මේ දිනවල අප රටේ සිනමා ලෝලීන් අතර වැඩියෙන්ම කතාබහට ලක්ව තිබෙන චිත්‍රපටය තමයි කැමිලස්ගේ “ගජමෑන්” ත්‍රිමාණ (3D) තාක්ෂණයෙන් යුත් සිනමාපටය. ශ්‍රී ලංකාවේ නිර්මාණය වන මුල්ම 3D තාක්ෂණයෙන් යුත් සජීවීකරණ චිත්‍රපටය ලෙසයි මෙය හඳුන්වන්නේ. ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත “ගජමෑන්” සිනමා පටයට පාදකවූ “ගජමෑන්” චරිතය පිළිබඳව කතා කිරීම සඳහා අපි ගජමෑන්ට ජීවය දුන් එහි නිර්මාතෘ කැමිලස් පෙරේරා හමුවූයෙමු. අඩසිය වසකට අධික කාල පරාසයක් තුළ පන්හිඳෙන් හරඹ දැක්වූ ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා, අපේ සමාජයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරමින්, ඒවා තුළින් හාසය හා උපහාසය මතු කළේය. කාටත් රසවිඳිය හැකි සරල බසින් නිර්මාණය වූ ඔහුගේ කාටූන් චිත්‍ර ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූයේ බස සරල වුවද ඒ සරලත්වය තුළ ගැඹුරක් හා යම් පණිවුඩයක් ගැබ්ව තිබූ නිසාය.

(ඡායාරූප සහ වීඩියෝ සඳහා පහළට යන්න)

ගජමෑන් ප්‍රමුඛ ඔහු විසින් නිර්මාණය කළ අනෙකුත් චරිත අතර සමයං, සිරිබිරිස්, තෙපානිස්, සෙල්ලං සේන, මගෝඩිස්තුමා, දැක්කොත් පත්මාවතී පාඨකයා දැඩි ලෙස ආකර්ෂණය කිරීමට සමත් විය.

“මම මේ කලාව ස්වඋත්සාහයෙන් ඉගෙන ගත්තු කෙනෙක්. මට ගුරෙක් හිටියේ නැහැ. ළමා කාලයේ මම වැල්ලට ගිහින් ඇඟිල්ලෙන් වැල්ලෙ චිත්‍ර ඇන්දා මතකයි. මම ඉපදිලා හැදුනෙ වැඩුනෙ මීගමුවේ. මම වැඩ කළේ කොළඹ කච්චේරියේ. ඒ 1960 ගණන්වල. කච්චේරිය තිබුණේ කොළඹ වේල්ල වීදියේ. මම හැමදාම කෑම පැයේදී ඇඳපු කාටූන් අරගෙන ලේක්හවුස් එකට පයින් එනවා. ඇවිත් ඒවා පළකරවා ගන්න උත්සාහ ගන්නවා. වැඩේ අසාර්ථක වෙනවා. දවසක් මම දන්නා හඳුනන කැමරා ශීල්පියෙක් මට පොඩි ඉඟියක් දුන්නා. ඔහු කිව්වා මගේ කාටූනයක් වෙන පුවත්පතක පළකරවාගෙන ඒකත් රැගෙන ලේක්හවුස් ආවොත් වැඩේ පහසු වෙයි කියලා. මම දවස කන්තෝරුවට ගිහින් කාටූන් කීපයක් පළකරවාගෙන නැවත ලේක්හවුස් ඇවිත් අවස්ථාව ලබාගත්තා. ඔබ්සර්වර් පත්තරේ සිනමා අතිරේකයේ “දැක්කොත් පත්මාවතී” කාටූන් එක තමයි මම මුල්වරට 1966 දී නිර්මාණය කළේ. අපි ඒ කාලේ ඒ වගේම අද වැඩ කරන්නේ දැඩි කැපවීමෙන් හා භක්තියෙන්. මගේ සාර්ථකත්වයට හේතු වුණේ ඒ ගුණාංග බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ.” කැමිලස් කීය.

♦ එතකොට ගජමෑන් බිහිවුණේ කොහොමද?

මම මුල්වරට ගජමෑන් නිර්මාණය කළේ “සතුට” චිත්‍රකතා පත්තරේට. ඒ 1972 දී, 1975 සිට 1984 සිට “සිත්තර” චිත්‍රකතා පත්තරේ ගජමෑන් ප්‍රධානතම ආකර්ෂණය වුණා. ඉන් පසු විවිධ චිත්‍රකතා පත්තරවලත් ගජමෑන්ගේ භූමිකාව ඉස්මතු කළා. මේ චරිතය කොතරම් ජනප්‍රිය වුණාද කියනවානම් සමාජයේ සමහර අයටත් මේ නම පටබැඳුණා. 2002 දී ගජමෑන්ගේ උපන් දිනය සමරා BMICHහීදී විශේෂ උත්සවයක් පැවැත් වුණේ වත්මන් කතානායක, එවකට විදුලිබල ඇමැතිව සිටි කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

♦ “ගජමෑන්” චරිතය චිත්‍රපටයකට නැගීමට ඔබට කවදා හෝ අදහසක් තිබුණාද?

මට එහෙම කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ගජමෑන් ජනප්‍රිය වුණේ මුද්‍රිත මාධ්‍ය හරහා. ඒක සිනමාවට උචිත වෙයි කියලා මම හිතුවේ නැහැ. එහෙත් මේ චිත්‍රපටය සඳහා යෝජනාව ඉදිරිපත් කළාම මම මුලදී වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. මගේ ගජමෑන්ගේ විහිළු පත්තරේට මිසක් චිත්‍රපටවලට හරියන්නේ නැහැ කියලා මම කිව්වා. ඒත් සුනෙත් සහ ගාමින්ද මට කතාවෙ සාරංශයක් ලබාදුන්නා. මම ඒකට සංශෝධන කීපයක් එකතු කරලා වැඩේට කැමැත්ත දුන්නේ මෙය හොඳින් කෙරෙයි කියන දැඩි විශ්වාසය මත. මේකේ තවත් වැඩකටයුතු කරගෙන යනවා. සිනමා ලෝලීන්ට ගජමෑන් අලුත්ම අත්දැකීමක් වේවී.

♦ ගජමෑන් චරිතය අළලා ඔබ පොත් කීපයකුත් පළකළා නේද?

ඔව් ඒ පොත් උණු කැවුම් වගේ අලෙවි වුණා. මම මුලදී කිව්වා වගේ මේ තැනට එන්න මම ගොඩාක් දුක්මහන්සි වුණා. මට කුඩා කල තිබුණු ඉලක්කය මුදුන් පත්කර ගන්න මම සෑහෙන්න කැප වුණා, රෑ දවල් මහන්සි වුණා, විෂයට අදාළ පොත්පත් රැසක් කියවලා ඒ ගැන ස්වයං හැදෑරීමක් කළා. කාටූන් චරිත 25ක් විතර මගේ අතින් බිහිවුණා. ඒවා ජනප්‍රිය වුණා. මම අමෙරිකාවට ගිය බොහෝ අවස්ථාවල වෝල්ට් ඩිස්නි යුනිවර්සල් ස්ටූඩියෝ එකට ගිහින් තියෙනවා. ඒ වගේ රටක ඉපදිලා හිටියා නම් මටත් වෝල්ට් ඩිස්නි වගේ කෙනෙක් වෙන්න තිබුණා කියලා මම නිතරම හිතුවා.

සමාජ, දේශපාලන හා කාලීන පුවත් පිළිබඳ හසල දැනුම් සම්භාරයකින් සන්නද්ධව සිටින කැමිලස් පෙරේරා අති දක්ෂ ක්‍රීඩකයෙක් බව වත්මන් පරපුර නොදන්නවා ඇති. මීගමුව ජුපිටර්ස් පාපන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වූ ඔහු කලක් එහි නායකයා ලෙසද කටයුතු කර ඇත.

සිනමාවට නැගෙන ගජමෑන් චරිතය දැකබලා ගැනීමට මුලු රටම නොඉවසිල්ලෙන් බලා හිඳී.

ගජමෑන් චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේය,

එක්තරා ගමක ගජමෑන් ජනප්‍රිය චරිතයක්. ඔහු මගෝඩිස්තුමාගේ දකුණු අත බඳුය. මගෝඩිස්තුමාගේ සෑම වැඩක්ම ඔහු අකුරට ඉටුකරයි. ඡන්ද වැඩකටයුතු සංවිධානය කරනවා වගේම කප්පම් ගැනීමේ රාජකාරිය ද ඔහු අතින් සිදුවේ. විදෙස් රටක උසස් අධ්‍යාපනය හදාරන මගෝඩිස්තුමාගේ දියණිය පද්මි හා ඇගේ හොඳම යෙහෙළිය ලංකාවට එන බව මගෝඩිස්තුමාට දන්වා තිබුණා. ගුවන් තොටුපොළට ගොස් ඒ දෙදෙනා ගෙදරට රැගෙන ඒමේ වගකීම පැවරුණේ ගජමෑන්ටය. පද්මිගේ දෑස් ගජමෑන්ගේ ඇස් ගැටුණු මොහොතේ පටන් ඇය කෙරෙහි දැඩි ආදරයක් ඔහු තුළ හටගත්තා. ඔහුගේ සිංහල ඇයට හරිහැටි අවබෝධ නොවූ අතර ඇයගේ ඉංග්‍රීසි ඔහුට ආගන්තුක විය. ඔහු ඉංග්‍රීසි පන්තියකට යන්නේ ඔහුගේ හදවතේ කකියන ආදරය ඇයට පවසන්නට සිතාගෙනය. මේ බව මගෝඩිස්තුමාට ආරංචි වී ඔහු ගජමෑන් ගමෙන් පළවා හරී. ගජමෑන් යළි ගමට පැමිණේද? ඔහුට පද්මිගේ ආදරය හිමිවේද? ගජමෑන් තිරගත වූදා මේ ප්‍රශ්නවලට පිළිතුරැ ලැබෙනු ඇත.

♦ රමේෂ් උවයිස්

Loading...