රතු කොළ, රන්වන් පාට මිශ්‍ර වෙච්ච තොප්පියෙන් හැඩපළු ගෙතුන තඹ පාට කොණ්‌ඩය මදකට වැසී ඇත. බෙල්ලෙ එල්ලෙන ඇට මාලයෙත් අත් පළඳනාවෙත් ‘කැනබීස්‌ සියේටා’ ලකුණු තම අණසක පතුරා ඇත. ටියුෂන් පුරවරයේ සුපුරුදු අවන්හලක අසුන්ගෙන කට දන බත් මුලක්‌ රස බලන්නට අපි අසුන් ගත්තෙමු. ඉන්දියන් සාගරයේ ලාස්‌වෙගාස්‌වල ගෝඩ් ෆාදර්ලාගේ සිට අනෙකුත් අවශේෂ පන්දම්කාරයන්ගේ පමණක්‌ නොව ටැංකි සුද්දන්ගේ ද ඇති තතු ඇති සැටියෙන්ම මට පවසන මගේ විශ්වාසවන්තයා ඔහුය. කලක සිට මට ඉව වැටුන ඒත් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ගැනීමට නොහැකි වූ ගැටලුවකට හරිම සාක්‌කි ඇත්තේ ඔහු ළඟය.

කුලියට හිරේ යන්න කැමති උනුත් දැන් ඉන්නව නේද?

මේ මොනව අහනවද? කුලියට ඇතුළට යනව කියන එක ජොබ් එක කරගත්ත එවුන් ඉන්නව. අද කාලෙ පාතාලෙ හැටියට ලොක්‌කෙක්‌ බක්‌කෙක්‌ හිරේ ළඟිනවයි කියන්නේ සීරියස්‌ කේස්‌ එකක්‌. ඒක නිසා ඌ වෙනුවට වෙන පොරක්‌ තමයි ඇතුළට යන්නෙ.”

වර්තමාන ශ්‍රී ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් ඉතාමත් සංවිධානාත්මක, භයානක හා කුරිරු තැනකට පත් වී ඇත. බන්ධනාගාර ගතවීම, බන්ධනාගාරය තුළ සිර දඬුවම් හිමි වීම උසාවි යැම ආදී නිශ්චිත කාල වකවානුවලට අනුව සිදුවන ක්‍රියාකාරකම් පාතාල කල්ලියකට තමන්ට විරුද්ධ පාතාල කල්ලියෙන් පළිගැනීමට හෝ පහර දීමට උදාවෙන අවස්‌ථාවකි. ඊට හොඳම උදාහරණය බන්ධනාගාර බස්‌ රියේදීම සිදුවූ සමයංගේ ඝාතනයයි. මාකඳුර මදූෂ්ගේ හිතෛෂීම ගෝලයා වූ හර්ෂ යසස්‌ව ඝාතනය කළ නිසා මදූෂ් සමයංව ඝාතනය කළේය. ඒ නිසා පාතාලෙ ගෝඩ් ෆාදර්ලා හිරේ විලංගුවේ වැටීමට පෙර මදක්‌ ඒ ගැන සිතීමට පෙළඹෙයි.

මේ ආකාරයෙන් කුලියට බන්ධනාගාරගත වීමට කැමති වන්නේ තුන්වැනි පංතියේ පහළම මට්‌ටම්වල සමාජ මට්‌ටම්වල පිරිසය. පැල්පත් හා මුඩුක්‌කු තරුණයන්, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස්‌ යන එන මං නැති අනාථ පිරිස්‌, මෙය වෘත්තිය වශයෙන් කරන පිරිස්‌ මෙන්ම ගෝඩ් ෆාදර්ලාගේ බොඩිගාඩ්ලා, වෙනත් අවශේෂ පන්දම්කාරයන් ඇම්බැට්‌ටයන් ද මේ අතර සිටිති. අතීතයේ මෙය පුරුෂ පාර්ශවයට පමණක්‌ අදාළ වුවද අද වන විට වෙනත් හැම දේකම දී මෙන් මෙහි දී ද කාන්තා නියෝජනයක්‌ දැකිය හැකිය.

ඇත්තටම සමහර උන්ට හිර ගෙදර තමුන්ගෙ ගෙදර වගේ. සමහරු ගෙදරට වඩා සැපට ඉන්නෙ හිර ගෙදර.

ඇත්ත ඇති සැටියට කියනවනම් බන්ධනාගාරය වූ කලී ඇත්තන් රජයන නැත්තන් පචවෙන වනාන්තරයකි. සිරගෙය තුළ ප්‍රබල සිරකරුවන්ට ඇති බලපරාක්‍රමය සුළුපටු නැත. බූතයන්ට ද එසේමය බන්ධනාගාරය තුළ දී ඔවුනගේ රසමුසු ආහාරයන්ගේ පටන් සියලු අවශ්‍යතා පියවීමට තරම් ඔවුන්ගේ මාස්‌ටර්ලා කාරුණිකය. ඔවුන්ට “වේල” (මත්ද්‍රව්‍ය) නිසි වේලාවට නිසි පදමට ලැබෙන්නේ නොමිලේමය. ඔවුන්ට බන්ධනාගාරය තුළ ද මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීමට ද අවස්‌ථාව ඇත්තේය. විශේෂයෙන්ම සඳහන් කරන්නේ නම් බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීම පාතාල බලපරාක්‍රමය විදහාපාන ඒකාධිකාරීත්වයේ සංකේතයකි. මත්ද්‍රව්‍ය පමණක්‌ නොව ලිංගික අවශ්‍යතා ද ඌණපූරණය කරගැනීමේ මහඟු අවස්‌ථාවට ද ඔවුන්ට වරම් ඇත. බන්ධනාගාරයේදී ඔවුන්ට ඕනෑම කාන්තාවකගේ පහස ලබාගත හැකිය. බන්ධනාගාරයේ රැඳවියන්ට කාන්තාවන් නිතර ඇස නොගැටෙන නිසා ඔවුන් සමලිංගිකත්වයට හුරුවෙයි.

ගෝඩ් ෆාදර් කෙනෙක්‌ට, බූතයෙක්‌ට තමා කැමති කොල්ලෙකු ලබාගැනීම එතරම් අපහසු දෙයක්‌ නොවේ. පවතින තත්ත්වයන් යටතේ සාමාන්‍යයෙන් ලැබෙන වරදාන හා වරප්‍රසාද නිසා මෙවැන්නකුගේ සහකරු වීමට කැමති වෙයි. එහෙත් ඊට කැමති වුවද අකමැති වුවද ගෝඩ් ෆාදර් කෙනෙක්‌ගේ හිත ඇදුන කොල්ලෙකුට ඔහු වෙත යනවා මිසක වෙන කරන්නට දෙයක්‌ නැත. බන්ධනාගාරය යනු වනාන්තරයකි. එක්‌කෝ දඩයක්‌කරු විය යුතුය. නැතිනම් දඩයම විය යුතුය.

“මේ ඩීල් එකේ කොන්දේසි තුනයි… එක ගාන. දෙක යන එකාගෙ පවුල බලාගන්න එක. තුන තමයි පොරව ඉක්‌මනට එළියට ගන්නව කියන ගැරන්ට්‌ එක.”

කැලෑ දණ්‌ඩ නීති සංග්‍රහයේ වත්, කැලෑ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ වත් නොලියවුණු නීතිවල ගණන් හිලව් නැත. සාමාන්‍යයෙන් රුපියල් විසිපන්දාහෙන් ඉහළට මෙම ගණන් මිමි ඉහළ යයි. මුදල තීරණය වෙන්නේ කරපු අපරාධයේ බරපතළකම, දඬුවම් විඳින කාලය, ආදී කරුණු මතය.

ජීවිතාන්තය තෙක්‌ හිර දඬුවම් හෝ මරණ දඬුවම්ය. ස්‌ත්‍රී දූෂණ හා ළමා හිංසනය, අපචාර හා අපයෝජන නඩුවල දණ්‌ඩ නීති සංග්‍රහයේ දඬුවම් ප්‍රබල වුවද නොවූවද බන්ධනාගාරය තුළදී සිරකරුවන් ලබාදෙන දඬුවම් සුළුපටු නැත. විශේෂයෙන්ම ළමා දූෂණ ළමා අපචාර වැනි වැරැදිවලට දිවෙන් වැසිකිළි පිරිසිදු කරවීම, වැසිකිළි වළේ මුහුණ එබ්බවීම මෙන්ම ලිංගික අපයෝජකයන්ට ලිංගික අඩන්තේට්‌ටම්, දූෂණ කිරීම, කායික දඬුවම් දීම වැනි ක්‍රියාකාරකම් ද බන්ධනාගාර තුළ සිදුවෙයි. හොරකම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම් වැනි දේට ඇති දඬුවම සාපේක්‍ෂය. මෙවැනි කාරණා මත බූතයන්ට කෙරෙන ගෙවීම්වල මිල වෙනස්‌ වෙයි. ලියාපදිංචි බූතයන්ට නම් පෙර කී ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ නැත. ඒත් ඔවුන්ට වෙනත් ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේය. ඒ සාමාන්‍යයෙන් ලියාපදිංචි බූතයන් ඇතුළට යන්නේ එක්‌ පාර්ශවයක්‌ වෙනුවෙනි. ඇතුළේ දී විරුද්ධ පාර්ශවයේ ගණන්කාරයන්ගෙන් එල්ලවන ප්‍රශ්න පත්තරේකට මුහුණ දීමට මේ බූතයන්ට සිදුවෙයි.

සාමාන්‍ය සම්ප්‍රදාය යටතේ හිරේ යන කෙනාගේ පවුලේ නඩත්තුව අයිති මහ කෙරුමාටය. ඇත්තෙන්ම තමා හම්බකර පවුල නඩත්තු කරනවාට වඩා හොඳින් තම සම්පත්දායකයා නඩත්තු කරන බව බූතයා දනී. බොහෝමයක්‌ මාස්‌ටර්ලා පවුල පමණක්‌ නොව පවුලව ද බලාගනියි. ඒවා නම් පාතාල ලෝකයේ සාමාන්‍ය සිද්ධීන්ය.

තුන්වැනි කාරණාව වූ “ඉක්‌මනට එළියට ගැනීම” තම තම නැණ පමණින් සිදු වන දෙයකි. එය ගෝඩ් ෆාදර්ගේ හැකියාව මත රඳා පවතියි. නිදහස්‌ දින, වෙසක්‌ පෝය, අලුත් අවුරුද්ද, නත්තල වැනි දිනයන් දේශපාලන ඇම්බැට්‌ට බූතයන්ට පහන්තරු බඳුය. ඇත්ත ඇති සැටියෙන්ම කියනවානම් ස්‌ත්‍රී දූෂණ නඩුවක වැරැදිකරුවා අවුරුදු දෙකෙන් තුනෙන් එළියේය. තිත්ත ඇත්ත නම් මත්ද්‍රව්‍ය නඩුවල අත්වන ඉරණමද එයමය.

“මචං මේ ජොබ් එක ඩුවෙල් සිම් චයිනීස්‌ ෙෆාaන් එකක්‌ වගේ. නෝ ගැරන්ට්‌ නෝ වොරොන්ට්‌. ඇත්තටම ලොකු රිස්‌ක්‌ එකක්‌ තියෙනව. ඇතුළෙ ගහගැනිලිත් තියෙනවනෙ. බුවාගෙ ලොක්‌ක එළ පොරක්‌ නම් ඉතින් නතිං. සාමාන්‍යයෙන් ලියාපදිංචි බුවොන්ව පොලිසියත් දන්නව. ඡේලර්ලත් දන්නව. ඇතුලෙ ඉන්න අනිත් බුවොත් දන්නව. ඒක නිසා ගැස්‌සෙනව අඩුයි.”

ගහට ගහක්‌ මොරටුවේදී හම්බවෙනවා යෑයි කතාවක්‌ ඇත. බන්ධනාගාරය තුළ ද එය එසේමය. බන්ධනාගාරය තුළ අපරාධකාරයන් තවත් අපරාධකාරයන් හමුවන්නේය. මිතුරු සබඳතා ඇතිකරගෙන නිදහස්‌ වූ පසු තම ජාලය තව තවත් ශක්‌තිමත් කර ගන්නේය. අපරාධවල සංවිධානාත්මක බව ශක්‌තිමත් කර ගන්නේය. ඇත්තෙන්ම බන්ධනාගාර යනු අපරාධකාරයන්ගේ විශ්වවිද්‍යාලයයි. බූතයන්ටත් එය එසේමය. ලංකාව චිකාගෝවක්‌ කළ පාතාල ලෝකේ ගෝඩ් ෆාදර්ලාගේ මාස්‌ටර් ප්ලෑන් සියල්ලම පාහේ සැලසුම් කළේ බන්ධනාගාර තුළදීය. පස්‌සේ තත්ත්වය කුරුවාල් වුවද සමයං හා හර්ෂ යසස්‌ මුණගැහෙන්නේ හිරේදීය. මාකදුරෙ මදූෂ්ගේ කොන්ත්‍රාත්තුවකට කොමාන්ඩෝ නිශ්ශංකත් එක්‌ක එකතු වී දක්‌ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය ඝාතනය කළ වරදට හර්ෂ යසස්‌ බන්ධනාගාරගත වී සිටියේය. කඩුවෙල පාතාලයේ බලයට පොර ඇල්ලූ “සරා” සමයංගේ ගෝලයකු වූ “චාමරව මරා දැමුවේ සමයං හිරේ සිටියදීය. හර්ෂ යසස්‌ සරාව මරා දැමුව ද සමයං ඔහුට පොරොන්දු වූ මුදල නොගෙවූ නිසා ඔවුන් අතර ගැටුම් ඇති විය. ඊට පළිගැනීමක්‌ ලෙස හර්ෂ යසස්‌ සමයංව මරා දැමීමට පළමුව වෙර දැරුවේ උසාවියට ගෙනයැමේදීය.

උසාවි, බන්ධනාගාර හුටපට තුළ එහි ජීවිත ආරක්‌ෂාවත්, ජීවිත තර්ජනයත් පිරී පවතියි. සිරකරුවෝද මනුෂ්‍යයෝය. එවිට මනුෂ්‍යයෝ යනු කවරහුද?

– මධුෂාණි කොඩිතුවක්‌කු

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.