දේශපාලනය යනු මහජන සේවයකැයි වේදිකාවල මහප්‍රාණ අකුරුවලින් කරුණු ඇද බෑව ද එය හුදෙක් බල පොරයක් පමණක් බව මෙරට දේශපාලනය දෙස සහබුද්ධිකව බැලීමේදී පසක් වන පරම සත්‍යයයි. මේ මොහොත වන විට ලංකාවේ ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ අභ්‍යන්තර අර්බුදවලට මුහුණ දී තිබෙන්නේ ද මේ බල පොරයේ තියුණු බව නිසාමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඇති ඒකාබද්ධ විපක්ෂ, පොදුජන පෙරමුණ තුළ ද මේ වන විට කෙමෙන් කෙමෙන් බල අරගලයක් මෝරා එනු දක්නට ලැබෙන්නේ ද උක්ත ප්‍රකාශය සනාථ කරමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ මේ බල පොරය කරළිය යට සැඟවී ගත්තක් වුව ද අද වන විට එය එළිපිට දෘෂ්‍යමාන වන්නට පටන්ගෙන තිබේ. ඊට හොඳම සාක්ෂිය වන්නේ රත්නපුර නගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේම පාර්ශව අතර හටගෙන ඇති අර්බුදයයි.

ඉකුත් පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී රත්නපුර නගර සභාවේ සියයට පනහක බහුතර බලයක් දිනා ගැනීමට කිසිදු පාර්ශවයක් සමත් වූයේ නැත. වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි වූයේ පොදුජන පෙරමුණටය. ඒ ආසන 12කි. එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ආසන සංඛ්‍යාව 10ක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් ආසන 02ක් ද ජනතා විමුක්ති පෙරමුණට 01 ආසනයක් ද හිමිවිය. ඒ අනුව 25ක් වන මුළු සභික ධූර සංඛ්‍යාවෙන් සියයට පනහක් එනම් ආසන 13ක් දිනාගැනීමට කිසිදු කණ්ඩායමක් සමත් වූයේ නැත. බැලූ බැල්මට පෙනෙන්නට තිබුණේ පොහොට්ටුවත් ඊට සමීප සම්බන්ධයක් ඇති බුලත් කොළයත් එකට එකතු වී නගර සභාවේ බලය පිහිටුවනු ඇත යන්නය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයා විසින් බුලත් කොළයේ සහාය පොහොට්ටුවට දීමටත් ඒ වෙනුවට උප නගරාධිපති ධූරය බුලත් කොළයට ලබා දීමටත් උත්සාහ ගනු ලැබූ බවත් වාර්තා විය. කෙසේ නමුත් නගරාධිපතිවරයා පත්කිරීමේදීත් ඇමැති සෙනෙවිරත්න බලපෑම් කිරීමට උත්සාහ ගැනීම නිසා රත්නපුරේ පොහොට්ටු බුලත් කොළ දීගය අසාර්ථ වූ බව ද දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

මේ අතර අවසානයේදී පොහොට්ටුවෙන් නගරාධිපතිවරයකු පත්කරගනු ලැබුවේ තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබාගනිමින් වීම කැපී පෙනුණු සිද්ධියක් විය. නගරාධිපති ධූරයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ පවිත්‍රා වන්නිආරච්චි හිටපු ඇමැතිනියගේ හිටපු ලේකම්වරයකු ද බව සඳහන් ටිරෝන් අත්තනායක මහතා සහ පොහොට්ටුවෙන්ම පත්ව ආ සභිකයකු වූ චන්ද්‍රසිරි අතුකෝරාළ මහතාය.

එහිදී එ.ජා.ප සහාය ලැබූ ටිරෝන් අත්තනායක මහතාට පක්ෂව ඡන්ද 12ක් ද චන්ද්‍රසිරි අතුකෝරාළ මහතාට පක්ෂව ඡන්ද 11ක් ද ලැබුණු අතර එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය. ජ.වි.පෙ ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඒ අනුව වැඩි ඡන්දයෙන් නගරාධිපති පුටුවේ වාඩිවූයේ පොහොට්ටුවේ විරුද්ධත්වයෙන් හා එ.ජා.ප.යේ සහායෙන් ඡන්දය දිනූ ටිරොන් අත්තනායක මහතාය. උප නගරාධිපති පුටුව හිමි වූයේ ඡන්ද 13ක් හිමි වූ එ.ජා.ප සභික එම්. ඒ. මුණසිංහ මහතාටය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාට සහ එ.ජා.ප.යෙන් පත්වූ නියෝජ්‍ය නගරාධිපති එම්. ඒ. මුණසිංහ යන මහත්වරු දෙදෙනා පළමු කොට මල්මාලා දමා පිළිගනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. ඒ. විජේතුංග මහතා වීම ද මෙහිදී කැපී පෙනුණි.

රත්නපුරයේ පොහොට්ටු ගෝරිය කරළියට මතුවූයේ මේ සමඟය.

පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර සහ ජානක වක්කුඹුර යන අය මේ සම්බන්ධව දැඩි අදහස් දැක්වීමක් සිදු කළහ. රංජිත් සොයිසා මන්ත්‍රීවරයා ඊට ඍජුව ඇඟිල්ල දිගුකළේ හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ කංචන ජයරත්න සබරගමුව පළාත් සභාවේ සභාපතිවරයාටය. රත්නපුර නගර සභාවේ පොහොට්ටු ජයග්‍රහණය එ.ජා.ප.යට පාවා දී ඇති බව සෙසු මන්ත්‍රීවරුන්ගේ ද අදහස විය.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව රත්නපුර නගර සභාව මූලික කරගනිමින් මතුව ඇති මේ අර්බුදයට හේතුව වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුළ බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ පවතින බල අරගලය බව ද දැනගන්නට තිබේ. ඒ අනුව බැසිල් රාජපක්ෂගේ උපාය මාර්ගික තීන්දුවක් අනුව පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිනිය ටිරෝන් අත්තනායක මහතාව නගරාධිපති පුටුවේ හිඳුවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ අතර පසුගිය දිනෙක කුරුණෑගල ප්‍රදේශයේ සංචාර කළ විටෙක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද රත්නපුරයේ පොහොට්ටු ගෝරිය ගැන මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඔහු ද කියා සිටියේ ඒ සම්බන්ධව සොයාබැලීමක් සිදුකරන බවය.

කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු කණ්ඩායම අතර මීට පෙරදී ද යම් යම් අර්බුදකාරී අවස්ථාවන් හට ගෙන තිබුණි. ඒ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය පිහිටුවීමේ අවස්ථාවට රංජිත් සොයිසා, ජානක වක්කුඹුර සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරැන් සහභාගී නොවීම ද කැපී පෙනේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙන්ම ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සම්බන්ධ කරගැනීමට කිහිපවිටක්ම අප දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

– රෙහාන් රාසික්

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.