පාතාල නායක අංගොඩ ලොක්‌කාගේ ප්‍රධාන ගෝලයකු වන ශිරාන් අමර නොහොත් කොලොන්නාවේ ශිරාන්, ජීව අත්බෝම්බ දෙකක්‌ද සමග පසුගිය දා පෑලියගොඩ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය පොලිස්‌ විශේෂ කාර්යාංශය ලබාදුන් තොරතුරකට අනුව කඩවත ඉහළබියන්විල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්‌ නිලධාරියකු ඝාතනය කිරීම, මාදින්නාගොඩ ප්‍රදේශයේදී හැමිල්ටන් බබා නමැත්තා ඝාතනය හා පිහියෙන් ඇන ගොතටුව සෝයි නමැති අයකු මරා දැමීම ඇතුළු මිනිස්‌ ඝාතන හා දරුණු අපරාධ රැසකට මේ පුද්ගලයා සම්බන්ධ බව පොලිසිය පවසයි.

කොළඹ මහවත්තේ චාමර නමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට අනුව මොහු සුරේන්ද්‍ර නමැත්තකුද ඝාතනය කර ඇතැයි පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

මිනිස්‌ ඝාතන සඳහා මිලි මීටර් නවය වර්ගයේ රිවෝල්වරයක්‌ නිතර සන්තකයේ තබාගෙන සිට ඇති මොහු පසුගිය දිනක එම ගිනි අවිය අත්වැරදීමකින් පත්තු වී වම් පාදයේ අස්‌ථි බිඳී යැමෙන් බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබීමෙන් පසු හදිසි අනතුරක්‌ බව පවසා ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිචාර ලබමින් සිටියදී ඔහු පරීක්‌ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තුවාල සිදුව ඇත්තේ අනතුරකින් නොව ගිනි අවියකින් වෙඩි වැදීමෙන් බව හෙළි කර ගැනීම නිසා බලහත්කාරයෙන් රෝහලින් පිටව ගොස්‌ තිබේ.

සැකකරු පොලිසියට කොටුවී ඇත්තේ එම තුවාල සඳහා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබමින් සැඟව සිටියදී.

ඉකුත් 2017 නොවැම්බර් මාසයේදී අතුරුගිරිය ප්‍රදේශයේදී මංජුලා සඳුනි නමැති රූපලාවන්‍ය ශිල්පිනිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියටද මොහු සම්බන්ධ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.