කොළඹ මහ නගර සභාවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තනතුරක් සඳහා “බල්ලන් විනාශකරන්නා” යන කාර්යට පුද්ගලයකු බඳවා ගැනීමට පළකර ඇති පුවත්පත් දැන්වීමක් හේතුවෙන් සමාජ ජාල කැළඹී තිබේ.

සුරතල් සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවට සිය අප්‍රසාදය දක්වා ඇත.

අදාළ තනතුර වසර ගණනක් මුළුල්ලේ පුරප්පාඩුව තිබී ඇති අතර හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසාමිල් මහතා පවා එම පුරප්පාඩුව පිරවීමට උන්නදු නොවී ඇති බව පැවසේ.

පළමු වරට කොළඹ නගරාධිපති ධූරයට කාන්තාවක් පත්ව තිබියදී අදාළ තනතුරේ පුරප්පාඩුව පිරවීමට පුවත්පත් දැන්වීමක් දැමීම බලවත් අප්‍රසාදයට හේතුවී ඇත.

කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය දරනු ලබන්නේ රෝසි සේනානායක මහත්මිය වන අතර ඇය ද සුනඛයින්ට ඇළුම්කරන තැනැත්තියක් ලෙස පෙනී සිටිමින් සිටියදී මෙසේ කටයුතු කිරීම ගැන සත්ව හින්සනයට විරුද්ධ පිරිස්වල දැඩි දෝශදර්ශනයට ලක්ව තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටින සමයේ බල්ලන් මරා දැමීම නවතා දැමීමට තීන්දු කෙරුණු අතර ඔවුන්ට වන්ධ්‍යාකරණ සැත්කම කිරීම සුනඛ ගහණ වර්ධනය පාලනයට පියවරක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

ඔහු අදාළ පියවරට පොළඹවනු ලැබුවේ ඔහුගේ බිරිය අයිරාන්ගනී ද සිල්වා මහත්මිය සත්ව හිංසනයට විරුද්ධ නිසාය.

මේ සම්බන්ධයෙන් අයිරාන්ගනී ද සිල්වා මහත්මියගෙන් කර ඇති විමසීමක දී ඇය කියා සිටියේ සත්ව හිංසනයට තමා විරුද්ධ බවයි.

එදා මෙන්ම අද ද එහි වෙනසක් නොවන බව පැවසූ ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ සතුන්ට නොසැලැකීම හේතුවෙන් මෙරටට විදේශිකයන් ඇදී ඒමේ ප්‍රවණතාවය අඩුවී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇති බවයි.

මේ අතර නීතීඥ ලලනි පෙරේරා මහත්මිය කියා සිටියේ සුනඛයින් මරා දැමීමට නීතියක් ඇතත් 2006 වසරේදී හිටපු ජනපතිවරයා විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත එය මේවන විට නොකරණ බවයි.

කෙසේවුවද, සුනඛයින් මරා දැමීම නවතා වන්ධ්‍යාකරණය මගින් සුනඛ ගහනය අඩුකර ගැනීමට හැකි නීති රීති සම්බන්ධයෙන් මේවන විට පළාත් පාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඇති බවද ඒ මහත්මිය කියා සිටියාය.

සමාජ ජාල තුළ සංසරණය වන දැන්වීම පහත දැක්වේ.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.