දිගන හා තෙල්දෙණිය කේන්ද්‍ර කර ගනිමින් මහනුවර ප්‍රදේශයේ පැවැති ජාතිවාදී කෝලාහලය සම්බන්ධයෙන් අමිත් වීරසිංහ නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.

ඔහු මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායකයාද වේ.

මොහු අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී එම බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකයකුගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වූයේ පසුගිය 25 වැනිදාය.

රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවන අමිත් වීරසිංහ නැමැති සිය ස්වාමිපුරුෂයා දැකීම සඳහා ඔහුගේ බිරිය කුමාරි මහත්මිය පසුගිය 25 වැනිදා මහනුවර සිට අනුරාධපුර බන්ධනාගාරය වෙත ගියාය.

එහිදී බන්ධනාගාර නිලධාරියෙක් ඇයට කියා තිබුණේ අමිත් වීරසිංහ බන්ධනාගාරය තුළ ඇති බෙහෙත් ශාලාවට ගිය අවස්ථාවේ ඔහුට යම් අයකු විසින් පහරදී තුවාල ලැබීමෙන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ බවය.

කලබලයට පත්වූ ඇය වහාම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගොස් සැමියා හමුවී තිබේ.

කරුණු විමසීමේදී ඔහු පවසා ඇත්තේ තමන්ට උණ රෝගය වැළඳී ඇති බවත් ඊට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලේ බෙහෙත් ශාලාව වෙත ගිය අවස්ථාවේදී ඖෂධ සංයෝජකයෙක් හා වූ බහින් බස් වීමක් හේතුවෙන් ගැටුමක් හටගත් බවය.

එහිදී ඖෂධ සංයෝජකයා විසින් අමිත් වීරසිංහට පහරදී ඇති අතර ඒ හේතුවෙන් රෝහල් ගත වූ බව පවසා ඇත.

මේ සිදුවීම කුමාරි මහත්මිය වහාම අනුරාධපුර මූලස්ථාන පොලීසිය වෙත ගොස් පැමිණිලි කළාය.

මේ අතර එදිනම තවත් කාන්තාවක් එම පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

ඇය පී. ප්‍රේමරත්න නැමැති බන්ධනාගාර රෝහලේ සේවය කරන ඖෂධවේදියකුගේ බිරියයි.

ඇය පැමිණිල්ලෙන් කියා තිබුණේ මහ සොහොන් බළකායේ නායකයා බන්ධනාගාර රෝහල් තුළදී සිය සැමියාට පහරදී තිබෙන බවත් ඒ හේතුවෙන් සැමියා රඹෑව රෝහලේ ප්‍රතිකාර ලබන බවත්ය.

කෙසේ වෙතත් අමිත් වීරසිංහ අනුරාධපුර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත ප්‍රතිකාර ලබමින් සිට යළිත් බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබුණි.

වාර්තා වූ පරිදි උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට බෙහෙත් ශාලාවට ගොස් ඖෂධ සංයෝජක හා කතිකා කරන අතරතුර අමිත් වීරසිංහ පවසා ඇත්තේ මේ වතුර තමාට පානය කරන්නට නොහැකි බවය.

ඒ ඔස්සේ දෙපාර්ශ්වය අතර වචන හුවමාරුවක් වී ඇත.

පසුව දෙදෙනා ගුටිබැට හුවමාරුවකට මැදිව තිබෙන අතර ඖෂධ සංයෝජක විසින් අමිත් වීරසිංහගේ ගෙල හා කන අතරට පහරක් එල්ල කර ඇතැයි කියති.

මේ පිළිබඳව අමිත් වීරසිංහ බන්ධනාගාර පරිපාලන ඒකකය වෙත පැමිණිලි කර ඇති අතර බන්ධනාගාර අධිකාරි හරහා බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඔහුගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් මහ සොහොන් බළකායේ නියෝජිතයන් දෙපළක් පැමිණ බන්ධනාගාර ඉහළ නිලධාරීන් වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

ඒ අනුව සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකෙරෙන බවද අදාළ ඖෂධ සංයෝජක පිළිබඳව විනය පරීක්ෂණයක් සිදුකරන බවද එතෙක් ඔහුට ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මෙය පුද්ගලයන් දෙදෙනකු අතර ගැටුමක් පමණක් වන අතර ඒ පිළිබඳ පොලීසිය අධිකරණ කටයුතුද මෙහෙයවනු ඇතැයිද ගැටලුව පිළිබඳව මුල් අවස්ථාවේදීම අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් මෙය වෙනත් ගැටලුවක් ලෙස අර්ථ නොදක්වන ලෙසද උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.