මැයි 22 වැනිදා හිමිදිරි පාන්දර ඔහු හිණිපෙත්තටම නැංගේය. දශකයකටත් අධික කාලයක් පුරා සංචාරකයෙකු ලෙස කඳුවැටි තරණය කළ ඔහු තම සංචරණ දිවියේ කූට ප්‍රාප්තියට ළං වූයේය. ඒ සියල්ලටම වඩා වරක් තමන්ට පෙනි පෙනී තමාගෙන් ගිලිහී ගිය සාර්ථකත්වය තම නොපසුබස්නා වීර්යය තුළි තමන් සතු කරගන්නට සමත් වූයේ ය. ඔහු අනෙකෙකු නොව ජොහාන් පීරිස් ය. සිංහ ධජය ලොව උසම කඳු මුදුන මත රැඳවූ දෙවැනි ශ්‍රී ලාංකිකයා ය.

ජොහාන් පීරිස් පිළිබඳ අපේ රටේ සාමාන්‍ය ජනතාව තුළ පවා කතාබහක් දැන හැඳිනීමක් ඇතිවූයේ මීට අවුරුදු දෙකකට පමණ පෙරාතුව ය. ඒ ජයන්ති කුරුඋතුම්පාල නම් ඒ අධිෂ්ඨානශීලී නිර්භය කාන්තාව එවරස්ට් තරණය කරන ගමනේ ඇගේ ළඟින්ම සිටි සගයා බවට ජොහාන් පත්ව සිටි හෙයිනි. එවර, ජයන්ති එවරස්ට් අභියෝගය සාර්ථකව ජයගත්ත ද තම ටැංකියේ ඔක්සිජන් මඳ වීම නිසා සාර්ථකත්වය දෑස් ඉදිරියේ තිබියදීම ජොහාන්ට පසුබසින්නට සිදුවිය. ඔහු එසේ පසුබසින විට එවරස්ට් කඳු මුදුන තරණයට තවත් ඉතිරිව තිබුණේ මීටර 440ක් පමණි.

බොහෝ දෙනා සිතුවේ ජොහාන්ගේ පසුබැස්ම සදාකාලික එකක් ලෙසට ය. ඔහු නැවත එවරස්ට් දෙස හැරී බලන්නටවත් නොයනු ඇති බව ය. එහෙත් ඒ පුටුව මතට වී අලසව හිඳින බොහෝ දෙනාගේ සිතුවිලි මිස ජොහාන්ගේ අහලකවත් එවැනි සිතුවිල්ලක් නොවිණි. 2017 වසර පුරාවට එවරස්ට් නැවත තරණය වෙනුවෙන් නිහඬවම සියලු පුහුණුවීම්වල යෙදුණු ජොහාන් 2018 වසරේදී තම එවරස්ට් තරණය පිළිබඳ නිවේදනය කළේය.

ඔහු එම නිවේදනය සිදුකළේ තමා හා එක්ව එවරස්ට් තරණයට දායක වන ලෙස මෙරට සියලු ජනතාවගෙන් සුහද ඉල්ලීමක් ද කරමිනි. එවරස්ට් කඳු පාමුල පිහිටි බේස් කඳවුරේ සිට කඳු මුදුන දක්වා ඇති පියවර ගණන දළ වශයෙන් 80,000කි. තම ගමනට රුපියල් 100කින් දායකත්වය දක්වා එම පියවරක අයිතිය ඔබ සතු කරගන්න යැයි ඔහු ලාංකිකයන්ට කීය.

ඔහු එවැනි යෝජනාවක් කරන්නට ඇත්තේ එවරස්ට් නඟින්නට ඔහු සතුව මුදල් නැති නිසා යැයි කෙනෙකු සිතන්නේ නම් එය විහිළුවකි. ඔහුට අවැසි වන්නට ඇත්තේ ඔහුගේ එවරස්ට් තරණය තවත් ලාංකික පුත්‍රයෙකුගේ ජයක් නොඑසේ නම් මෙරට සමස්ත වැසියන්ගේම ජයක් ලෙස නිරූපණය කරන්නට ය.

ඔහු සිතූ පරිදිම ලාංකිකයන්ට ජයපැන් බොන්නට ඉඩ ලැබුණි. මැයි 22 අඟහරුවාදා නේපාල වේලාවෙන් පාන්දර 5.55ට ඔහු මුහුදු මට්ටමෙන් අඩි 27,559ක් (මීටර් 8400) උසින් පිහිටි එවරස්ට් මුදුනට ළඟා වූයේය. ඒ තමා එවරස්ට් මුදුනට ළඟාවන්නට සැලසුම් කර තිබූ වේලාවට වඩා පැය විසිහතරකට කලිනි. වෘත්තියෙන් කොණ්ඩා සැකසුම් ශිල්පියෙකු වන ජොහාන් පීරිස් වසර ගණනාවක් තිස්සේ කඳු නැගීමේ ක්‍රියාකාරකම්වලට පෙම් බැඳි සංචාරකයෙකි. කුඩා කල සිටම තම පියා සමඟ නකල්ස් කඳුවැටිය තරණය කිරීමට හුරුව සිටි ජොහාන් ඉන්, ලොව වටා ඇවිද යමින් කඳු තරණය කිරීමේ ආශාව මෙන්ම පන්නරය ද ලැබීය.

ජාත්‍යන්තර ඇගැයීමට ද පාත්‍ර වූ කොණ්ඩා සැකසුම් ශිල්පියෙකු වන ඔහු සතුව රූපලාවන්‍යාගාර තුනකි. ඉන් දෙකක් කොළඹ පිහිටා ඇති අතර එකක් පිහිටා ඇත්තේ ලන්ඩනයේ ය. කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම ඔහු ගායකයෙකු මෙන්ම ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ද කාලයක් කටයුතු කළේය.

Loading...