අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලිය ගහ මැදුරට ආවේ දෙපාර්තුමේන්තු කීපයක නිලධාරීන් සමග වන සාකච්ඡාවකටය.

එය නිමකල ඔහු පැමිණ සිටි මැති ඇමතිවරු නිලධාරීන් හා පක්ෂ හිතවතුන් මෙන්ම මාධ්‍යවේදීන් කීප දෙනෙක් සමගද කතා බහ කලේය.

“ජනාධිපතිතුමා ලගම හිටපු පගාකාරයෝ දෙන්නා අල්ලස් එකට කොටු වීම ගැන මිනිස්සු සුභවාදී තැනකයි ඉන්නේ. තරුණ ඥාතීන් දෙන්නෙක් එතන ඉදල මාරුවෙලා කියල ආරංචියි.මේ වැඩේ අගමැතිතුමාගේ ඇගේ පටවලා ජනාධිපතිතුමා එක්ක කොටවන ව්‍යාපාරයකුත් ගියා” එජාප නීති අංශ නිලධාරියෙක් කතාවට මුල පිරුවේය.

“අවුරුදු 02 ක් මේ පරීක්ෂණ කරල තියෙනවා. අනික හොරු අල්ලන්න කියල ජනාධිපතිතුමාම මුළු රටෙන්ම ඉල්ලුවානේ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

“ එජාප මැයි රැලිය ගෘහස්ත ක්‍රීඩාංගණයක තිබීමයි පෙලපාලියක් නැතිවීම ගැනයි විපක්ෂය මඩගහන්න ගත්තා. අපි අලුත් සංකල්පයක් මත වැඩ කරපු එක එයාලට තේරුනේ නෑ. අනික මේ පාර කොයි පක්ෂයක්වත් පෙලපාලි ලොකුවට කලේ නෑ. ” නවීන් දිසානායක කීදේ අගමැති ඇතුලු සියලු දෙනා අනුමත කලහ.

“ පෙළපාලි හැමදාම ගියේ කම්කරුවා වෙනුවෙන් නෙවෙයි තම පක්ෂයේ දේශපාලන හයිය පෙන්වීමටයි.අපි මේ පාර මේ බොරුව රටට පැහැදිලි කලා. ඒක නොතේරෙන අය කෑගහවි. ප්‍රශ්නයක් නෑ” අගමැති කීය.

“ ෆොන්සේකාගේ කතාවට ලොකු චියර් එකක් ලැබුණා.සජිත් නවීන් ඇතුලු තරුණ එජාප නායකයො පක්ෂයට විශාල ශක්තියක් බව එදා මැයි දිනයේදී රටට ඔප්පු කලා” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ රවි කරුණානායකටත් මම විශේෂයෙන් ආරාධනා කලා. එතුමා ආවේ නෑ. කතාවකුත් වෙන් කරලා තිබුණේ.මේ ජනාධිපති දිනවල මේ ආණ්ඩුව හදන්න එජාප අපි කට්ටිය එකතු වෙලා කරපු කැපවීම කියල රවිට ලොකු ජනතා ප්‍රසාදයක් ගන්න තිබුණ අවස්ථාව මග ඇරියෙ ඇයිද කියල තේරෙන්නෙ නෑ. ” මහලේකම් අකිල විරාජ් කීදේ කාගේත් දැඩි අවධානයට යොමු විය.

“ සමෘද්ධි බැංකුවේ කෝටි 675 ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන සොයන්න කියල මිනිස්සු අපට බලකරනවා. සමෘද්ධි බැංකුවට විතරක් කිසිම නියාමනයක් නැතුව යන්න දීම දූෂණයට පාර කපන බවත් මිනිස්සුන්ගෙ මතයයි. ” නවීන් දිසානායක කීය.

“ සමෘද්ධි ව්‍යාපාරය ගලා යන හා ගලා ආ ක්‍රමය ගැන පරීක්ෂණය කල යුතුයි. මුදල් අමාත්‍යංශය ඒකට පෙරමුණ ගනීවි. කෝටිපතියන්ටත් දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි ලබාදුන් පරණ ක්‍රමය වෙනුවට දුගී අයට පක්ෂ භේදයකින් තොරව සමෘද්ධි ලබාදීමේ ක්‍රමවේදයක් අපි හදනවා” අගමැති කී විට සියලුදෙනා ඊට ප්‍රශංසා කළහ.

“ශ්‍රීලනිප මඩකලපු මැයි රැලියට පොලොන්නරුවෙන් හා අම්පාරෙන් සෙනග ගෙනත් තියෙනවා. ඉතිරි පිරිස ජනාධිපතිතුමා බලන්න ආපු අය බව බොහෝ දෙනෙකුගේ විග්‍රහයයි. ගාල්ලෙයි මඩකලපුවෙයි එකම වගේ සෙනගක් ඉදල තියෙන්නේ” එජාප නීති නිලධාරියෙක් කීය.

“ගාල්ලෙ පොහොට්ටු රැස්වීම බැසිල් හා රෝහිත අබේගුනවර්ධන මෙහෙයවල තියෙන්නේ ඒ අයට ඕන විදියට නිසා ඇතුලෙ මාර කචල් තිබිල තියෙන්නෙ කියල ආරංචියි” පී හැරිසන් කීය.

“ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා විපක්ෂයට ගියේ සෙංකෝලය තියලා කතානායකතුමා වාඩිවෙන්න කලින් නිසා ඒ අය “ක්‍රොස් ඕවර්” කළා කියල පිලිගන්න බැහැ. ජනාධිපතිතුමාගෙ කතාව ඉවර කළාම අනිත් පැත්තට යන්න තරම්වත් ඒ අයට කොන්දක් නෑ කියලයි සමහරු කියන්නෙ” නවීන් දිසානයක කීවේ සිනාමැදය.

“එජාප ශ්‍රීලනිප සම්මුති රජයේ කතානායක හා නියෝජ්‍ය කතානායක පක්ෂ 02 ට බෙදෙන නිසා ජනාධිපතිතුමාගෙ පණිවිඩය එනකම් මොකුත් කරන්න අමාරු බව කතානායකතුමා කිව්වා නේද” ගයන්ත කරුණාතිලක ඇසුවේය.

“තිලංග යලි පත්කළොත් ආණ්ඩුවේ හා විපක්ෂයේ හැම පැත්තෙම බොහෝ අය ඊට විරුද්ධ වේවි. නියෝජ්‍ය කතානායකයෙකුට තම පක්ෂ තීන්දුව අනුව ඡන්දය දිය හැකි වුවත් යම් ප්‍රශ්නයකදී පක්ෂග්‍රාහීව වැඩ කරන්න බෑ” නවීන් දිසානායක කළ විග්‍රහය අගමැති ඇතුලු සියලු දෙනා අනුමත කළහ.

“ එජාපයට ප්‍රධාන විධායක නිලධාරියෙක් පත් කරන්න යනවද? ඒකට සාගල දානව කියල යම් විරෝධතාවයකුත් තැන තැන යනවා” ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේය.

“ නෑ. සාගලගෙ කතාව බොරු. දේශපාලනය නොකරන කෙනෙක් එවැනි තනතුරකට පූර්ණ කාලීනව පත් කරන්න කියලා රුවන් විජයවර්ධන කමිටුව නිරුදේශ කර තියෙනවා. සිරිකොතේ පරිපාලනය ශක්තිමත් කිරීමයි එම නව තනතුරේ අරමුණයි.පක්ෂයටත් තවත් තනතුරු කීපයක් අළුතින් ඇති කරනවා ” අගමැතිවරයා පැහැදිලි කලේය.

“ නව එජාප මහලේකම්තුමා වැඩේ හොදට පටන් ගත්තා. ඒත් කීප දෙනෙක් වටවෙලා එතුමාව පුම්බන්න දගලනවා.කෑ ගහන්නේ නැතුව පිම්බෙන්නෙ නැතුව වගකීම් ඉටු කරන ලෙස එතුමාට උපදෙස් දෙන්න ” එජාප හිතවතෙක් අගමැතිවරයාගෙන් ඉල්ලීය.

“ඔය තත්වය මටත් ආරංචියි.අකිලට මේ වගේ දේවල් වලින් බේරිලා ඉදිරියට යන්න ශක්තිය තියෙන්න ඕනෑ. අගමැති කීය.

“ නව මහාධිකරණ පිහිටවලා බරපතල නඩු දිනපතා අහන ක්‍රමවේදයට අදාල පනත සම්මත වීම රටම ලැබූ ලොකු ජයක්. ඉස්සර බරපතල නඩු බව කිව්වෙ මිනී මැරුම් වලටයි.අද ජනතා මුදල් ගසා කෑම් පවා ඒ ගණයට වැටෙන බව සමාජ පිලිගැනීමක් ඇතිවෙලා නිසා මේ පනත හරහා රටට විශාල සේවයක් වේවි. වැරදි නොකරපු කවුරුවත් මේකට බය වෙන්න දෙයක් නෑ. අනික මේ පනත මේ ආණ්ඩුව යටතේ විතරක් නෙවෙයි මුළු අනාගතයටම බලනපානවා. ” විජයදාස රාජපක්ෂ කීදේ අගමැති ඇතුලු සියලු දෙනා පිලිගත් අතර නව පනත ගෙන ඒමට හා පාර්ලිමේන්තුවේදී ඒ වෙනුවෙන් මතවාදීව පෙනී සිටීමට ඇමති විජයදාස ලබා දුන් සහය ගැනද එහිදී සියලු දෙනා ඔහුට ස්තූතිය පල කලහ.

රවී කරුණානායකට ඇමතිධූරය ලබා දීම ගැනද එහිදී අවධානය යොමු විය. අල්ලස් ගැන සෙවීම අල්ලස් කොමිසමේ කටයුත්තක් විනා නීතිපති දෙපාර්තුමේන්තුවේ ප්‍රමුඛ කටයුත්තක් නොවන බවත් ඔහුට අදාළව නීතිපති නිර්දේශ ගනු ලබන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පදනම් කරගනිමින් පමණක් බවත් එහිදී කරුණු එලිවිය.

Loading...