වඳින්න ගිය දේවාලය හිස මත කඩාවැටීම වෙනම කතාවකි. දෙවියන් වැඩහිඳිනවා යැයි කියන බලගතු දේවාලයක් දෙවියන්ටත් හොරා ගිනිගැනීම හෝ ගිනිතැබීම ඒ අනුව අරුම පුදුමයකි. නොපෙනෙන අනාගතය තත්ත්වාකාරයෙන් කියන දේවාලයක් වශයෙන් ප්‍රසිද්ධ අනුරාධපුර ඉසුරුපුර ඥානා මෑණියන්ගේ දේවාලය ගිනිබත් වීම එවැන්නකි. සිද්ධියෙන් දින ගණනාවක් ගෙවීගියත් පොලීසියට පැමිණිල්ලක් හෝ නැත.

දේවාලය ගිනිතැබුවාද? ගිනිගත්තාද?

මේ කතාව ඒ පිළිබඳවය.

ගමේ ගොඩේ දකින්නට ඇති දේවාලයක ස්වරූපයෙන් මේ දෙවොලේ කටයුතු ද සිදුවනු පෙනෙන්නට තිබුණේද කලකට ඉහතදීය. ඒ කාලයේදී ගමේ අසරණ අයට යම් සහනයක් සැලසුණද පසු කලෙක එය ඉහළ පැළැන්තියේ අය පමණක් එන යන තැනක් විය. මේ නිසා අසල්වැසි මිනිසුන්ට තබා අතමිට යහමින් නැති කිසිවකුටත් දෙවොල් බිමට යාමට අවස්ථාවක් ලැබුණේ නැතැයි කියති. කෙටියෙන්ම කිවහොත් මේ දේවාලයට ආ ගිය පිරිස අතර රටේ ප්‍රධාන පෙළේ නම් දැරූ දේශපාලනඥයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ උසස් නිලධාරීන්, ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු සුපිරි ජීවිත ගත කරන පිරිස් පමණය. මේ කාරණය දේවාල බිම වටා උස් තාප්ප බඳින්නට තරම් හේතුවක් වී තිබිණ.

අනුරාධපුර නගර මායිමේ ගුවන් තොටුපොළ මාර්ගයෙන් ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි දේවාලය හදිසියේ ගිනිගෙන තිබුණේ පසුගිය 7 වැනිදා අලුයම එකට පමණය. දේවාල පරිශ්‍රය වටා අඩි 10 ක් පමණ ඉහළට තාප්පය බැඳ ඇති නිසා පිටස්තර කෙනකුට ඇතුළට යාමට හෝ ක්‍රමයක් නැතැයි කියති. දේවාල භූමියේ පැරණි හා අලුත් වශයෙන් දේවාල දෙකක් ඇති බවත් එහි පැරැණි දේවාලය ඒ අයුරින්ම පවත්වාගෙන යන බවත් වාර්තා වේ. පසුගියදා ගිනිගැනීම ඇතිවී තිබෙන්නේ පැරැණි දේවාලයේ බවට සඳහන්ය. එය මැටි බිත්තියෙන් සැකසූ තහඩු සෙවිලි කළ එකකි.

ගින්න හටගෙන සුළු මොහොතකට පසුව ඒ තොරතුර අනුරාධපුර නගර සභා ගිනි නිවන ඒකකයට වාර්තා කර තිබුණු අතර එහි නිලධාරීන් දේවාල පරිශ්‍රයට යන විටත් ගින්න නිවාදමා තිබුණේ අනුරාධපුරය යුදහමුදා කඳවුරක සෙබළුන්ගේ මැදිහත් වීමෙනි. ගිනිගැනීම නිසා පැරණි දේවාලයේ දේව ප්‍රතිමා, දේව රූප සහ තේවාව සඳහා යොදාගන්නා භාණ්ඩ රැසක් හානියට පත්ව ඇතැයිද දැනගන්නට තිබේ. සුවිසල් සුඛෝපභෝගී නිවසක පවත්වාගෙන යන නව දේවාලයට ආසන්නයේ ඇතිවූ ගින්නෙන් හානියක් වී නැති බවද පැවසේ.

ඥානා මෑනියන් විසින් පවත්වාගෙන යන දේවාලයට පැමිණෙන බැතිමතුන්ට ඇය දේවාරූඪයෙන් ඔවුන්ගේ අනාගතය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරන අතර මේවා දැනගැනීම සඳහා පැමිණෙන පිරිස අතර රටේ නමගිය දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් හා උසස් ආරක්ෂක අංශ නිලධාරීන් වන බවත් කලෙක සිට ප්‍රසිද්ධියට පත්ව තිබිණි. මේ අය නිතර නිතර මෙකී දේවාලයට පැමිණෙන බවට තොරතුරු තිබේ. එවැනි ස්ථානයක පසුගියදා ඇතිවූ ගිනිගැනීම පිළිබඳව මෙතෙක් පොලීසියට පැමිණිල්ලක් නොලැබීම තරමක් විමතියට කරුණක් බවද වාර්තා වේ. ගිනිගැනීම අවස්ථාවේ ගිනි නිවීමේ ඒකකය එහි යන්නට පෙරාතුව ආරක්ෂක අංශයක සාමාජිකයන් එහි ගොස් තිබුණේ එම අංශයේ ප්‍රධානියකුගේ සබඳතාවයක් නිසා බවට ප්‍රදේශවාසීහු කියති.

අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් තුනහමාරක් පමණ ඈතින් පිහිටි දේවාලයේ හිමිකාරිය දේවාලය නිසාම ප්‍රසිද්ධියට පත්වූ කාන්තාවකි. දේවාලය ආරම්භ කරන්නට මත්තෙන් කලක් අනුරාධපුර මහ රෝහලේ සේවය කර ඇතැයි කියති.

ඒ අතරතුර දේවාරූඪයෙන් අනාවැකි කියන්නට පෙළඹී සිටි ඇය රැකියාවෙන් ඉවත්ව පූර්ණකාලීනව දේවාලය කරගෙන යන්නට පටන්ගෙන ඇත. ඇගේ දෙවොලෙහි ආශිර්වාදය ලබන්නට නොගිය මෙරට ප්‍රභූන් සහ ධනවතුන් නොමැති තරම් බව කියන්නේ අවට ප්‍රදේශවාසීන්ය.

– සමන් ප්‍රදීප් විල්තෙර

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.