට හැර ගොස්‌ ඇති මුළු සංඛ්‍යාව මිලියන 3 ක්‌ ඉක්‌මවන අතර ඉන් මිලියන 2 කට වැඩි පිරිසක්‌ විදේශ රැකියා සඳහා රට හැර ගොස්‌ ඇත. එයින්ද බහුතරය මැදපෙරදිග රටවල සේවය කරයි. මෙම ලිපිය යොමුවන්නේ විශේෂයෙන්ම රට විරුවන් නමින් හඳුන්වන එහෙත් අසරණයන් වී ඇති එම විගමනික ශ්‍රමිකයින් පිරිස මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් නමුත් බොහෝ ප්‍රශ්න සියල්ලන්ටම එකසේ පොදුය.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ දත්තයන්ට අනුව 2014 වර්ෂයේ පුද්ගලයන් 300,703 ක්‌ද 2015 වර්ෂයේ 263,307 ක්‌ද 2016 වර්ෂයේ 233,942 ක්‌ද විදේශ රැකියා සඳහා පිටත්ව ගොස්‌ ඇත. නිවැරදි සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක්‌ ගනී. මින් 35% ක්‌ පමණ කාන්තාවන් වන අතර ඉන් අති බහුතරය ගෘහ සේවිකාවන්/ පාලිකාවන් වශයෙන් සේවය කරයි. කාන්තාවන්ගෙන් පුහුණු හා වෘත්තීය මට්‌ටමේ රැකියාවල යෙදෙන්නේ අතලොස්‌සකි. පුරුෂයන් අතර වෘත්තීය මට්‌ටමේ හා පුහුණු රැකියාවල යෙදෙන අය බොහෝය. මින් සෑහෙන කොටසක්‌ අවසානයේ ස්‌ථීරව රට හැර යන අතර ඔවුන්ගේ අවසාන ඉලක්‌කය වන්නේද එයයි. එක්‌ එක්‌ රට තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නියම සංඛ්‍යාව එම රටවල් තුළ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ඇතැයි විශ්වාස කළ නොහැකිය. ෙ€දජනක දත්තයක්‌ වන්නේ විදෙස්‌ රැකියාවල යෙදෙන අතර මියයන්නවුන්ගේ සංඛ්‍යාවයි. 2015 වසරේදී 312 ක්‌ද 2016 වසරේදී 296 ක්‌ද මියගොස්‌ ඇත. මියයාමට හේතූන් මොනවාදැයි පැහැදිලි නැත. මොවුන් සිය දිවි හානි කරගත්තේද? මරා දමන ලද්දේද? හේතුව කුමක්‌ වුවත් ස්‌ථීර විසඳුමක්‌ නම් අත්‍යවශ්‍යය. යම් සිද්ධියකදී එක්‌ පුද්ගලයෙකුගේ හිස ගසා දැමීම ගැන පමණක්‌ විශාල ප්‍රචාරයන් ලබා දුන්නත් ඒ මගින් මෙම ප්‍රශ්නය මුළුමනින් අනාවරණය වීමක්‌ හෝ විසඳීමක්‌ වේයෑයි බලාපොරොත්තු විය නොහැකිය.

විදෙස්‌ගත ශ්‍රමිකයන් මෙරට තුළදී මෙන්ම විදේශයන්හිදීද ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙති. අවධානයට ලක්‌ නොවූ ඉන් සමහරක්‌ පමණක්‌ මෙහි ගෙනහැර දක්‌වමු.

විදේශ රැකියා සපයන ආයතන 1000 කට වැඩි ගණනක්‌ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ ලියා පදිංචි වී ඇත. කෙසේ නමුත් විදෙස්‌ රැකියා සඳහා යන අයගෙන් වැඩි ප්‍රමාණයක්‌ පුද්ගලික සම්බන්ධකම් හරහා හෝ අන්තර්ජාලය හරහා රැකියා අවස්‌ථාවන් සොයා ගති. ඉහත දක්‌වා ඇති දත්තයන්, අතුරින් 2014 වර්ෂයේ 123,874 ක්‌ද, 2015 වසරේ 146,441 ක්‌ද, 2016 වසරේ 154,766 ක්‌ද පුද්ගලික මාර්ගයන් හෝ අන්තර්ජාලය හරහා තමන් විසින්ම රැකියා සොයාගෙන ඇත. පෞද්ගලික මට්‌ටමින් රැකියා සොයා ගන්නා සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවීමක්‌ දක්‌නට ලැබෙන අතර එය දැනට මුළු සංඛ්‍යාවෙන් 65% ඉක්‌මවයි. මෙසේ රැකියා සොයා ගැනීම සඳහාද යම් යම් වියදම් දැරීමට රැකියා ලාභීන්ට සිදුවේ. මේ සඳහා ඇගයීමක්‌ කොට දිරි දීමනාවක්‌ රජය ලබාදිය යුතු වුවත් ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සියලු දෙනාගෙන්ම සම්පූර්ණ ලියාපදිංචි වීමේ ගාස්‌තුව අයකරයි. මෙම ලියාපදිංචි වීමේ ගාස්‌තුවෙන් 70% අදාළ ලියාපදිංචි රැකියා ආයතනයට ගෙවිය යුතුය. 30% ක්‌ පමණක්‌ රක්‌ෂණ හා අනෙකුත් වියදම් සඳහා කාර්යාංශය රඳවා ගනී. එහෙත් පුද්ගලික මාර්ගයන් හරහා රැකියා සොයාගත් අයගෙන් සම්පූර්ණ ගාස්‌තුව අයකරගෙන එය කාර්යාංශය රඳවා ගනී. මේ හරහා කෙරෙන විශාල වංචාවක්‌ සම්බන්ධයෙන්ද මෑතකදී එක්‌තරා නාලිකාවක්‌ හෙළිදරව්වක්‌ කරන ලදී. එහි සත්‍ය අසත්‍ය කුමක්‌ වුවත් ඔවුන්ගෙන් සම්පූර්ණ ලියාපදිංචි කිරීමේ ගාස්‌තුව අයකිරීම බලවත් අසාධාරණයකි.

මෙසේ පෞද්ගලික මාර්ග මගින් රැකියා සඳහා යන සමහරුන් නොදැනුවත්කම හෝ වෙනත් හේතුවක්‌ නිසා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි නොවේ. කාර්යාංශයේ නිලධාරීන්ට ඇති බලතල අනුව ගුවන් තොටුපලේදී රැකියා ලාභීන්ගේ ගමන් බලපත් පරීක්‌ෂා කොට ලියාපදිංචි වීමට බලකරයි. රැකියාලාභීන් ළඟ ඒ අවස්‌ථාවේ මුදල් නොතිබුණහොත් ඔවුන් රැකියාවට යාමට නොදී රඳවා ගැනීම නිසා ඔවුන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී ඇති අවස්‌ථා බොහෝය.

සමහරක්‌ රැකියා ආයතන කාර්යංශයේ නියමිත මුදලට වඩා ගාස්‌තු අයකරන බව පවසන අතර සමහරුන් ගමන් බලපත්‍රය නැවත ආපසු ලබා ගැනීමට නොහැකිව ළතැවෙති. සමහරුන්ගේ ගමන් බලපත්‍ර බ්‍රොaකර්වරුන් රඳවා ගෙන ඇති බවට මැසිවිලි නඟති. බ්‍රොaකර්වරුන්ද රැකියා සොයා දීම සඳහා මුදල් ලබා ගනිති. බොහෝ අවස්‌ථාවල රැකියාලාභීන් වංචනිකයන්ට අසුවීම නිසා මුදල්ද නැතිකර ගනිති. සමහරවිට ගෙවල් දොරවල් උකස්‌කර ලබාගත් මුදල් වංචනිකයන්ට ලබාදී රැකියාව පමණක්‌ නොව උන්හිටි තැන්ද නැතිකර ගත් අයද වෙති.

කම්කරු සහ ගෘහ සේවිකා රැකියා සඳහා පිටත්ව යැමට කාර්යාංශයේ පුහුණුකිරීමේ සහතිකයක්‌ අවශ්‍යයි. මෙම පුහුණුව සඳහාද සෑහෙන මුදලක්‌ ගෙවීමට සිදුවේ. මෙම පුහුණුව රජය මගින් නොමිලයේ ලබාදිය යුතු වුවත් එවැන්නක්‌ සිදු නොවේ. කාර්යාංශය නඩත්තු කිරීමේ වගකීමද රැකියාලාභීන් මත පටවා ඇති බවක්‌ පෙනේ. විදේශ රැකියා කාර්යංශයට මීට වඩා සේවාවක්‌ විදෙස්‌ රැකියාලාභීන්ට සහ විදෙස්‌ගත ශ්‍රමිකයන්ට ලබා දීමට හැකියාව තිබේ. ඒ සඳහා අවශ්‍ය ඕනෑකම පමණි.

විදෙස්‌ රැකියා සඳහා වෛද්‍ය පරීක්‌ෂණයට ගියවිට ඕනෑම කෙනෙකුට සලකනු ලබන්නේ කම්කරුවන් හෝ ගෘහ සේවිකාවන් යෑයි පුර්ව විනිශ්චයක්‌ මතය. සෑහෙන මුදලක්‌ අයකළත් කිසිම පිළිගැනීමක්‌ නොමැතිව ඉතාම පහත් ආකාරයෙන් සලකනු ලැබේ. ඉන්පසු ගමන් බලපත්, උප්පැන්න, වෛද්‍ය, අධ්‍යාපන සහ රැකියා වැනි සහතිකපත්වල පිටපත් සහතික කරගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට විශාල මුදලක්‌ ගෙවීමට සිදුවේ. ඔවුන් මෑතක සිට ඉතා උසස්‌ සහ කාර්යක්‌ෂම සේවයක්‌ සැපයුවත් එම මුදල සමහරුනට දරා ගැනීමට අපහසුය. එම සහතික කිරීම වලංගු වන්නේද එක්‌ අවුරුද්දක්‌ සඳහා පමණි. යම් හෙයකින් මෙම සහතික කිරීම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකින් කරගැනීමට සිදුවූවහොත් ඒ සඳහා විශාල මුදලක්‌ ගෙවීමටත් රස්‌තියාදු වීමටත් සිදුවේ.

ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයන ප්‍රධාන මාර්ගය විදෙස්‌ගත ශ්‍රමිකයන්ය. කාර්යාංශයේ වාර්තාවලට අනුව 2014 දී රුපියල් බිලියන 916.3 ක්‌ද, 2015 දී රුපියල් බිලියන 948.9 ක්‌ද, 2016 දී රුපියල් බිලියන 1,054.5 ක්‌ද මෙම ශ්‍රමිකයන් නිල වශයෙන් ශ්‍රී ලංකාවට එවා ඇත. තේ, රබර්, පොල්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් විදෙස්‌ මුදල් උපයන අපනයන සඳහා මුල සිටම විවිධ දිරි දීමනා සපයන අතර ඊට අමතරව විවිධ බදු සහන, පොහොර සහනාධාර, අනෙකුත් සහනාධාර, ආධාර ඇතුළු නොයෙකුත් සහන සපයයි. එහෙත් විදෙස්‌ගත ශ්‍රමිකයන්ට රජය කිසිම සහනයක්‌ ලබා නොදේ. ඔවුන්ට හැම සේවාවක්‌ සඳහාම ගෙවීම් මිස ලැබීම් නම් කිසිවක්‌ නැත. තිබුණු පහසුකම් සහ සහනද එකින් එක ක්‍රමයෙන් කපාහරිමින් පවතී.

උදාහරණයක්‌ වශයෙන් දිගු කාලයක්‌ පැවති පරණ කාරයක්‌ ගෙන්වා ගැනීමට ලබාදුන් තෑගි බලපත්‍ර ක්‍රමය 2010 දී පමණ අහෝසි කරන ලදී. මෙම බලපත්‍ර සඳහා කිසිම බදු සහනයක්‌ ලබානොදුන් අතර වසර 10 ක්‌ දක්‌වා පරණ රථවාහන ගෙන්වීම නිසා ඒවායේ වටිනාකම අඩුවීම මත බදු ප්‍රමාණයද අඩුවීමේ වාසිය පමණක්‌ තිබුණි. එහෙත් විදෙස්‌ගත ශ්‍රමිකයන් ඉල්ලා සිටින්නේ ඔවුන් රටට එවා ඇති විදෙස්‌ මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගෙන දැනට රජයේ සේවකයන්ට ලබාදෙන බදු සහනය මතම අලුත් රථවාහන ගෙන්වීමට බලපත්‍රයක්‌ ලබාදෙන ලෙසයි. තමාගේ නමින් ලියාපදිංචි කර පිටරටදී පාවිච්චි කළ අවුරුදු 10 ක්‌ දක්‌වා පරණ රථයක්‌ ගෙන්වා ගැනීමට දැනටත් බලපත්‍ර ලබාදුන්නද එම අවස්‌ථාව ලැබෙන්නේ ඉතාම අතලොස්‌සකටය. බොහෝවිට වමෙන් පදවන පරණ වාහන ගෙන ඒමට ඔවුන්ගේ කැමැත්තක්‌ ද නැත. එය සාධාරණය. දේශපාලනඥයන්ට මෙන්ම රජයේ සේවකයන්ටද බදු සහිත වාහන ගෙන්වීමට හැකිවී ඇත්තේ විදෙස්‌ගත ශ්‍රමිකයන් එවන විදෙස්‌ මුදල් නිසා බව සියල්ලන් අමතක කොට ඇත.

මෙතෙක්‌ කල් විදෙස්‌ මුදල් ගිණුම් සඳහා ගෙවන පොලිය සම්පුර්ණයෙන් බද්දෙන් නිදහස්‌ය. එහෙත් නව අදායම් බදු පනත අනුව 2018 අප්‍රියෙල් 01 දින සිට සියලුම විදෙස්‌ මුදල් ගිණුම් වලට ගෙවන පොලියෙන්ද 5% ක්‌ අවසාන බද්දක්‌ වශයෙන් රඳවා ගනු ලැබේ.

විදෙස්‌ගත ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට එවන මුදල් රුපියල් වලින් විශේෂ විදෙස්‌ ආයෝජන තැන්පත් ගිණුම් (SFIDA) වල තැන්පත් කොට ඉහළ පොලියක්‌ ලබා ගැනීමේ අවස්‌ථාව ලබා දී තිබුණි. මෙම රුපියල් ගිණුම් අවශ්‍ය අවස්‌ථාවකදී නැවත විදෙස්‌ මුදල් වලට පරිවර්තනය කර ගැනීමටද හැකියාව තිබුණි. එහෙත් නව විදේශ විනිමය පනත අනුව මෙම සියලුම ගිණුම් 2018 අප්‍රියෙල් 01 දින සිට අභ්‍යන්තර ආයෝජන ගිණුම් (IIA) වලට පරිවර්තනය කරනු ලැබේ. මෙම ගිණුම් වලට සහ පුද්ගලික විදෙස්‌ මුදල් තැන්පත් ගිණුම් (PFCA) වලට මෙරට ක්‍රියාත්මක වන බැංකු ගෙවනු ලබන්නේ අවම පොලී අනුපාතයන්ය. විදෙස්‌ ණය සහ බැඳුම්කර සඳහා වැඩි පොලී ගෙවන රටක රටට විදෙස්‌ මුදල් උපයන උල්පත හෙවත් විදෙස්‌ගත ශ්‍රමිකයන් නොසලකා හැර ඇති බවක්‌ පෙනේ. නව විදේශ විනිමය පනත මගින් කළු සල්ලි සුදු කරන්නන්ට විශේෂ සහන සලසා ඇති බව පෙනී යන අතර එවැනි සැලකිල්ලක්‌ විදෙස්‌ගත ශ්‍රමිකයන්ට ලබාදී නැත.

නව විදේශ විනිමය පනත අනුව විදේශ මුදල් ගිණුම්වල මුදල් ශ්‍රී ලංකාවේදී ආපසු ලබා ගත හැක්‌කේ ශ්‍රී ලංකා රුපියල් වලින් පමණි. විදේශ සංචාරයන් සඳහා පමණක්‌ අවශ්‍ය ලියවිලි ලබාදීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් 10,000 ක්‌ හෝ ඊට සමාන මුදලක්‌ වෙනත් විදේශ මුදලකින් ලබාගත හැක. තම ගිණුම් වල මුදල් බැංකුවලින් විදේශ මුදල් වලින් ආපසු ලබාගෙන ඒ සඳහා බලයලත් විදේශ මුදල් හුවමාරු කරන ආයතනයකින් වැඩි රුපියල් ප්‍රමාණයක්‌ ලබා ගැනීමට තිබූ අවස්‌ථාව ඒ අනුව අහිමි වී ඇත. නව විදේශ විනිමය පනත මගින් විදෙස්‌ මුදල් පරිහරණය ලිහිල් කර ඇතත් විදෙස්‌ගත ශ්‍රමිකයන්ට තිබූ සහනද අහිමිකර ඇති බවක්‌ පැහැදිලි වේ.

විදේශයන්හි අධ්‍යාපනය ලබන විදෙස්‌ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීමේ අවස්‌ථාව තිබේ. එහෙත් ඒ සඳහා විදේශිකයන් ගෙවන ගාස්‌තු ගෙවීමට සිදුවේ. මෙය ගෙවීමට හැකියාව ඇත්තේ ටික දෙනෙකුට පමණි. එසේ ගෙවීමට හැකි වුවත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් එසේ අයකිරීම සාධාරණීයකරණය කළ නොහැක. සමහර විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වූ අයට නේවාසික පුහුණුව ලබා නොදීම නිසා එම ආයතන අත්හැර නැවත පිටරටවල් බලා ගිය ශිෂ්‍යයන් ද සිටිති.

පිටරට ගොස්‌ නැවත මවු රටට එන ඕනෑම අයෙකුට පිට රැඳී සිටි කාලය අනුව තීරූ බදු සහනයන්ට යටත්ව පාවිච්චිය සඳහා විවිධ බඩු බාහිරාදිය පිටරටින් හෝ ගුවන් තොටුපළෙන් මිලදී ගත හැකිය. විදෙස්‌ගත රැකියාවල නියුතු වෘත්තිකයන් නිතර නිවාඩු ලබා මවු රටට පැමිණෙන නිසා ඔවුන්ට මෙම සහනය ලබා ගැනීමේ අවස්‌ථාව අවම වේ. ඒ නිසා රැකියාවෙන් ඉවත්වී මවු රටට එන විට අවුරුදු 5 කවත් තීරූ බදු සහනය එකතු කර ලබාදෙන මෙන් ඉල්ලීම් කර තිබුණි. මෙම ලියුම්කරු වසර 8 ක්‌ මැදපෙරදිග සේවය අවසන් කර පැමිණීමෙන් පසු තිබූ තීරුබදු සහන ඇමෙරිකානු ඩොලර් 125/- ක්‌ පමණි. ඒ අනුව ගෙනා බඩු බාහිරාදියට රුපියල් 63,000/= ක බදු මුදල් ගෙවීමට සිදුවිය. සෑම පනතක්‌ම සංශෝධනයට ලක්‌වන අවස්‌ථාවක රේගු පනතට අවශ්‍ය සංශෝධන කිරීමට මැලිවීම රටවිරුවන් නොසලකා හැරීමකි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අය විදේශ රැකියා සඳහා යන විට රැකියාවෙන් ඉවත්වී යැමට සිදුවේ. බොහෝ රජයේ ආයතනවලින් වසරේ සිට වසර පහක්‌ දක්‌වා බැඳුම්කරයකට යටත්ව නිවාඩු ලබා ගත හැක. සමහර ශ්‍රමිකයන් සේවා යෝජකයන්ගේ ඉල්ලීම මත නිවාඩු කාලසීමාව ඉක්‌මවා සේවයේ යෙදෙමින් රටට විදේශ විනිමය උපයයි. එහෙත් රාජ්‍ය ආයතන ඔවුන් සේවය අතහැර ගියවුන් සේ සලකා බැඳුම්කරයේ සඳහන් මුදලද අයකර ගනී. ඔහු මුලින්ම රැකියාවෙන් ඉවත්වී ගියේනම් ආයතනයට කිසිම ප්‍රශ්නයක්‌ නැත. අයකරගැනීමක්‌ද නැත. මෙය තර්කානුකුල නැත. ඔවුන් රටට ඒවා ඇති විදේශ විනිමය ප්‍රමාණය සලකා බැඳුම්කරය නොසලකා හරින්නේ නම් එය විදේශගත ශ්‍රමිකයන්ට මහත් පිටුවහලකි. බොහෝ වෘතිකයන්ට සිය පවුල්ද සමග විදෙස්‌ රැකියාවන්ට යැමට අවස්‌ථාව ලැබේ. එහෙත් සමහර රාජ්‍ය ආයතන රැකියා ලාභියාගේ කලත්‍රයාට අවශ්‍ය නිවාඩු ලබා නොදීම නිසා රටට විදේශ විනිමය ලැබුණත් පවුල් සංස්‌ථා අවුල් වී ඇති අවස්‌ථා බොහෝය. මෙය රාජ්‍ය ආයතන නැවත සලකා බලන්නේ නම් එය විදෙස්‌ ශ්‍රමිකයන්ට මෙන්ම රටටද කරන සේවයකි.

විදෙස්‌ගත ශ්‍රමිකයන්ගේ දෙමාපියන්ට හා දරුවන්ට රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබාදීමේදීත් අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවය ලබාදීමේදීත් ප්‍රමුඛත්වය දීම ඔවුන්ට රටවිරුවන් සේ සැලකීමක්‌ ලෙස හැඳින්විය හැකිය. එහෙත් කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකින් ඔවුන්ට එවැනි ප්‍රමුඛත්වයක්‌ නොලැබේ.

සමහර රටවල් විදේශගත පුරවැසියන්ට ඡන්ද අයිතිවාසිකම් ලබා දී ඇත. එහෙත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එම අවස්‌ථාව නැත. එහෙත් ඔවුන්ගේ පවුල්වල ඡන්ද ලබා ගැනීමට සෑම දේශපාලන පක්‌ෂයක්‌ම බොහෝ උනන්දුවෙන් කටයුතු කරති. විදෙස්‌ගත ශ්‍රමිකයන්ට ඡන්ද බලය ලබා දීමට මැතිවරණ කොමසාරිස්‌වරයා අකමැති බවක්‌ ඔහුගේ ප්‍රකාශ වලින්ද පෙනී යයි.

විදෙස්‌ ශ්‍රමිකයන් රටේ ප්‍රධාන විදේශ විනිමය උල්පත වුවත් ඒ මගින් උද්ගත වී ඇති සමාජ ප්‍රශ්න රාශියකි. භාර්යාව රට යැම නිසා ස්‌වාමිපුරුෂයා බීමට ඇබ්බැහි වීමත්, මුදල් නාස්‌ති කිරීමත් හෝ වෙනත් සම්බන්ධතාත් නිසා සිය ජීවිතයම අභාග්‍යයට දමා ගැනීම හෝ පවුල් සංස්‌ථාව අවුල් කර ගැනීමත් බොහෝ විට දක්‌නට ලැබේ. ස්‌වාමිපුරුෂයා රට ගියවිට භාර්යාව අවස්‌ථාවාදීන්ට අසුවීම නිසාද පවුල් සංස්‌ථාව මෙන්ම ස්‌වාමි පුරුෂයා එවන මුදල්ද නැතිකර ගනී. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම, අපයෝජනයට පත්වීම, නරක මිතුරන් හා අවස්‌ථාවාදීන් නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමද බොහෝ අවස්‌ථාවල දක්‌නට ලැබේ. සියදිවි හානි කරගැනීම්ද බොහෝය. මෙම පවුල් හා ළමයින් සඳහා පවුල් සම්බන්ධතා ශක්‌තිමත් කිරීම සඳහාත්, ළමයින් හදා වඩා ගැනීම සඳහාත්, මත් ද්‍රව්‍ය වලින් බේරා ගැනීම සඳහාත්, විවිධ මානසික ප්‍රශ්නවලින් මුදා ගැනීම සඳහාත් මනෝ විද්‍යාත්මක උපදේශනය අත්‍යවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයක්‌ බවට පත්වී තිබේ. ළමයින් විදේශ ගතවීම නිසා වයස්‌ගත දෙමාපියන් අසරණ වූ අවස්‌ථා බොහෝය. ඔවුන්ටද මනෝ විද්‍යාත්මක උපදේශනය මෙන්ම ඔවුන් රැක බලා ගැනීමද දවසේ අවශ්‍යතාවය වී ඇත. මෙකී නොකී විවිධ ගැටලු නිසා මානසික ආබාධයන්ට ලක්‌වුවන් බොහෝය. ඔවුන්ට පිහිට වීමට කිසිවකු නැත. මේ පිළිබඳ සමීක්‌ෂණ කරන බවක්‌ද නොපෙනේ. විදෙස්‌ගත වූවන්ද එම රටවලදී විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන අවස්‌ථා බොහෝය. ඉන් තානාපති කාර්යාලවලට වාර්තා වන්නේ අල්පයක්‌ පමණි. ඔවුන් එයින් මුදාගැනීම සඳහා ශක්‌තිමත් ක්‍රමවේදයක ඉක්‌මන් අවශ්‍යතාව මතුවී තිබේ.

නීතීඥ නාරංගොඩ අමරසේන

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.