හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය සතියේ කලාතුරකින් අත්දකින්නට ලැබෙන සිද්ධියකට මුහුණ දීමට සිදුවිය.

ඒ කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති මංගල උත්සවයකදීය.

රත්නපුරයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකුගේ විවාහය නිමිත්තෙන් මෙම මංගල උත්සවය සංවිධානය කර තිබිණි.

රත්නපුර ප්‍රදේශයේ මැතිඇමැතින් වන ජෝන් සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, කරුණාරත්න පරණවිතාන, ලක්ෂ්මන් සෙනවිරත්න ආදී සෑහෙන දේශපාලනඥයන් පිරිසක් මඟුල් උත්සවයට සහභාගි වූහ.

මහින්ද රාජපක්ෂ මහතාත් මෙම දේශපාලනඥයන් පැමිණි පසු එහි පැමිණි අතර පිරිස සුහද අල්ලාප සල්ලාප කතාවක යේදී සිටියදී උත්සව සංවිධායකයෙක් පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ කනට කොඳුරා යමක් විමසීය.

ඔහුගේ ප්‍රශ්නයෙන් තරමක් පුදුමයට පත් මහින්ද පොඩ්ඩක් ඉන්නයැයි පවසා නැවතත් කතාබහට එක්විය.

තවත් විනාඩි ගණනාවකින් මනමාල පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නෑදෑයෙක් පැමිණ මහින්ද සමඟ නැවතත් කුටු කුටු ගාන්නට විය.

ඒ සමඟ නැගී සිටි මහින්ද රාජපක්ෂ මහතා “මම යන්නයි හදන්නේ” කියා පිරිසට කීය.

එහි සිටි හැමෝම කීවේ තවත් ටික වේලාවක් හිඳ තමන්ලා සමඟ දිවා ආහාරය ගෙන යන හැටියටයි.

එහෙත් ඊට එකඟ නොවූ මහින්ද රාජපක්ෂ මහතා තමන් හදිසියේම ඉවත්ව යන හේතුව පැහැදිලි කළේය.

“තවත් විශේෂ VVIP කෙනෙකුට මඟුල් ගෙදරට එන්න ඕනලු. හැබැයි එයා මම ඉන්ඳෙද්දී මඟුල් ගෙදර එන්න බැහැ කියලා. ඒකයි මනමාලයගෙ කට්ටිය අප්සෙට් වෙලා මම යන වෙලාව ඇහුවෙ. මම ගියාම ඒ VVIPට එන්න පුළුවන්නේ”

එවිට ඒ අසලට පැමිණි මනාල මහතාගේ ඥාතීන් “අනේ සර් අපි ඔබතුමාට යන්න කිව්වේ නැහැ. ඔබතුමා අපිට සමාවෙලා හෝටලේ හතර වෙනි තට්ටුවේ තියන චීන රෙස්ටූරන්ට් එකට එන්න. එතන අපි ඔබතුමා වෙනුවෙන් වෙනම විශේෂ භෝජන සංග්‍රහයක් ලෑස්ති කළා.” යයි කියා මහින්ද රාජපක්ෂ මහතා එම විශේෂ භෝජනාගාරයට කැඳවාගෙන ගියේය.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ මැතිඇමැති පිරිසක් ද මඟුල් ගෙදර දිවා භෝජනයෙන් වැළැකී චීන අවන්හලේදී දිවා ආහාරය ගන්නට පිටත්ව ගියහ.

මහින්ද රාජපක්ෂ මහතා එහි යනවිට ඉහළ පෙළේ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබූ බව ආරංචිය.

රාජපක්ෂ මහතා පිටත්ව ගොස් සුළු මොහොතකින් එතෙක් පැමිණීම පමාකළ VVIPවරයා මඟුල්ගෙදර පැමිණි බවද වාර්තා විය.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.