ලියුම්කරුට හිතවත් පොලිස් නිලධාරියෙක් පසුගියදා අපූරු චරිතයක් ගැන විස්තරයක් ලබා දුන්නේය. ඒ අපේ භාෂාවෙන් හඳුන්වන පික්පොකට්කාරයෙක්වය. ඔහු පොලීසියට කොටු වී දෙතුන්වතාවක් සිරබත් කෑ අ‍ෙයක් වන අතර දැන් පදික වේදිකාවේ සුළු ව්‍යාපාරයක් සිදුකරන්නේ තමන්ගේ අතින් අඳුරු වූ අතීතය අමතක කරමිනි. ඒ නිසා අප ඔහුගේ නමක් ගමක් සඳහන් කරන්නේ නැත. කෙසේ වෙතත් පසුගිය දවසක එම පුද්ගලයා අහම්බයෙන් මා හට හමුවිය. එහිදී ඔහු විසින් මේ පොකට් ගැසීමේ රස්සාව ගැන ඔහුගේ කටින්ම කියූ කතාවකි මෙය.

මට ගම ගැන කියන්න බෑ. මම කොළඹට ටිකක් දුරින් පැත්තක හැදුණේ. හැබැයි මම ගමේ ඉන්නකොට මගේ යාළුවෝ හරහා මම හෙරොයින් බොන්න පුරුදු වුණා. මේ නිසා අපේ ගමේ මාත් එක්ක කොල්ලෝ 4ක් විතර දරුණුවටම කුඩු බොන්න රංචු ගැහුණා. කොහොම හරි ගමේ කුඩු ගෙනාපු පොර පොලීසියෙන් අල්ලා ඌව රිමාන්ඩ් කළා. අපි කරපු වැඩේ හතර දෙනාම දෙමටගොඩට කෝච්චියෙන් ආවා බඩු හොයාගෙන. දෙමටගොඩ තැනක් තියෙනවා ඕන වෙලාවක කෑලි (කුඩු) ගන්න පුළුවන්. අන්න එතන්ට අපි ඇවිත් බඩු ගත්තා. ඔය තැන කුඩු නවත්තන්නත් බෙහෙත් දෙනවා. පොලීසියෙනුත් දන්නවා. මම කුඩු නැවැත්තුවෙත් එතනින්. යැයි එක හුස්මට සිය කතාව සිදුකරගෙන ගියේය. ඔහුගේ ජීවිතය එක්තරා මොහොතකදී වෙනස් වන්නේ ඔහුගේ මේ ඇබ්බැහි වීම නිසාය.

දවසක් මම විතරක් දෙමටගොඩ ආවා. එදා ආවට සල්ලි තිබ්බේ නෑ. මම එතන කොල්ලට කිව්වා පස්සේ සල්ලි දෙන්නම් කෑල්ලක් දෙන්න කියලා. බෑ කිව්වා. රුපියල් 1500ක් හොයන්න ඕන. මම පිටකොටුවට ආවා. මම ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට මම දැක්කා ගෑනු කෙනෙක් පර්ස් එකෙන් සල්ලි අරගෙන බෑග් එකට දානවා. ඒ දානකොටම බස් එක ආවා. බස් එකට නගින්න ඕන හදිසියට පර්ස් එක බෑග් එකට දැම්මේ බාගෙට. පර්ස් එක එළියේ තිබ්බේ. මම ඒ ගෑනු කෙනා බස් එකට නගිනවත් එක්කම මාත් බස් එකට නැග්ගා. ඒ නගිනකොට බෑග් එකෙන් පර්ස් එක අතට ආවා. එහෙමම බැහැලා ඇවිත් පයින්ම අලුත්කඩේ පැත්තට ආවා. පාලු පාරකට හැරිලා පර්ස් එක බැලුවා. රුපියල් 6700ක් තිබ්බා. මම ත්‍රීවිල් එකක නැගලා දෙමටගොඩට ඇවිත් කෑලි දෙකක් අරගෙන ඉතුරු සල්ලි ටික සාක්කුවේ දාගෙන ගෙදර ගියා. අර පර්ස් එක මම ලියුම් පෙට්ටියකට දැම්මා ඔහුගේ ජිවිතය වෙනස් වූ ආකාරය මෙලෙස කීවේ සිනහා වෙමින්ය.

දැන් මේ වැඩේ අල්ලලා ගියා. සතියට පර්ස් දෙකකට ගේමක් දෙන තැනට ඉබේම පත්වුණා. මම හොඳට ඇන්දා. ඒ වගේම හොඳට කුඩුත් ගැහුවා. කොහොම හරි දවසක් කෝච්චියේ පොකට් ගහන්න ගිහින් මම මාට්ටු වුණා. මට ගහලා පොලීසියට දුන්නේ. අන්තිමට දවස් 14ක් රිමාන්ඩ් කළා. ඊට පස්සේ එළියට ආවා. ආයි පොකට් ගහන්න පටන් ගත්තා.

දවසක් පොකට් ගහන්න ඉන්නකොට බස් ස්ටෑන්ඩ් එකේ ත්‍රීවිල් එකක් ඇවිත් නැවැත්තුවා. ඒකේ ආපු තුන්දෙනෙක් පොලීසියෙන් කියලා මාව නග්ගගත්තා. මාව ත්‍රීවිල් එකේ දාගෙන අරගෙන ගියා වත්තක් ඇතුළට. ගිහින් ගෙයක් ගාවින් නවත්තලා මාව බැස්සුවා. මම බය වුණා. යනකල් වචනයක් නෑ. ඊට පස්සේ මාව අරගෙන ගිහින් ත්‍රීවිල් එකක් ළඟ නැවැත්තුවා. එතන හිටියා උස මහත පොරවල් දෙකක්. උන් මගේ කනට ගහලා කිව්වා. උඹ බස් ස්ටෑන්ඩ් එකේ පොකට් ගහන්නේ කාගෙන් අහලද? අපි නෝට් කරගෙන හිටියේ උඹව. කන පලනවා කියලා බෙල්ලට පිහියක් තිබ්බා. ඇත්තටම මම බය වුණා. ඊට පස්සේ උන් කිව්වා හරි උඹ පොකට් ගහපන් දවසට 300ක් දීපන් අපිට කියලා. මම බේරෙන්න ඕන හිංදම හා කිව්වා. ඊට පස්සේ මාව ගෙනල්ලා දැම්මා ගුණසිංහපුරට. දැන් මම එතන ඉඳන් පොකට් ගහනවා එක දිගට. හැමදාම හවසට අර ත්‍රීවිල් එක එනවා බස් ස්ටෑන්ඩ් එක ගාවට. ඊට පස්සේ 300 අරගෙන යනවා. මම විතරක් නෙමෙයි තවත් අය දෙනවා මම ඇස් දෙකෙන්ම දැක්කා යැයි කීවේය.

ඔහු කියන පරිදි මෙය පිටකොටුවේ එක්තරා ව්‍යාපාරයකි. දවසට පොකට්කරුවන්ගෙන් කප්පම් ගන්න පිරිසක් මාන බලමින් සිටින බව ඔහු හෙළි කළේය. එහෙත් ඔහු නම් ගම් කීවේ නැත. ඔහු කියන පරිදි කාන්තාවෝ ද එම තැනැත්තන්ට මුදල් ගෙවමින් පොකට් ගසති.

දවසක් මාව පොලීසියට මාට්ටු වුණා. පොලීසියේ නම කියන්න බෑ. හරි නෑනේ. ඒ අහුවුණේ මිනිස්සු අල්ලලා බාරදුන්න නිසා. මාව පොලීසියට අරගෙන ගිය ගමන් අර රාළහාමි අහපි අර අපෙන් සල්ලි ගන්න පොරගේ නම කියලා තමුසේ ඌ ගාවද ඉන්නේ කියලා මම ඔව් කිව්වා. ඊට පස්සේ මාව උසාවි දාලා ඇප අරගෙන දුන්නා. මම කිසිදෙයක් දන්නේ නැතුව ආයි බස් ස්ටෑන්ඩ් එකට ආපු දවසක අර ත්‍රීවිල් එකේ සෙට් එක ඇවිත් ඇහුවා එදා අහුවුණාලු නේද? පොලීසියෙන් ගැහුවේ නෑනේ. අයියට කෝල් කරලා ඇහුවා උඹ ගැන. මම එවලේ හිතා ගත්‍තා වෙච්ච දේ. කවදාවත් අපිට බස් එකේ කොන්දොස්තර කෙනෙක්වත් සද්ද දාන්නේ නෑ. අපි අරයගේ මිනිස්සු කියලා දන්න නිසා.

මොහු කියන ආකාරයට අරයා ලෙස හඳුන්වන පුද්ගලයා මේ කොළඹ පොකට් ගැසීමේ කලාවේ ප්‍රධානියා විය හැක. එසේත් නැත්තන් බලහත්කාරයෙන් එහෙම වෙන්නට උත්සාහ ගන්නා අයකු විය හැක. එහෙත් ඔහුට ඇති කුමක් හෝ බලය නිසා ඔහු සිටින්නේ යහතින්ය.

මම අර පුද්ගලයාව පස් වතාවකට වඩා දැකලා නෑ. ගෝලයෝ තමයි ඉන්නේ. අන්තිමට මම ගිය අවුරුද්දේ කුඩු ගහන එක නැවැත්තුවා. පොලීසියට තුන් හතර වතාවක් කොටු වෙච්ච නිසා පොකට් ගහන වැඩෙත් නැවැත්තුවා. ඊට පස්සේ පිටකොටුවේ මුස්ලිම් මහත්තයෙක්ගෙන් බඩු අරගෙන බිස්නස් කරනවා. හැබැයි මම දැන් මාස 7කින් විතර අර පැත්තේ ගිහිල්ලා නෑ. හැබැයි එහෙම කියලා හොයලත් නෑ. බස් ස්ටෑන්ඩ් එකේ බහිනවා නම් තමයි සල්ලි ඕන. ඒ වගේම අවසරේ ඕන.

සමහර අවස්ථාවල එක බස් එකේ දෙන්නයි පොකට් ගහන්න. කොන්දොස්තර ඒක දැනුම් දෙන්න වගේ කියනවා පොකට්කාරයෝ ඉන්නවා පරිස්සම් වෙන්න කියලා. එතකොට අපි දන්නවා එකෙක්ට වඩා ඇතුළේ ඉන්නවා කියලා. අන්න ඒ වෙලාවට ෂේප් වෙලා බැහැලා යනවා.

ඔහු කියන කතා බොහෝමයක සිදුවීම් ඔහුට හිනා ගෙන දෙන ඒවාය. එහෙත් පොකට්කාරයන්ටත් කප්පම් ජාවාරම ක්‍රියාත්මක වීම ගැන තියෙන්නේ ඔහුට තරහවකි.

අපි පොකට් ගැහුවේ කුඩු බොන්න. අපි නැති කරගන්න. ඒත් අරුන් අපෙන් සල්ලි අරන් ළමයින්ට කන්න බොන්න දෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔය පොලීසියේ පහළ සමහර මහත්තුරු උන්ව ළඟින් ආශ්‍රය කරන්නෙ. ඇයි ඔක්කොම කේලම් කියනවානේ. ඒකයි. ඒ නිසා උන්ට ඕන දෙයක් කරගන්න කියලා පොලීසියේ මහත්තුරුත් සද්ද නෑ. මේ පිටකොටුව කියන්නේ අමුතු කතාවක් මල්ලි යැයි කියමින් ඔහු වාඩි වී සිටි තැනින් නැගිට්ටේය. ඔහු දැන් කුඩු ගසන්නේ නැත. පොකට් ගසන්නේ නැත. තමන්ගේ පාඩුවේ කුඩා ව්‍යාපාරයක් පදික වේදිකාවේ සිදුකරමින් සිටියි. ඒ අඳුරු අතීතය මකාදමාය.

 අසංක කළුබෝවිල

Loading...