වසර 2017 ජුලි මස 30 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ පළ වූ පුවතක සාරාංශය මෙසේය..

“සීනි සමාගමකට අවසර දෙන්න අමාත්‍යාංශ නිලධාරියෙක්‌ දශ ලක්‍ෂ 400 ක්‌ ඉල්ලයි”

මේ පුවත පළ වීමෙන් දින කිහිපයකට පසු ‘ඉරිදා දිවයින’ට දුරකථනයෙන් දැඩි ස්‌වරයකින් කතා කළ පුද්ගලයෙක්‌ මෙසේ කීය.

“මම ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මහානාම. මම චන්ද්‍රිකා එක්‌කත් වැඩ කරපු මිනිහෙක්‌. ඔයගොල්ල මා ගැන ජරා නිව්ස්‌ එකක්‌ දාලා තිබෙනවා”

“මොකක්‌ද නිව්ස්‌ එක?”

“මම සීනි සමාගමෙන් රුපියල් මිලියන 400 ක පගාවක්‌ ඉල්ලුවා කියලා”

‘ඉරිදා දිවයින’ පළ කළ ප්‍රවෘත්තියෙහි මිලියන 400 පගාව ඉල්ලූ පුද්ගලයාගේ නම පළ වී තිබුණේ නැත.

එබැවින් අපි “මහානාම” ලෙස තමා හඳුන්වාගත් පුද්ගලයාට මෙසේ කීවෙමු.

“අපි දැනගෙන හිටියෙත් නැහැ ඒ පගාව ඉල්ලපු නිලධාරියාගේ නම මහානාම කියලා. ඒ බව දැනුම් දීම ගැන ස්‌තුතියි”

දුරකථනය විසන්ධි විය.

ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් තනතුරින් විශ්‍රාම ගොස්‌ ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී තනතුරට පත් මහානාම කන්තලේ සීනි සමාගමෙන් ගත් කෝටි දෙකක පගා මුදලක්‌ ගණන් කරමින් සිටියදී අල්ලස්‌ දෙපාර්තමේන්තුව විසින් අල්ලා ගනු ලැබීමේ සිද්ධිය මේ වනවිට මුළු රටම දනී.

මතු යම් දවසක මේ නඩුවෙන් වැරදිකරු වුවහොත් මහානාම හිරේ යන්නේ ජනාධිපතිතුමාගේ නම කැත කළ නීචයකු ලෙසය.

ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානියා වැනි වගකිවයුතු තනතුරකට කෙනකු පත්කරගන්නා විට ඔහුගේ අතීතය ගැන සොයා බැලීම වැදගත් වගකීමක්‌ වුවද මහනාම සම්බන්ධයෙන් එබන්දක්‌ නොවීම ගැන ජනාධිපතිතුමාට අපි දොස්‌ නොකියමු.

මිනිසුන් පසුපස යමින් ඔවුන් කරන තක්‌කඩි වැඩ ගැන බැලීමටත් ඔවුන් මේ තාක්‌ කළ තක්‌කඩිකම් සහ කුපාඩිකම් ගැන සෙවීමටත් රාජ්‍ය නායකයාට නොහැක.

ඒවා සෙවිය යුත්තේ ජනාධිපතිතුමා යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ය.

රාජ්‍ය අංශයේ පහළම කැලෑසියේ සේවය සඳහා කම්කරුවන් බඳවා ගැනීමේදී පවා ඔවුන් ගැන විශේෂයෙන් සොයා බැලීමේ සිරිතක්‌ කලකට පෙර තිබිණි.

අද ඒ සිරිත තිබේ දැයි අප නොදනිමු.

ජනාධිපති කාර්ය මණ්‌ඩලවල සාමාජිකයන් වශයෙන් පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන් ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලවා වාර්තාවක්‌ කැඳවීම වැනි ක්‍රමවේදයක්‌ තිබුණා නම් මහානාම වැනි අයට ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානියා වීමට ඉඩ ලැබෙන්නේ නැත.

ඇඳුනුම්කමට එන එකා නිතරම එන්නේ බෝම්බයක්‌ ද රැගෙන ය.

මහානාම එවැනි බෝම්බකාරයෙකි.

ඔහු තමා ගෙනා බෝම්බය ජනාධිපති ලේකම් කාර්යාලය තුළ තබා පුපුරුවා හැර ඇත.

එහි කැබලි ඇඟේ නොවැදුණේ එම බෝම්බය ගෙනා අයවලුන්ගේ පමණි.

මෙවැනි පගාකාරයන් ජනාධිපති කාර්යාලයට රිංගවූවේ කවුද?

මහානාම ප්ලාන්ට්‌ එකක්‌ විය නොහැකිද?

එකක්‌ කිව යුතුය.

වෙනත් රාජ්‍ය නායකයකු යටතේ මෙවැනි සිද්ධියක්‌ වී නම් විත්තිකරු ඉතා සතුටින් නැවත වරක්‌ රැකියාවට යැමත් ඔහු ඇල්ලූ අල්ලස්‌ නිලධාරීන් ගෙදර යැමත් සිදුවන්නේය.

මේ සිද්ධියට බලපෑම් නොකිරීමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉතා හොඳ ආදර්ශයක්‌ තහවුරු කර ඇත.

අල්ලස සහ දූෂණය මුළු මහත් ලෝකයම ගිල ගනිමින් සිටී.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගත් රාජගිරියේ ගොඩනැඟිල්ලෙන් ආණ්‌ඩුව අදටත් ප්‍රයෝජනයක්‌ නොගනී.

මෙමඟින් රජයට අහිමි වූ මුදල රුපියල් බිලියනයකට වැඩිය.

මේ ඩීල් එක යට සිටින උතුරුමැද දේශපාලන තරුණයා ගැන රටම දනී.

ඔහුට විරුද්ධව කිසිදු පියවරක්‌ ගෙන නැත.

චීනයේ මීළඟ ජනාධිපති වීමට සිටි සෙන් සෙන්ග්කායි නමැත්තා යුවාන් මිලියන 170 ක පගාවක්‌ ගැනීම නිසා පසුගිය දා දිවි ඇති තෙක්‌ හිරේ ගියේය.

ඔහු ද මහානාම සංගමයේම සාමාජිකයෙකි.

අවසන් වශයෙන් අපට කීමට ඉතිරිව ඇත්තේ මහානාම අල්ලස්‌ දෙපාර්තමේන්තුවට අල්ලා දුන් කන්තලේ සීනි සමාගමේ ප්‍රධානියා විශිෂ්ට මිනිසෙකු බවය.

ඔහුට දැන් මරණ තර්ජනයය.

(දිවයින)

Loading...