ලබන ජූලි මස පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල ප්‍රමිතිය පිළිබඳ නව රෙගුලාසි පැනවීමට ආණ්ඩුව සූදානම් වේ.

මෙලෙස නීති පනවනුයේ ප්‍රමිතියෙන් පහළ වාහන ආනයනය කිරීම නිසා පරිසරය දූෂණයට ලක්වීම, මාර්ග තදබදය ඉහළයාම ආදිය නිසා සිදුවන අහිතකර තත්ත්වය මැඩ පැවැත්වීමටය.

එසේම ප්‍රමිතියෙන් තොර වාහන නිසා සිදුවන මාර්ග අනතුරුවලදී මියයන සංඛ්‍යාව සහ ආබාධයට ලක්වන සංඛ්‍යාව ඉහළ නගිමින් පවතී.

2016 වසරේ අයවැය ලේඛනය තුළින් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය නිසා මෙතෙක් පැවැති වාහන නිෂ්පාදිත මිල මත බදු පැනවීම වෙනුවට එන්ජිමේ ධාරිතාව මත බදු ගැහීම ආරම්භ කර තිබේ.

මෙම අලුත් බදු ක්‍රමය නිසාද, ප්‍රමිතිය උසස් කිරීම හේතුවෙන්ද වාහනවල මිල ඉහළ යනු ඇතැයි ඇතැම්හු පවසති.

නව බදු ක්‍රමය නිසා දැනටමත් වාහන මිල ඉහළ ගොස් ඇති අතර ජූලි මස සිට හඳුන්වා දීමට යන ඉහළ ප්‍රමිතිය නිසාද මිල තවදුරටත් ඉහළ නැගීමක් සිදුවිය හැකි අතර ඒ නිසා ජනතාවට අඩුමිලට වාහනයක් ලබා ගැනීමේ සිහිනය සැබෑ කරගත නොහැකි වේ යැයිද බිය පල කෙරේ.

එසේම රුපියල අවප්‍රමාණවීමද වාහන මිලට බලපායි.

එසේ වුවද දියුණුවන තාක්ෂණය සමඟ ඉදිරියට යාමේදී රටට උසස් තත්ත්වයෙන් යුතු වැඩිදියුණු කළ වාහන ගෙන්වීමට අවශ්‍ය බව පවසන පිරිස්ද සිටී.

මෙම පසුබිම අනුව අනාගතයේදී තවදුරටත් වාහන මිල ඉහළයාම පිළිබඳ හා වාහනවලට අනුගත කිරීමට යන නව රෙගුලාසි පිළිබඳව වාහන ව්‍යාපාරික ආයතන කිහිපයක් පළකළ අදහස් මෙසේ දක්වමු.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන ප්‍රධාන වෙළෙඳ නියෝජිත ආයතනයක නම සඳහන් කිරීමට අකැමැති ආනයන අංශයේ උසස් නිලධාරියකු පැවසුවේ පසුගිය නොවැම්බර්වල වාහන මිල වැඩිවූ අතර තවත් මිල වැඩිවීමට දෙයක් නැති බවය.

දැනට මාස 6-7කට පෙර ආනයනය කළ වාහන තොග ඇති අතර මේ දිනවල ඉල්ලුම වැඩිවීමක් නොමැති බව ඔහු කියයි.

ඒ නිසා දැනට ඇතැම් වාහනවල මිල පහත හෙළා ඇත.

උදාහරණයක් ලෙස පැවසුවොත් වැගන් ආර් ජපන් වාහන මුලදී ලක්ෂ 33ට මිල කර තිබූ නමුත් මේ වනවිට ලක්ෂ 30 දක්වා පහළ දමා තිබේ.

ඒ නිසා මිල අඩුවීමක් මිස වැඩිවීමක් නොමැත.

වාහන අලෙවිය සෙමින් පවතින නිසා අලෙවි ප්‍රවර්ධන කටයුතු ඇතිකර වැඩිපුර අලෙවි කර ගැනීමට උත්සාහ දරමින් සිටී.

ජනතාව අත යහමින් මුදල් නොගැවසීම වාහන අලෙවිය පහළ වැටීමට හේතුවකි.

එය තමන්ට පමණක් නොව බොහෝ ව්‍යාපාරිකයන්ට බලපාන්නක් බව ඔහු කියයි.

පසුගිය අයවැයෙන් වාහන ආනයනය කිරීම පිළිබඳ පැනවූ අලුත් නීති වාහන ආනයනකරැවන්ට පමණක් නොව පොදු මහජනතාවටද අහිතකර අතර ඔවුන්ගේ වාහන සිහිනය බොඳ කිරීමට හේතුවක් බව ඔහු කියයි.

ප්‍රකාශකයා මෙසේද පැවසුවේය.

“අලුතින් ආනයනය කරන වාහනවලට 2018 ජනවාරි 01දා සිට බලපැවැත්වෙන පරිදි ද්විත්ව ආරක්ෂක බැලුම් (Dual Air bag) ABS බ්‍රේක් සිස්ටම් හා ආරක්ෂක පටි සහිත Euro 4 Emission මට්ටමට අනුගත වාහන පමණක් විය යුතු යැයි නීතියක් පනවා තිබුණා. එසේ වුවත් වාහන ආනයනකරුවන් ආණ්ඩුව සමඟ කළ සාකච්ඡා පරිදි මෙම අවශ්‍යතාවය 2018 ජූලි 01 දින දක්වා කල්දමා ගැනීමට හැකිවුණා. මෙම අවශ්‍යතාවලට අනුකූල වනසේ ආනයනය කරන වාහනවල මිල රුපියල් මිලියනයකින් පමණ වැඩිවෙනවා. එවිට මිල අඩු වාහන ගෙන්වීම නවතිනවා. මෙම තත්ත්වය ව්‍යාපාරිකයන්ට පමණක් නොවෙයි වාහන පිළිබඳ සිහින මැවූ පොඩි මිනිසාගේ බලාපොරොත්තු කඩවීමක් වෙනවා.

අනිත් අතට Euro 4 Emission මට්ටමේ වාහනවලට දැනට ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කරන ඔක්ටේන් 92-95 පැට්‍රල් පාවිච්චි කළ නොහැකියි. ඒ වගේම සාමාන්‍ය ඩීසල් වෙනුවට ඊයම් ප්‍රතිශතය අඩු සුපිරි ඩීසල් පාවිච්චි කළ යුතුයි. ඔක්ටේන් 98 වර්ගයේ පැට්‍රල් තමා ගහන්න වෙන්නේ. මේ සඳහා ටැංකි පහසුකම් දැනට සංස්ථාවේ පිරවුම්හල්වල නැහැ. ඒ වෙනුවෙන් යළි ටැංකි අමුතුවෙන් තනන්න වෙනවා. ඒ සඳහා විශාල පිරිවැයක් දරන්න වෙනවා”

ඔහු පවසන තවත් දෙයක් නම් දැනටමත් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් අමාරුවේ වැටී සිටින පාරිභෝගිකයා මේ ක්‍රමය නිසා තවදුරටත් අමාරුවේ වැටීමක් සිදුවෙන බවයි.

එයට හේතුව සුපිරි ඩීසල් සහ 98 වර්ගයේ පෙට්‍රල් මිල වැඩිවීමයි.

මෙම තත්ත්වය සාමාන්‍ය ජනතාවට දරා ගැනීමට අපහසු බව ඔහු කියයි.

අනික් අතට මෙම අවශ්‍යතා අපේ රටේ සම්පූර්ණ වනතුරු එවැනි ජපන් වාහන රටට අලෙවි කිරීමක් සිදු නොවෙයි.

අපේ මාර්ග පද්ධතියද එම තත්ත්වයට ඔරොත්තු දෙන ලෙස වෙනස් විය යුතුයි.

ඒ නිසා මෙම යෝජනාව සත්‍යයක් බවට පත්කර ගැනීම අපහසු වනු ඇති බව ඔහු කියයි.

මෙවැනි නීති කාගේ අවශ්‍යතාවක් මත පනවනවාද යන්න සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

මෙය කවරකුගේ හෝ පෞද්ගලික අවශ්‍යතා මත සිදුකළ දෙයක් බව ඔහුගේ වැටහීම වේ.

“අනිත් අතට මෙවැනි නීති දමන්නේ මාර්ග අනතුරු අවම කර ගැනීමට සහ පරිසරය සුරක්ෂිත කිරීමට නම් දැනට පාවිච්චි කරන ත්‍රිරෝද රථවලටද මෙම නීතිය දැමිය යුතුයි. අද වැඩිපුර මරණ සිද්ධ වෙන්නේ පරිසරය අපවිත්‍ර වන්නේ ත්‍රීවීල් ආදී වාහන නිසයි. එහෙම තිබියදී කාර් වෑන් ආදියට පමණක් මෙම නීතිය දැමීම කොතරම් දුරට වැදගත්ද යන්න සලකා බැලිය යුතුයි. මේ නීතිය නිසා අලුත් වාහන ගෙන්වන අයට නොව පාවිච්චි කළ වාහන ආනයනකරුවන්ට පමණක් වාසිවන බවක් පෙනෙන්නට තියෙනවා. ජනතාවට වෙන සහනයක් නම් නැහැ.

2020 වනවිට ආණ්ඩුව ගෙන්වන වාහන සියල්ල Hybrid හා Electric විය යුතු යැයි නීතියක් අයවැයෙන් දමා තිබෙනවා. වර්ෂ 2040 දී රටට ආනයනය කරන සියලුම වාහන මේවා විය යුතුයි කියලයි ආණ්ඩුව කියන්නේ. එහෙම සැලසුම් කළ ආණ්ඩුව පසුගිය අයවැයෙන් එම වාහනවල බදු වැඩිකළා. මෙයින් සිදුවූයේ එම වාහන ආනයනය කරන අය අධෛර්යමත් වීමයි. මෙලෙස දෙආකාරයකට කටයුතු කිරීම විමතියට කරැණක්. සෙසු පහසුකම් ලබා නොදී මෙලෙස නීති පැනවීමෙන් සිද්ධවන යහපතක් නැහැ”

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ:

“වාහන මිල වැඩිවේ යැයි රාවයක් පවතින නමුත් යළිත් වරක් එවැන්නක් සිදුවේ යැයි සිතන්නට නොහැකියි. රුපියල අවප්‍රමාණවීම නිසා සිදුවන වෙනස සුළු වශයෙන් බැවින් එහි එතරම් බලපෑමක් සිදු නොවෙයි. මිල වැඩිවේ යැයි ආරංචි පැතිරවීම ඇතැම් අය තම වාසිය තකා කරන දෙයක්. එය සමහර විට අත තියෙන තොග විකුණා ගැනීමට කරන ප්‍රයෝගයක් විය හැකියි.

කොහොම වුණත් මිලට වැඩිය වාහනවල ප්‍රමිතියක් තමා තිබිය යුත්තේ. නිසි ප්‍රමිතියක් සකස් නොවූ විට නුසුදුසු වාහන වෙළෙඳපොළට එනවා. එම තත්ත්වය පාරිභෝගිකයා අමාරුවේ වැටීමක්. අප සංගමය වසර දෙකක පමණ කාලයක සිට රජයෙන් ඉල්ලා සිටියා රටට ආනයනය කරන වාහනවලට නිසි ප්‍රමිතියක් සකස් කරන්න කියලා. එයට ඇහුම්කන් දීමක් වශයෙන් පසුගිය අයවැයේදී ආනයනය කරන වාහන පිළිබඳ ප්‍රමිතියක් හඳුන්වාදීමට කටයුතු කළා. එය පසුගිය ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීමටයි නීති සකස් කිරීමට ගියේ. එහෙත් ඇතැම් අයගේ බලපෑම් නිසා එය ජූලි 01 දක්වා කල්දමා තිබෙනවා. අප පවසන්නේ මෙය තවත් ප්‍රමාද නොකර හැකිතාක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවයි”

ඔහු කියන්නේ ආනයනය කරන සමහර වාහන ඇතැම් බහුජාතික ඒජන්තවරුන්ට අවශ්‍ය කරන පරිදි වෙනස් කිරීම් කර බාලකර ගෙන්වන බවයි.

බාල එන්ජින් සවිකර විශාල ලෙස මිල අඩුකර විකිණීමට සිදුකරයි.

මෙහිදී සිදුවන මිල වෙනස ලක්ෂ 3-4 වන නිසා ඔවුන්ට එය ව්‍යාපාරාත්මක අතින් හොඳ බව කිවයුතුයි.

ඒ නිසයි වාහනවලට නිසි ප්‍රමිතිය ගැසට් කළ යුතු බවට ඉල්ලා සිටියේ.

ඒ අනුව Euro 4 වැනි මට්ටමේ වාහන ගෙන්වීමට කටයුතු කරමින් සිටි බව ඔහු කියා සිටියි.

Euro 4 යනු පැරණි ප්‍රමිති තත්ත්වයේ වාහන වේ.

දැන් ලොව දියුණු රටවල පිළිගෙන ඇත්තේ Euro 6 තත්ත්වයයි.

එහෙත් දැනට Euro 4 මොඩලය ආනයනය කළයුතු බවට නීති පැනවීම තරමක් හෝ යහපත් වේ.

තම පරමාර්ථය යම් පමණක් දුරට ඉටුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

මෙම වාහනවලට අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකාවේ නැති බව පැවසීම සත්‍ය නොවන අතර දැනට සංස්ථාවේ ඇති ඉන්ධන සුදුසු වන බව ඔහු කියයි.

“මෙය ඉන්දියානු හෝ වෙනත් වාහන ආනයනයට පහර ගැසීමට කළ දෙයක් නොවන අතර, අවශ්‍ය වන්නේ දියුණු ලොවට ගැලපෙන තාක්ෂණයකට අපත් අනුගත වීමක්. අයවැය තුළින් යෝජනා කළේ හරිතකරණය වූ පරිසරයක් රට තුළ ඇති කිරීමයි. අද නාගරික මෙන් ග්‍රාමීය පරිසරය ද දූෂණය වීමට බලපාන්නේ වාහනවලින් පිටවෙන විෂ දුම් සහ අපද්‍රව්‍යයයි. මේවා පරිසරයට මුදා හැරීම නිසා වායු ගෝලය දූෂණය, සතා සීපාවන් පවා විනාශයට යන බව පෙනෙනවා. හා ඒ නිසා ප්‍රමිතියෙන් තරමක් හෝ උසස් පරිසරය දූෂණය නොවන වාහන ආනයනය දිරිමත් කළ යුතුයි.

අපි දැනට ගෙන්වන වාහනවලට ද air bags තියෙනවා. ඒ නිසා එවැනි වාහන ආනයනය කිරීම අපට අමුතු දෙයක් නෙවෙයි. මෙලෙස air bags නිසි පරිදි තිබීම ජීවිතවලට සුරක්ෂිතභාවයට ද බලපානවා. මෙහිදී මිල මත පමණක් සලකා තීරණ ගත යුතු නැහැ. වාහනවල ප්‍රමිතිය බැලිය යුතුයි. එය නීතියෙන් නියම කිරීම වැදගත් වන්නේ ඇතැම් කූට ව්‍යාපාරිකයන් ජනතාව නොමඟ යවා නුසුදුසු වාහන අලෙවිකර විශාල විනාශයක් කරන නිසයි”

රාමනායක ඔටෝමොබයිල් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආනයන කළමනාකරු හිරාන් කුරේ පවසන්නේ අලුත් බදු ප්‍රතිපත්තිය අනුව තම ආයතනය ආනයනය කරන ජපන් වාහනවල මිල ඉහළ යාමක් සිදු නොවන බවයි.

“ආණ්ඩුව හඳුන්වා දෙන්නට යන Euro 4 ප්‍රමිතිය දැන් අපි ගෙන්වන වාහනවලට ද තිබෙනවා. ඒ නිසා එය අපට බලපාන දෙයක් නෙවෙයි. මගේ අදහස නම් පරිසර හිතකාමී වාහන ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම යහපත්. අද බොහෝ පැරැණි වාහන මහ මග දුවන නිසා පරිසර දූෂණය වෙනවා වැඩියි. වාහන දුම් පරීක්ෂණ වුවත් නිවැරදිව ක්‍රියාත්මක වෙනවා යැයි හිතන්න බැහැ.

එහෙත් මෙම නීති හඳුන්වා දීමට පෙර ආණ්ඩුව කළ යුතුව ඇත්තේ ඒවාට අවශ්‍ය පහසුකම් සැලසීමයි. වාහනවලට අවශ්‍ය ඉන්ධන වර්ග, අමතර කොටස් ආදිය මෙන්ම මහා මාර්ග පද්ධතිය ද එයට අනුරූප වන ලෙස සකස් කළ යුතුය. එසේ නොකර එකවරම මෙම නීති ක්‍රියාත්මක කළහොත් ව්‍යාපාරිකයන්ට ද, පාරිභෝගිකයන්ට ද ගැටලු සහගත වන අතර ආණ්ඩුව බලාපොරොත්තු වන ප්‍රතිඵලය ද ලැබෙන්නේ නැහැ”

අලුත් බදු ක්‍රමය අනුව වාහනයේ එන්ජින් චාරිකාවට බදු ගහන නිසා මේ වනවිට ජපන් වාහනවලට වඩා Audi, BMW වැනි ඉංග්‍රීසි වාහනවලට ජනතාව තුළ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බව ඔහු කියයි.

ඇන්ජින් ධාරිතාව සී.සී 1000 දක්වා වාහනවලට අලුත් බදු අනුව එතරම් මිල ඉහළ නොයන නිසා පාරිභෝගිකයන් එම වාහනවලට උනන්දුවක් දැක්වීමට පටන්ගෙන තිබෙන බව ඔහුගේ අදහස වේ.

උදාහරණයක් ලෙස පැවසුවොත් වැගන් ආර් වාහනවල එන්ජින් ධාරිතාව සී.සී 660යි. වෙසල් වාහනත් එසේයි.

මේ නිසා ඒවායේ මිල අලුත් බදු ක්‍රමය නිසා එතරම් ඉහළ නොයන බව ඔහු කියයි.

වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ හිටපු උසස් නිලධාරියකු පවසන්නේ 2016 අයවැය ලේඛනයෙන් පසු මේ දක්වා වාහනවල මිල සියයට 40ක් පමණ වැඩි වී ඇති බවය.

ඉදිරියේදී ද වාහන මිල තව තවත් ඉහළ යනු ඇතැයි ඔහු පවසයි.

2016 අයවැයෙන් ඉදිරිපත් කළ බදු ගණනය කිරීමේ ක්‍රමය මෙයට හේතු වී ඇත.

දැනට වාහනවල බදු ගණනය කරනුයේ එන්ජින් ධාරිතාව මතය.

මෙයට පෙර අය කළේ වාහනවල මිල මත පිහිටලයි.

දැන් පවතින බදු ක්‍රමය මිල වැඩිවිමට හේතු වී ඇත.

අලුත් බදු ක්‍රමය නිසා ආනයනික අලුත් වාහනවල වෙළෙඳ පොළ තරගකාරීත්වය අඩු වී ඇත.

ඒ නිසා දැනට ආනයනය කර ඇති වාහන මිල අඩු කර විකිණීමට ආනයනකරුවන් පෙළඹීමක් දක්නට ඇත.

► යසවර්ධන රුද්රිගු

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.