මැයි දින සමරුවට සහභාගි වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‍පොළොන්නරුට ගියේ විවේකීව දින කිහිපයක් ගත කිරීමටය.

එහෙත් ‍පොළොන්නරුවේ සිටත් දේශපාලන වැඩ කටයුතු කිහිපයක යෙදීමට ඔහුට සිදුවිය.

ඒ අතර ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින උත්සවයද ‍පොළොන්නරුවේ සංවිධානය කර තිබුණි.

ජනාධිපතිවරයාගේ දියණිය චතුරිකා සිරිසේනද එහි පැමිණ සිටියාය.

ජනපතිවරයා රාජිත සමග කොළඹ සිට ‍පොළොන්නරුවට පැමිණියේ හෙලිකොප්ටරයෙනි.

එතැන් සිට මෛත්‍රීගේ නිවසට ගොස් ටික වේලාවක් සිට උත්සවයට පැමිණියහ.

“අපි ගෙදර ගිහිල්ලා කෑම ටිකක් කාලා ටිකක් කතා කරලා යමු” මෛත්‍රී යෝජනා කළේය.

ඒ අනුව රාජිත මෛත්‍රීගේ ගෙදරට ගියේ මෛත්‍රී සමගය.

“ජනාධිපතිතුමා, අපි එකට එකතුවෙලා වැඩ කරමු. ඒ විදියට එකට වැඩ කළොත් ඊළඟ මැතිවරණ දිනන්න පුළුවන්. බෙදිලා වැඩ කළොත් ඡන්ද දිනන්න නම් බෑ” රාජිත දීර්ඝ දේශපාලන විග්‍රහයක් කළේය.

“ගෝඨා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඒකාබද්ධ විපක්ෂය තීරණය කරලා තියෙනවා” මෛත්‍රී තමන්ට ලැබුණු විශ්වාසදායක තොරතුරක් තහවුරු කළේය.

“ගෝඨා එනවා නම් හොඳයි. සුළු ජාතික ඡන්ද ගෝඨට ලැබෙන්නේ නෑ. එයා ආරක්ෂක ‍ලේකම් විදියට වැඩ කරපු කා‍ලේ කරපු දේවල් සුළු ජාතීන් දන්නවා. ඒ නිසා තමයි දැන් සෝෂල් මීඩියාවලින් ගෝඨාභය ගැන කතා කරන්නේ. සුළු ජාතීන්ගේ ඡන්ද නැති නිසා පරාජය අතට අරගෙන තමයි එයා එන්නේ. අපි එකට එකතුවෙලා වැඩ කරමු. තනියෙන් යන්න බෑ. මම පළාත් පාලන මැතිවණයේදීත් කිව්වේ අපි එකට එකතුවෙලා වැඩ කරමු කියලයි. ඒත් ඔබතුමාගේ ‍ලේකම්වරු අවබෝධයකින් තොරව ප්‍රකාශ කළා. වෙන් වෙන්ව තරග කරන්න ඕන එතකොට කරමු කියලා ඒ අය කිව්වා. මම කිව්ව දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ඔබතුමා අගමැතිතුමා එක්ක කතා කරලා වැඩ ටික කරගෙන යන්න” රාජිත දීර්ඝ විග්‍රහයක් කළේය.

මේ අතර රවි කරුණානායකට ඇමැති ධුරයක් දීම ගැනත් අවධානය යොමුවිය.

රවි මීට පෙර අවස්ථා කිහිපයකදීම රාජිත හමුවී තමන්ට ඇමැති ධුරයක් ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබුණි.

මෛත්‍රී සහ රනිල් හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට රාජිත ‍පොරොන්දුවී තිබුණේය.

“රවි මට නිතරම මට කතා කරනවා. ඒක නිසයි මම ඔබතුමාගෙන් ඇහුවේ” රාජිත කීය.

“රවිට ඇමැතිකමක් දෙනවාට එක්සත් ජාතික පක්ෂයම විරුද්ධයි. මම හම්බවෙන්න එන එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු කියන්නේ රවිට ඇමැතිකමක් දෙන්න එපා කියලයි. එක්සත් ජාතික පක්ෂයට රට තුළම විරෝධයක් තියෙනවා. එක දවසක් රනිල් එක්ක ඇමැතිවරු දෙන්නෙක් ආවා. මේ ගැන කතා කරන්න. ඒ දෙන්නත් රවිට ඇමැතිකමක් දෙනවට විරුද්ධයි. රවිට ඇමැතිකමක් දෙන එක ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දුවක් අරගෙන පක්ෂයේ මතය දැනුම් දෙන්නම් කියලා කිව්වා. එහෙම කියනකොටත් ඒ පක්ෂයේ ඇමැතිවරු විරෝධය දක්වනවා” මෛත්‍රී කීවේ රවිට ඇමැතිකමක් ලබාදීමේ ගැටලුව ගැන පැහැදිලි කරමිනි.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.