ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් වසමට අයත් සිරිමාපුර හන්දියේදී අද (11) අලුයම සිදුවු වෙඩි තැබිමකින් ව්‍යාපාරිකයෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය සිරිමාපුර පදිංචි හෙන්දා විතාරණගේ සෙලින් කුමාර (43) හෙවත් තෙල් කුමාර නැමැති පුද්ගලයෙක්.

ඔහු සුපුරුදු පරිදි සිය ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් පිටතට පැමිණ වාහනයට ගොඩවෙද්දී මෝටර් රථයකින් පැමිණි තුන්දෙනෙකු විසින් ඔහුගේ මුහුණට වෙඩිතබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදුණු ඔහු ත්‍රිකුණාමලය මහා රෝහලට රැගෙන යද්දි මියගොස් තිබෙනවා.

මියගිය තෙල් කුමාරට කලක් තිස්සේ මරණ තර්ජන තිබි ඇති අතර ඒ නිසා විවිධ අවස්ථාවලදි ප්‍රදේශයෙන් බැහැර වි සිට තිබෙනවා.

ඔහු 45 හැවිරිදි සිරිමාපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර වෘත්තීයෙන් මත්ස්‍ය ව්‍යාපාරිකයෙක්.

එමෙන්ම, යුද සමයේ LTTE සංවිධානය සමග ඉන්ධන ගණුදෙනු සිදුකළ බවට ද මීට පෙර මොහුට චෝදනා එල්ල වී තිබුණා.

තෙල් කුමාර අපරාධ කල්ලි සමග සබදතා පැවැත්වූ බවට ද තොරතුරු පවතින බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හදුන්වන අයිස් මංජු නමැත්තා මොහු සමග ව්‍යාපාර කටයුතුවල නිරත වී ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරමට ද මොහු සම්බන්ධ වී සිට ඇති අතර කාලයක් ඒ සම්බන්ධයෙන් වරදකට ඔහු බන්ධනාගාරගත වි සිටි බව ද වාර්තා වෙනවා.

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව තවත් අපරාධ කල්ලියක සාමාජිකයින් පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.