පසුගිය සඳුදා සවස හිටපු රාජ්‍ය අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ හිටපු කනිටු පුත්‍රයා වන නිබසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහය සිදුවිය.

ඒ සඳහා වූ මංගල උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

මේ විවාහ මංගල උත්සවයේදී මනාල යුවල වෙනුවෙන් සාක්ෂියට අත්සන් කිරීම සඳහා ඇරයුම් ලබා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

මෙදින මැයි දින රැලි ගණනාවක් ඈත පළාත්වල යෙදී තිබුණු නිසා බොහෝ මැති ඇමැතිහු කාර්යබහුල වී සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාන්තන්තුඩියේ පැවති ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වී රාත්‍රී 7.07ට යෙදී තිබුණු මංගල්‍යයේ සාක්ෂියට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා හෙළිකොප්ටරයෙන් කොළඹ බලා එන්නට හැදුව ද අධික වැසි තත්ත්වය නිසා ගුවන් නියමුවෝ හෙළිකොප්ටර ගමන අවලංගු කළහ.

ඒ නිසා වහාම මඩකලපු ගුවන් තොටුපොළට කුඩා ගුවන් හමුදා යානයක් ගෙන්වාගෙන එම යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළට පැමිණීමට ජනාධිපතිවරයා සැලසුම් කළේ හදිසියේමය.

නැවත නිල නිවසට ගොස් සූදානම් වී පැමිණීමට කාලයක් නොතිබූ නිසා තමන්ගේ ඇඳුම් රත්මලාන ගුවන් තොටුපොළටම ගෙන්වාගෙන එහිදී සැරසී ෂැංග්‍රිලා හෝටලයට පැමිණියේය.

ඒ වන විට මංගල්‍යයට අත්සන් කිරීමේ නැකැත පමාවී තිබිණි.

සුබ නැකැතට අත්සන් කළේ එහි සිටි අනෙක් සාක්ෂිකරු වන ගෝඨාභය මහතා පමණි.

ඔහු අත්සන් කොට දෙනියායේ සිය නැගණියගේ නිවසට පිටත්ව ගොස් ටික වේලාවකින් ජනාධිපතිවරයා පැමිණියේය.

ඔහුට දෙවැනි වර අත්සන් කිරීමට අමාත්‍ය ලක්ෂ්මන් යාපා විසින් වෙනම නැකැතක් සකස් කරවාගෙන තිබිණි.

ඒ අනුව ඉතා කලාතුරකින් සිදුවන පරිදි එම විවාහයේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂියට අත්සන් කළේ නැකැත් දෙකකටය.

මංගල්‍ය සඳහා රජය නියෝජනය කළ වජිර අබේවර්ධන, රන්ජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යුවල, ගයන්ත කරුණාතිලක ඇතුළු මැති ඇමැතින් ගණනාවක් පැමිණ සිටි අතර ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමේ ටී.බී. ඒකනායක මහතා හැර අන් සියල්ලන්ම වේලාසනින්ම පැමිණ සිටියෝය.

ජෝන්, සුනිල්, අනුර යාපා, දයාසිරි, ඩිලාන් ආදීන් මඟුල් ගෙදරදීත් කතා කළේ තමන් ඉදිරියේදී කරන්නට යන දේශපාලන කටයුතු ගැනයි.

සුසිල් ප්‍රේමජයන්ත අනාගතයේදී හොඳ හෙළිදරව්වක් කරන්නට තරම් විස්තර තමන් සතු යැයි පවසා ඉක්මනින් නීතිඥ වෘත්තියට පිවිසෙන බව ප්‍රකාශ කළේය.

ජෝන් සෙනවිරත්න, අනුර යාපා ආදීන් කීවේ පොහොට්ටුව කණ්ඩායම සමඟ සුහදව තම ඉදිරි ගමන යාමට සැලසුම් කරන වගයි.

දයාසිරි, ඩිලාන්, එස්.බී. ආදීන් ආණ්ඩුවෙන් එළියට බහින්නට වූ හේතු හා පක්ෂ ලේකම්වරුන්ගේ ක්‍රියාකලාපය ගැන දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් කළෝය.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.