ගෙවුණු අප්‍රේල් මස පළමුවැනිදා සිට සමාජයේ වැඩිම කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දේශීය ආදායම් පනතට එක්කරන ලද සංශෝධනය තුළින් මෙරට ආදායම් බදුවලට මුදල් අමාත්‍යංශය එක් කරන ලද වෙනසයි. මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මත එහා මෙහා ගමන් කරද්දී පුවත්පත් කාටූන් රැසකින්ම නව ආදායම් බදු සම්බන්ධයෙන් උපහාසය මෙන්ම සමාජ අවධානයද යොමුකොට තිබුණි. එසේ තිබියදී අලුත් බදු ප්‍රතිපත්තිය නිසා පාර්ලිමේන්තු නියෝජිතයන්ට මුහුණදීමට සිදුව තිබෙන අලකලංචිය ගැන ද මේ වනවිට කතාබහක් මතුව තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු වැටුප් පතෙහි දැවැන්ත මුදලක් ආදායම් බදු වශයෙන් අයකර තිබීම හේතුවෙන් නව බදු ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු ගැලරිය තුළින්ම විරෝධයක් හටගෙන ඇතැයි දැනගන්නට තිබේ. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ මෙතෙක් මූලික වැටුප පදනම් කරගනිමින් ආදායම් බදු නියම කිරීමේ ක්‍රමයක් පැවතුණ ද නව සංශෝධනයට අනුව ඕනෑම අයෙකුගේ මූලික වැටුප මෙන්ම සියලු දීමනා ද ඇතුළු කරගත් සම්පූර්ණ වේතන පැකේජයේම අගය මත පදනම්ව බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමයි.

1980 දශකයේ මුල් භාගයේදී මෙරට අගමැතිවරයාගේ වැටුප වූයේ රුපියල් 8,500කි. කැබිනට් ඇමැතිවරයෙකුගේ වැටුප රුපියල් 5,850ක් විය.

වර්තමානයේදී අගමැතිවරයාගේ මූලික වැටුප රු.71,500කි. ජනාධිපතිවරයාගේ වැටුප රු.97,500කි.

පාර්ලිමේන්තු දත්තවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දළ වැටුප රු.54,250කි. (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප සෑම කලෙකදීම මහාධිකරණ විනිසුරුවෙකුගේ වැටුපට සමානය) දළ වැටුප අනුව ගත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් බදු අය කිරීමට ඉඩක් නැත. (මීට පෙරදී ද ආදායම් බදු අය කිරීමේ සීමාව මාසික වැටුප රුපියල් 62,500ක් විය) එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පැකේජය ඊට වඩා අති දැවැන්ත ය.

තමන් වාසය කරන පළාත, දිස්ත්‍රික්කය අනුව මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව රුපියල් 15,000 සිට 65,000 දක්වා පරාසයකට විහිදේ. එමෙන්ම තම පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂයක් දක්වා දීමනාවක් ද ඔවුන්ට හිමිවේ. ප්‍රායෝගිකව ගත් කළ බොහෝ මැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැඩිදෙනෙකු තම පවුලේම සාමාජිකයන් ය. එනිසා බොහෝවිට එම මුදල් ද ගමන් කරන්නේ ඔවුන්ගේ පවුල්වලටම ය. මේ අතර දුරකථනය සඳහා මාසිකව ලැබෙන දීමනාව රුපියල් 50,000කි. කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන දීමනාව එක් අයෙකුට 2,500 බැගින් රු. 10,000කි. විනෝද දීමනාව රු. 1,000කි.

මීට අමතරව පාර්ලිමේන්තු සභා වාරයකට සහභාගි වීමට එක් දිනක් වෙනුවෙන් ගෙවන දීමනාව රු. 2,500කි. පාර්ලිමේන්තු සභාවාර නොවන දිනවල පැවැත්වෙන කමිටු රැස්වීම්වලට සහභාගී වීමේදී ද රු.2,500ක දෛනික දීමනාවක් හිමිවේ. තව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කාර්යාලයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් මාසිකව ලැබෙන දීමනාව රුපියල් ලක්ෂයකි. තව ද වාර්ෂිකව රුපියල් 175,000ක මුද්දර දීමනාවක් ද ඔවුන් සතු ය. එය මාසිකව ගණන් බැලූවිට රුපියල් 14,500කට මඳක් වැඩිය. මේ සියල්ලටම වඩා වැඩි පිරිවැයක් දරන්නට සිදුවන්නේ ඇමැති, නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ඇමැතිවරුන්ට නිලරථ ලබාදීමෙනි. තවද සියලු මන්ත්‍රීවරුන්ට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ද හිමිවේ.

මේ සියල්ල එකට එකතු කළ විට අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් එක් මාසයක් සඳහා රට දරන පිරිවැය රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ය. ඊට ඔවුන්ගේ භාවිතයට ලැබෙන නිල රථ හෝ තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම අදාළ නොවන බව සැළකිය යුතුය. තවද එම ගණනය කිරීම සිදුකරනු ලැබුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභාවාර හෝ කමිටු රැස්වීම් වාර 10කට මාසිකව සහභාගී වන බවට උපකල්පනය කිරීමෙනි.

කෙසේ වුවද මේ මුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආදායම ලෙස ගිනිය හැක්කේ රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදලකි. ඒ අනුව ගත් කළ මූලික වැටුප මෙන් සිව් ගුණයකට ආසන්න ආදායමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලබන බව පැහැදිලිය. එවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද රටේ අන් පුරවැසියන් මෙන් බදු ගෙවන්නෙකු බවට පත්වීම සාමාන්‍ය කරුණකි. නැතහොත් එය විය යුත්තකි.

වර්තමානයේදී ආදායම් බදු අයකිරීමට යටත් වන්නේ මාසිකව රුපියල් ලක්ෂයකට වඩා ආදායම්ලාභීන් පමණි. මාසිකව උපයන ආදායම ලක්ෂයකට වැඩි විට පළමු රුපියල් 41,600ට (වාර්ෂිකව රුපියල් ලක්ෂ 05) අය කරන බදු ප්‍රතිශතය 4%කි. ඉන් අනතුරුව වැඩිවන රුපියල් 41,600 ට (වාර්ෂිකව රුපියල් ලක්ෂ 05) බදු ප්‍රතිශතය 8%කි. ඊළඟ රුපියල් 41,600ට බදු ප්‍රතිශතය 12%කි. මාසිකව රැපියල් ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබන මන්ත්‍රීවරුන්ට මේ බදු ප්‍රතිශත තුනටම යටත්ව බදු ගෙවීමට සිදුව ඇත.

කෙසේ වෙතුදු මේ බදු කැපිල්ලත් සමඟ මන්ත්‍රීවරැන්ගේ ආදායමට තට්ටුවීමත් සමඟ බියවීමට කරුණක් ද ඉතිරිව තිබේ. එනම් විවිධ හොරකම්, දූෂණ තුළින් මුදල් සෙවීමට ඔවුන් වඩ වඩාත් යොමුවීමේ ප්‍රවණතාවක් මේ සමඟ හටගනු ඇත් ද යන්නයි. මන්ද දූෂණය වළකාලීමේ අදහසින් සිංගප්පූරැව කරන්නාක් මෙන් ඇමැතිවරැන්ට මසකට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක පමණ වේතනයක් ගෙවීමේ හැකියාවක් ලංකාවට ඇත්තේ නැත. මේ ඒ ගැන මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ අදහස්ය.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත

ටිකක් ලොකු බදු මුදලක් ගෙවන්න සිදුවෙලා තියෙන බව නම් ඇත්ත. හැබැයි හැමෝම බදු ප්‍රතිපත්තියට යටත් වෙන එකත් හොඳ දෙයක්. නමුත් හොරකම් දූෂණවලින් සල්ලි හොයන්නෙ නැති අපි වගේ මන්ත්‍රීවරුන්ට මේ බදු අය කිරීම නිසා සමාජ සේවයේ යෙදෙන්න යම් බාධාවක් ඇතිවෙලා තියෙනවා කියලත් කියන්න ඕනෙ. කොහොම වුණත් ඇමැතිවරුන්ගෙන් නම් ලොකු ගාණක් කැපිලා කියලයි දැනගන්න තියෙන්නෙ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර

සමස්ත ජනතාවටම අදාළවන බදු ප්‍රතිපත්තිය මහජන මන්ත්‍රීවරුන්ට අදාළ විය යුතු නැතැයි මම කිසිම විටෙක කියන්නෙ නැහැ. මන්ත්‍රීවරුන්ගෙනුත් බදු අය කළ යුතුයි. නමුත් මෙතෙක් පැවැති ක්‍රමයට වඩා වෙනස්ව මූලික වැටුපට අමතරව දීමනා සඳහාත් බදු අය කිරීමට කටයුතු කරලා තියෙනවා. නමුත් යම් කෙනෙක්ට දීමනාවක් ලබාදෙන්නේ ඔවුන් කරන සේවය දෙස බැලීමෙනුයි. ඒ නිසා දීමනාවලට බදු ගැසීම ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ. හැබැයි මහජන මන්ත්‍රීවරුන්ගේ දීමනාවලට බදු අයකිරීම වැළැක්වීමට කැබිනට් මණ්ඩලයේ උත්සාහයක් පවතින බව ආරංචියි. ඒකට හේතු වෙලා තියෙන්නේ දැනට රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට රුපියල් දෙලක්ෂෙක විතර දීමනා ලැබෙනවා. ඒ දීමනා රැකදීමයි ඒකෙ අරමුණ වෙලා තියෙන්නෙ. යම් විදිහකට ඒ දේ කරනවා නම් ඒකත් වැරදියි. එහෙම නම් සියලු දෙනාටම ඒ සහනය ලබාදිය යුතුයි.

► රජිත ජාගොඩ ආරච්චි

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.