දරු සෙනෙහසට සීමා මායිම් නැත. එය අපරිමිත ආදරයේ මහා උල්පතක්‌ බඳුය. කලක්‌ රට රැක ගැනීමේ උදාරතර මෙහෙවරක නිරතව සිටි විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයකු වූ ගම්පහ අරමංගොඩ හේනේගම පදිංචි විජිත නිශ්ශංක සහ ගෘහණියක්‌ වන රමණී ප්‍රියලතා යුවළටද එම නියමය එසේමය. ඔවුන් දෙපළද ආදරණීය දියණියකගේ සහ පුතණුවන් කෙනකුගේ දෙමාපිය දෙපළක්‌ විය. කල්යත්ම ඔවුන් දෙපළගේ ලෝකය ආලෝකවත් කළ “ඉරහඳ” බවට පත්වන්නේ සිය දියණිය හා පුතණුවන්ය. ඔවුන්ගෙන් තොර ලොවක්‌ එම මව්පිය යුවළට නොවූහ.

තම දියණිය රුහුණ විශ්වවිද්‍යාලයේ උසස්‌ අධ්‍යපනය හැදැරීමත්, පුතණුවන් වූ ලසිත දිල්ශාන් නිශ්ශංක අක්‌කා ගිය මඟ යමින් ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ හොඳින් අධ්‍යාපනය හැදැරීමත් හේතුවෙන් තම දරුවන් දෙදෙනා පිළිබඳ ඔවුන් දෙපළ තුළ වූයේ වචනයෙන් පැවසිය නොහැකි උතුරා යන සතුටක්‌ය.

දිනය ඉකුත් 09 වැනිදාය. අලුත් උදෑසනක්‌ උදා වෙමින් පැවැති මොහොතක්‌ය. ලසිත දිල්ශාන්ගේ මව්පිය දෙපළ රාගම රෝහල වෙත යැම පිණිස නිවසින් පිටත්ව ගොස්‌ය. නිවසෙහි ලසිත දිල්ශාන් සහ ඔහුගේ ආච්චි අම්මා පමණක්‌ය. උදෑසන ආහාරය සූදානම් කර තිබූ බැවින් ලසිත දිල්ශාන්ගේ ආච්චි අම්මා ලසිතගේ කාමරය වෙත පියනඟන්නේ ඒ බව ලසිත වෙත පැවසීම පිණිසය. පෙනුමෙන් මෙන්ම ඇවතුමෙන් පැවතුමෙන් අහිංසක දරුවකු වූ ලසිත එවෙලෙහි තම කාමරය තුළ යමක්‌ සටහන් කරමින් සිටින අයුරු දකින ආච්චි අම්මා ඔහුට කරදරයක්‌ නොවන අයුරින් ආපසු හැරී යන්නීය.

එම දසුන 18 හැවිරිදි ලසිත දිල්ශාන් පණ පිටින් දුටු අවසන් දසුන බව ඇය නොදැන සිටියා විය යුතුය. ඇය කාමරයට පිවිසි මොහොතේ ලසිත විසින් සටහන් තබමින් සිටියේ ඔහුගේ ජීවිත පොතේ අවසන් සටහන් පෙළ යෑයි ඇය නොදැන සිටියාය. ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙකු පිළිබඳ අනිසි බියක්‌ ඇති කරගත යුතු නැත. ඇය නැවතත් නිවසෙහි වැඩ කටයුතු කීපයක නිරත වන්නට විය. කාලය කෙමින් වියෑකෙමින් තිබූ අතර ඇය තවත් පැය භාගයකින් පමණ අනතුරුව නැවතත් ලසිතගේ කාමරය වෙත පියවර මනින්නීය. ඇය එවර ලසිතගේ කාමරය වෙත පියනඟන්නේ සිය මුණුපුරා හට උදෑසන ආහාරය ගන්නැයි පැවසීම පිණිසය.

ඇය එවර දකින දසුන බියකරුය. ඇස්‌ අදහාගත නොහැකිය. එවැන්නක්‌ කිසිසේත් සිදුවිය නොහැකිය. සිහිනයක්‌ බඳුය. එවර ඇයට දකින්නට ලැබී ඇත්තේ ඊට ටික වේලාවකට පෙර තම පොත්පත් තබා ඇති මේසය මත යමක්‌ සටහන් කරමින් සිටි තම මුණුපුරා වන ලසිත දිල්ශාන් ගෙල වැලලාගෙන සිටින අයුරුය. ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් ගෙල වැලලා ගෙන සිටින සිය මුණුපුරා දකින ඇයට කළ හැකි වන්නේ පළාතම දෙවනත් වන අයුරින් විලාප තැබීම පමණය. ඇය නඟන විලාපය ඇසී නිවසට රැස්‌වන අසල්වැසියන්ට දකින්නට ලැබෙන්නේ සමනළයකු තරම් අහිංසක ලසිත දිල්ශාන් තම දිවිමඟ නිමාකර ගැනීමට දැරූ මාරාන්තික වෑයමක හද කම්පා කරවන දසුනය. ඉන් අනතුරුව හැකි ඉක්‌මනින් ලසිත දිල්ශාන්ව රෝහල කරා රැගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් 18 හැවිරිදි ලසිත තම දිවි ගමන වේලාසනම නිමාකොට මරු හා නික්‌ම ගොස්‌ අවසන්ව තිබී ඇත.

ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ 12 ශ්‍රේණිය ජීව විද්‍යා අංශයේ අධ්‍යාපනය හදාරමින් සිටි ලසිත දිල්ශාන් නිශ්ශංක ඉකුත් 09 දා අවාසනාවන්ත ලෙස මියයන්නේත් ඉන් දින දෙකකට පසු දසුනින් පවා වෙන්ව පස්‌යට මිහිදන්ව යන්නේත් සිය ජීවිත අපේක්‍ෂාවන් මුදුන් පමුණුවා ගැනීම පසෙක තබමින් වෙනත් සිත් තැවුලක්‌ මුල්කර ගනිමින්ය. දිනක වෛද්‍යවරයකු වීමේ සිහිනයෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව ඇති ලසිත එහි සුබ නිමිති පළ කරමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක්‌ සහිතව සමත් වන අතර ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කොට ඇත්තේ එබැවින්ය. එහෙත්… ජීවිතය යනු පුදුමාකාර ගමනක්‌ බව සනාථ කරමින් ලසිත අකලට මිලිනව යන්නේ කිසිවෙක්‌ අපේක්‍ෂා නොකළ අයුරින්ය. ගෙල වැලලා ගනිමින් මියයැමට ටික වේලාවකට පෙර ලසිත විසින් දිනපොතක තබා ඇති සටහන් කීපයක්‌ පසුව සොයාගත් අතර ලසිතගේ මරණය ගැන යම් හඳුනා ගැනීමකට එම සටහන් ඉවහල් වනු ඇත. එම සටහන් කීපය අතරින් එක්‌ සටහනක ලසිත විසින් මෙවැන්නක්‌ ලියා ඇත.

“පංතියේ කවුරුවත් මට මොනවත් කියන්නෙ නෑ. ළමයෙක්‌ එක්‌ක කතා කළා කියල මොනව වෙනවද? මම බලෙන් කතා කළේ නෑ. දසුන්ලා තමා කේළම් කිය කිය මාව චාටර් කරන්නෙ. මම කිසිම වැරැද්දක්‌ කරල නෑ. දෙයියම්පල්ලා… පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. මාව චාටර් කරලා. අනේ මං මොනවත් කළේ නැහැ. අම්ම, තාත්ත, අක්‌ක මට සමාවෙන්න…”

ඉහත සඳහන් කරන ලද්දේ මියයැමට පෙර ලසිත විසින් සටහන් තබන ලද්දක්‌ය. එතැනින් නතර නොවන ලසිත දිනපොතේ වෙනත් තැනක මෙවැනි සටහන්කද තබා ඇත.

“මගේ ෆෝන් එක අක්‌කට දෙන්න. මගේ Bio Free Card එක යෙනුර ප්‍රදීප්ට (12-H) දෙන්න”

තවත් තැනක ලසිත විසින් තබන්නේ මෙවැනි සටහනක්‌ය.

“ඔච්චර නරකයි කියල දන්නව නම් මං උදව් කරන්නෙ නෑ. ඒත් අපි කාටවත් වරදක්‌ කරන්නෙ නෑ. අම්මයි තාත්තයි තමයි මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි තාත්තයි. හොඳම අක්‌කා තමා මගේ අක්‌ක…”

ඊළඟ ආත්මෙ ඔය තුන්දෙනා මගේම වෙලා ඉපදේවා. මට සමාවෙන්න මං කැමැති නෑ චාටර් වෙන්න…

ලසිත එලෙස විවිධ අදහස්‌ තම සටහන් පොතට එක්‌කර ඇත්තේ ජීවිතයෙන් නික්‌ම යැමට පෙරය. ඉන් පෙර ලසිත විසින් තබන ලද සටහනක මෙවැනි සටහනක්‌ද විය.

“මගේ හෘද සාක්‍ෂිය දන්නව මං වැරැදි කළේ නැහැ කියල. ”

මරණයට හේතුව – නොකළ වැරැදිවලට කේළම් කීම සහ පන්තිය ඉදිරියේ අපහාස කිරීම.

ලසිත සිය මරණයට පෙර ඉහත සඳහන් ආකාරයේ සටහන් රැසක්‌ දිනපොතක්‌ මත ලියා ඇත. එය කුමන අරමුණක්‌ අරබයා ලියන ලද්දක්‌ දැයි දන්නේ ලසිත පමණය. කෙසේ වෙතත් එම සටහන් දෙස බලන විට පෙනී යන්නේ ලසිතගේ මරණයත් එම සටහන් අතරත් යම් සම්බන්ධයක්‌ පවතින බවත්ය. එම සටහන් කියවන විට හැඟී යන තවත් කරුණක්‌ වන්නේ ලසිත යනු කිසිවෙකුට වරදක්‌ නොකළ අහිංසකයකු බවය. එය සැබෑවක්‌ බව හැඟී යන්නේ ලසිතගේ පාර්ශ්වයෙන් ඇසෙන්නට ලැබෙන තොරතුරු මතය. ලසිත යනු අධ්‍යාපනයට සමත් ගම්පහ බණ්‌ඩාරනායක විදුහල නියෝජනය කළ දීප්තිමත් ශිෂ්‍යයෙක්‌ය. ඒ බව ඔහු විසින් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය තුළින් ඔප්පු කර හමාරය.

කලක පටන් සමාජ හරපද්ධතීන් ශීඝ්‍රයෙන් නාය යමින් පවතින බැවින් මේ වනවිට අපට ජීවත්වීමට සිදුව ඇත්තේ විෂම සමාජ වටපිටාවක්‌ තුළය. කනගාටුවට කරුණ නම් එය සාමාන්‍ය සමාජය තුළ පමණක්‌ නොව රටේ පාසල් පද්ධතිය තුළ පවා අඩුවැඩි වශයෙන් දැකීමට ලැබීමය. ගම්පහ බණ්‌ඩාරනායක විදුහල යනු අධ්‍යාපනය පැත්තෙන් පමණක්‌ නොව මනා හික්‌මීමක්‌ හා හැකියාවන් සහිත දැයේ දරුවන්ගෙන් සමන්විත පාසලක්‌ බව රටම දන්නා කරුණක්‌ය. එහෙත් ලසිත දිල්ශාන් සිය මරණයට පෙර තබා ඇති සටහන් පෙළ කියෑවීම තුළ ඕනෑම කෙනකුට පෙනී යන කරුණක්‌ බවට පත්වන්නේ ඔහුත් සමග ඇසුරු කළ පාසල් මිතුරන් කීපදෙනකු සමග ඇතිවූ ගැටලුවක්‌ මත ලසිත සිය ජීවිතය තොර කරගත් බවය.

මෙරට විශ්වවිද්‍යාලයීය පද්ධතිය තුළ ක්‍රියාත්මක නවක වදය හේතුවෙන් දිවි තොරකරගත් විශ්වවිද්‍යාලයීය සිසුන් ගැන ඉතිහාසයේ සඳහන්ව ඇතත් පාසලක්‌ තුළ ශාරීරික හෝ මානසික හිංසනයට ලක්‌ව තම ජීවිතයෙන් පලා ගිය පාසල් දුවා දරුවන් පිළිබඳ මෙතෙක්‌ කිසිවෙක්‌ අසා නැත. ලසිතගේ දිවි නසා ගැනීම තුළ කියෑවෙන්නේ එවැනි දෙයක්‌ නම් එය සමාජ විද්‍යාඥයන් ඇතුළු වගකිව යුත්තන්ගේ ඉක්‌මන් අවධානයට යොමු විය යුතු කරුණක්‌ බවට පත් විය යුතුය.

ලසිතගේ මරණය හරහා කියෑවෙන තවත් කතාවක්‌ ඇත. එනම් දරාගැනීමේ හැකියාවය. ඇතැම් විට ලසිත යනු දරා ගැනීමේ හැකියාව අඩු මට්‌ටමක පැවැති පාසල් සිසුවෙක්‌ විය හැක. නොඑසේ නම් ඔහු තුළ වූ චිත්ත පීඩාව තනිව දරාගත් සිසුවෙක්‌ විය යුතුය. ලසිත විසින් තම දිවිය තොර කර ගැනීමට තීරණයක්‌ ගෙන ඇත්තේ එහි උච්චතම අවස්‌ථාවට පත් වූ පසුව විය හැකිය.

ඉහත සඳහන් කරන ලද්දේ ලසිතගේ මරණය පිළිබඳ ඇතැමුන් තුළ පහළ වී ඇති අනුමානයන් ය. ඒවා කොතෙක්‌ දුරට හරිද වැරදිද යන්න පිළිබඳව නිසැකවම කිසිවකුට අදහසක්‌ පළ කිරීමට නොහැකි වී ඇත්තේ මරණයට මුල්වූ හේතුව හොඳින් දන්නේ ලසිත පමණක්‌ වීම හේතුවෙන්ය.

කෙසේ වෙතත් ආදරණීය දෙමාපිය යුවළකට සිය ඇසක්‌වන් එකම පුතු අහිමි වන්නේත් සොයුරියකට සිය ආදරණීය සොහොයුරා අහිමිව යන්නේත් ඔවුන් කිසිසේත් අපේක්‍ෂා නොකළ අයුරින් ය. ඔවුන් විඳින වේදනාව ලසිත දන්නේ නැත. මේ වන විට ලසිත සිය දෙමාපිය නෑසියන්ගෙන් වෙන්ව පස්‌යට මිහිදන්ව ගොස්‌ දින කීපයක්‌ ගතවී හමාරය. එහෙත් ලසිත මරණයට පත්වූවේ නිසැක ලෙස කිනම් හේතුවක්‌ මතද වරද සිදුවී ඇත්තේ කොතැන ද කා අතද යන්න පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුය. රටේ පාසල් පද්ධතිය තුළ මෙවැනි දේ ඉදිරියට සිදුනොවීම පිණිස කටයුතු කිරීමට එය මහත් මෙහෙවරක්‌ වනු ඇත.

තම පාසල් මිතුරන් කරන ලද විහිළු තහළු දරා ගැනීමට නොහැකිව ඒ සඳහා තම ජීවිතයෙන් පලි ගැනීමට ලසිතගේ මානසිකත්වය දුර්වල වූවා නම් තම මරණයට වගකිව යුත්තේ ද ලසිතමය. ඔහු මියයන තෙක්‌ ම ඒ පිළිබඳව කිසිවකුට පවසා තිබී නැත. තම විදුහල්පතිතුමා හෝ ගුරු මණ්‌ඩලය දැනුවත් කොට තිබී නැත. ලසිතගේ පවුල් පසුබිම ගත් කල ද පෙනී යන්නේ විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයකු වූ ලසිතගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය සමාජශීලී පිරිසක්‌ වන බවය. ලසිතගේ මරණය සැලවීමත් සමග ඔහුගේ නිවසට පැමිණ ඇති දහස්‌ සංඛ්‍යාත ජනතාව විසින් ඒ බව ඔප්පු කොට ඇත. විෂය බාහිරව ගත් කල බණ්‌ඩාරනායක විදුහලේ දක්‍ෂ සිසුවකු වූ ලසිත බාහිර ක්‍රියාකාරකම් රැසක්‌ සඳහා දක්‍ෂතා දක්‌වා ඇති ශිෂ්‍යයෙක්‌ය. ඒ කොයි හැටි වෙතත් 18 හැවිරිදි ලසිත විසින් තම ජීවිතය පිළිබඳ ගෙන ඇත්තේ වැරදි තීරණයක්‌ය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අකලට මිලින වූ කුසුමක්‌ ලෙස ලසිත වේලාසනම දිවි මගෙන් නික්‌මී මරණයේ සදාකාලික නිද්‍රවට පත් වීමය.

– රුවන් ජයවර්ධන

Loading...