කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙන් මෙම ලිපිය සකස්‌ කෙරිණි.

දිමුතු සුන්දර යොවුන් වියේ පසු වූ හැඩකාර තරුණයෙකි. ඔහු පවුලේ එකම පිරිමි දරුවා විය. දිමුතුගේ පියා මෙන්ම මව ද රජයේ උසස්‌ රැකියාවල නිරතව සිටියහ. දිමුතු ඉගෙනුම ලැබුවේ මෙරට ඇති ජනප්‍රිය පිරිමි පාසලකිනි. විද්‍යා අංශයෙන් අ.පො.ස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටිය ද ලකුණු කිහිපයක්‌ මදිවීම නිසා ඔහුට විශ්වවිද්‍යාලයට ඇතුල්වීමේ වරම් හිමි වූයේ නැත. දිමුතුගේ එකම බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයකු විමය. “දිමුතු පුතා අපි පිටරටකට යවලා පුතාගේ වෛද්‍ය සිහිනය සැබෑ කරලා දෙන්න කටයුතු කරමු.” දිමුතුගේ පියා මවට කීවේය. “ඒක හොඳයි අපට ඉන්න එකම වස්‌තුව දිමුතු පුතා විතරයි නේ. ” මව ද පියාගේ යෝජනාව අනුමත කළාය. මේ ගැන දිමුතු ද දැනුවත් කිරීමට මව්පියන් කටයුතු කළහ. දිමුතු ද මේ යෝජනාවට කැමති විය.

ඒ අනුව දිමුතුගේ දෙමව්පියන් විසින් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දිමුතු චීනයට යෑවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරනු ලැබීය. අවශ්‍ය ලියකියවිලි සකස්‌කොට මුදල් ගෙවීමටද කටයුතු කරනු ලැබීය. ඒ අනුව දිමුතු වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශත වීමට සූදානමින් සිටියේය. දිමුතුට මිතුරන්ගෙන් ද අඩුවක්‌ නොවීය. ඔහු මිතුරන් රැසක්‌ ඇසුරු කළේය. ඒ අය අතර නාහෙට නාහන මිතුරන් ද දිමුතුට සිටියේය. දිමුතුලා පදිංචිව සිටියේ මුහුදුකරය ආශ්‍රිත ගම්මානයකය. ඇතැම් දිනවල රාත්‍රි සාදවලට ද දිමුතු මිතුරන් සමඟ ගියේය.

“අනේ පුතේ රාත්‍රි පාටිවලට යන්න එපා.” දිමුතුගේ දෙමව්පියන් ඔහුට එසේ කියමින් අවවාද කළ ද ඔහු ඒ කිසිදෙයක්‌ තුට්‌ටුවකට ගණන් ගත්තේ නැත. එක්‌ දිනක රාත්‍රි දිමුතු මිතුරකුගේ නිවසේ පැවති සාදයකට සහභාගිවීම සඳහා ගියේය. “පුතේ ඔය ගමන යන්න එපා” දිමුතුට මව කීවාය. එහෙත් මවගේ අණට කීකරු නොවූ දිමුතු නිවසින් පිටත්ව ගියේය.

දිමුතුට අතර මගදී මිතුරන් පිරිසක්‌ද මුණගැසුණහ. මේ අය විනෝදවීම සඳහා අලුතෙන් ඉදිකරගෙන යන දෙමහල් නිවසක්‌ වෙත ගියහ. එම දෙමහල් නිවසේ ඉහළ මාලයට දිමුතු ඇතුළු මිතුරන් පිරිස අරක්‌කු පානය කරමින් විනෝද වන්නට වූහ. සාදය මැදියම් රාත්‍රිය වන තෙක්‌ද පැවතුණි. මෙකී සාදයේ දිමුතු හා මිතුරන් කිහිප දෙනෙකු අතර වචන හුවමාරුවක්‌ ද සිදුවිය. එහෙත් එය වැඩිදුර ගියේ නැත. සාදය ජයටම පැවැත්වෙමින් තිබුණි. මිතුරන් දිමුතු ගැන හොයන්නට වූහ. එහෙත් දිමුතු ඉහළ මාලයේ සිටියේ නැත. අලුයම 1.00ට පමණ වන්නට ඇත. දිමුතු පහළ වැටී සිටිනු මිතුරකු දුටුවේය. ඔහු දිමුතුට කථා කළ ද දිමුතු කථා කළේ නැත. දිමුතු රෝහල් ගත කිරීමට මිතුරන් පියවර ගනු ලැබීය. රෝහලට ඇතුළත් කරන විටත් දිමුතු මියගොස්‌ සිටියේය.

දිමුතුගේ මරණය පිළිබඳ නොයෙකුත් සැක සංකා ඇති විය. දිමුතු ඉහළ මාලයෙන් තල්ලු කළාද? ඔහුට පහර දුන්නාද? නැති නම් පහළ මාලයෙන් බිමට වැටුණා ද යන ප්‍රශ්න වැලකි. දිමුතුගේ මරණය පිළිබඳ ඔහුගේ මව්පියන්ට ද සැකයක්‌ ඇතිවී තිබූ අතර ඔවුන් ඒ සම්බන්ධව චෝදනා කළේ දිමුතුගේ මිතුරන්ටය.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා විසින් දිමුතුගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වනු ලැබීය. දිමුතුගේ සිරුර බාහිරව අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්‌ෂා කළේය. එහෙත් දිමුතුගේ සිරුරේ ඉතා කුඩා සිරීම් තුවාල දෙකක්‌ හැරෙන්නට කිසිදු තුවාලයක්‌ දක්‌නට නොවීය. කෙනකු උඩකින් වැටුණු විට අස්‌ථි බිඳීම් ඇතුළු බරපතළ ගනයේ තුවාල රැසක්‌ තිබිය යුතුය. එහෙත් දිමුතුගේ සිරුරේ එවැනි තුවාල දක්‌නට නොවීය. හෘදයාබාධයක්‌ හෝ රුධිර ගලනයක්‌ වැනි දෙයකින් දිමුතු මියගොස්‌ සිටියේ ද නැත. ඉක්‌බිති අධිකරණ වෛද්‍යවරයා විසින් පටක පරීක්‌ෂණයක්‌ ද සිදුකරනු ලැබීය. නමුත් ඒ පරීක්‌ෂණය තුළින් ද කිසිවක්‌ අනාවරණය වූයේ නැත.

ඉන්පසු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් දිමුතුගේ උදරය විවෘත කළේය. මත්පැන් ගඳ දැඩි ලෙස වහනය වන්නට විය. ලේ සාම්පල් කිහිපයක්‌ හා උදරයේ තිබූ කොටස්‌ රස පරීක්‌ෂක වෙත යෑවීමට අධිකරණ වෛද්‍යවරයා විසින් කටයුතු කළේය.

“මුත්‍රා සාම්පල් ද පරීක්‌ෂණවලට යොමු කළා. මෙම තරුණයාගේ රුධිරගත ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රැම් 425 ක්‌ තිබුණා. ඒක ඉතා ඉහළ අගයක්‌. ඇල්කොහොල් විෂ වීමෙන් මිය යන්න පුළුවන්. මේ පුද්ගලයා මිට කලින් දැඩි ලෙස මත්පැන්වලට ඇබ්බැහිවී සිටි අයෙක්‌ ද නොවෙයි. මෙයා මිය යන විට මීට වඩා ඇල්කොහොල් ප්‍රමාණයක්‌ මෙකී පුද්ගලයාගේ රුධිරයේ තියෙන්න පුළුවන් නමුත් මියගිය විට ඇල්කොහොල් ප්‍රමාණය ටික ටික අඩුවෙනවා. රස පරීක්‌ෂක වාර්තාව අනුව මෙකී තරුණයා මියගොස්‌ තිබුණේ රුධිරගත ඇල්කොහොල් ප්‍රමාණය විෂ විමෙන්. මත්පැන්වලට ඇබ්බැහි නොවූ අයකු එකවර විශාල වශයෙන් මත්පැන් ගත්තු විට මේ වගේ දේවල් වෙන්න පුළුවන්” යනුවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළේය.

– ලලිත් චාමින්ද

Loading...