එංගලන්තයේ හැරෝ නගර සභාවේ නගරාධිපති තනතුර මුල් වරට මුස්ලිම් කාන්තාවකට හිමිවිය. එය අපේ රටට මහත් ආඩම්බරයක් වන්නේ ඇය ශ්‍රී ලංකාවේ මහනුවර උපන් තැනැත්තියක් නිසාය. කයිරූල් කරීමා මරික්කාර් වන ඇය සිය නගරාධිපති ධූරයේ වැඩ ඇරඹුවේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායානුකූල මඟුල් බෙර සක් වාදන සහිතවය. බටහිර හැරෝ ප්‍රාදේශිකය 2010 සිට නියෝජනය කළ ඈ 2017 වසරේ සිට එහි උප නගරාධිපතිවරිය ලෙස කටයුතු කළාය.

බටහිර හැරෝ කොට්ඨාසය නියෝජනය කරන ඇය කම්කරු පක්ෂ අපේක්ෂකයකු ලෙස තරග වැදුණාය. (ලංකා තරුව), (හැරෝහි අලංකාරය) ලෙස සම්භාවනාවට පත්ව සිටින ඇගේ සම්ප්‍රාප්තිය අඳුරු රැයක සහන් එළියක උදාවකට හිතවතුන් සමාන කර තිබේ. නිතර විනෝදශීලීව සමාජශීලීව හැසිරෙන ඈ තමන්, ලැබූ නව තනතුර මහත් අභිමානයකින් යුතුව පිළිගන්නා අතර හැරෝ ජන ප්‍රජාවට උපරිම සේවයක් සැලසීමට පිලින දෙන බව කීවාය. හැරෝ කොට්ඨාසය ප්‍රබල ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රබල ජන විවිධත්වයක් සහිත ජීවත් වීම සඳහා අපූරු පළාතක් ලෙස ඇය හඳුන්වා තිබේ. හැරෝහි මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ගොනුවී ඇති අතර එහි ප්‍රධාන පෙළේ මුස්ලිම් පල්ලි කිහිපයක්ද වේ.

කරීමා පල්ලියට සමීප තැනැත්තියක වන අතර සමාජ සුබසාධන කටයුතුවලට බොහෝ හිතැති තැනැත්තියකි. ඇයට ලංකාවේද උසස් පෙළේ මිතුරු සමාජයක සබඳතා පවතී. ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු ආගමික මධ්‍යස්ථාන මෙන්ම සංස්කෘතික ආයතන සමඟද ළඟ සබඳතා පවත්වයි. හැරෝහි නිවාස අහිමි ජනතාවට සහන සපයන Firm Foundation සහ රෝගී දරුවන්ගේ පවුල් සුබසාධනයට කැපවූ Rainbow Trust මගින් විශාල මෙහෙයක් මේ වන විට ඇය හැරෝ ජනතාව වෙත සිදුකර තිබේ. 2010 සිට නගර සභිකයකු ලෙස ඇය ප්‍රදේශයට සේවාවක් කළ තැනැත්තියකි. 2017 වසරේදී ඇය උප නගරාධිපති ලෙස පත්වූයේ මේ සමාජ හිතැති ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසිනි.

තිදරු මවක් වන ඈ 1961 වසරේ ලංකාවේ නුවර ප්‍රදේශයේ උපත ලද තැනැත්තියකි. නුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඈ පසුව පිලඩෙල්පියාවල උසස් බාලිකා විදුහලෙන්ද අධ්‍යාපනය ලැබුවාය. කලක් නුවර රැජන හෝටලයේ සේවය කළ ඈ හෝටල් කළමනාකරණය පිළිබඳ හැදෑරූ තැනැත්තියකි. ඇය ක්‍රීඩා කටයුතු සංවර්ධනය සඳහා මහත් උනන්දුවක් දක්වන්නියක වන අතර මානසික සෞඛ්‍ය පිළිබඳ සුබසාධක කමිටු සාමාජිකාවක්ද වේ.

මහජන ආරක්ෂාව තර කිරීම, පදික පහසුකම්, වීදි ලාම්පු සේවා විධිමත් කිරීම, හැරෝ දුම්රියපළ පිවිසුම් මඟ නවීකරණය වැනි යෝජනා ඇය සිය තරගකාරී පොරොන්දු අතරට එක් කර තිබුණි.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.