තරුණයකු සතු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා නවීන පන්නයේ මෝටර් රථයක් ලබා ගැනීම සඳහා එම තරුණයාට ක්‍රිකට් පිත්තකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තිදෙනෙක් 11දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ බණ්ඩාරවත්ත සීදුව පදිංචි මාරසිංහ මුදියන්සේලාගේ උපේන්ද්‍ර, මාකවිට, ජා – ඇළ පදිංචි පෙරමුණ ගමගේ ‍ටිරාන් ජයරත්න, ජයමාවත, ගුරුගේවත්ත, කොටුගොඩ පදිංචි ගිහිරිවල්ගමගේ අල්ෂාන් යන තිදෙනාය.

ඝාතනයට ලක්ව තිබෙන්නේ කොටුගොඩ සීදුව පදිංචි වීරවර්ණ කුලසූරිය බූසාබදුගේ දිලාන් නිරංජය (24) නමැති තරුණයෙකි.

විසිතුරු මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන මියගිය පුද්ගලයා සතුව නවීන පන්නයේ කාර් රථයක් තිබී ඇත.

මවුපියන්ගෙන් වෙන්ව කොටුගොඩ සීදුව ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන ඔහු තනිව ජීවත් වී ඇත.

පොලිසිය අනාවරණය කර ගෙන ඇති තොරතුරුවලට අනුව සීදුව, කොටුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මාෂෝ නමින් ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සමඟ මියගිය තරුණයා මිත්‍රකම් පවත්වා ඇත.

සංගීත කණ්ඩායමේ නායකයා ඝාතනයට ලක්ව ඇති තරුණයාගෙන් අතමාරුවට ණය මුදලක් ඉල්ලා ඇති බවත් මුදල් නැතැයි මියගිය තරුණයා සංගීත කණ්ඩායමේ නායකයාට කියා ඇති බවත් කණ්ඩායමේ නායකයා පසුව තවත් තිදෙනෙක් සමඟ මොහු ඝාතනය කර ඔහු සතු වාහනය ලබාගෙන එය අලෙවි කර මුදල් අවශ්‍යතාව පිරිමසා ගැනීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ක්‍රිකට් පිත්තක් සහ වයරයක් රැගෙන විත් මෙම මරණය සිදු කිරීම සඳහා පෙර පුහුණුවක් ද සිදු කොට ඇති බවත් අනාවරණය වී තිබේ.

මියගිය තරුණයා සහ ඝාතනය සිදු කළ බව කියන පිරිස එකට කා බී ප්‍රීති වන අය බවත් මියගිය තැනැත්තා ඉකුත් මස 24දා රාත්‍රි 9ට පමණ ඔහු නතරව සිටින කාමරයට පැමිණි විට කලින් සැලසුම් කර ගෙන සිටි පරිදි ක්‍රිකට් පිත්තකින් පහර දී පසුව දෙදෙනෙක් වයරය මඟින් ගෙල හිර කර මෙම ඝාතනය කර ඇති බවත් පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ සිරුර ඔහුගේම වාහනයට දමා ගෙන සිරුරට ගල් දෙකක් බැඳ එදින රාත්‍රියේම ජා – ඇළ දඬුගංඔයට දමා ඇතැයි සීදුව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය.

මියගිය අයගේ ඥාතීන් සීදුව පොලිසියට තම පුත්‍රයා අතුරුදන්ව ඇතැයි කළ පැමිණිල්ලකට අනුව මියගිය අය නවාතැන් ගෙන සිටි කාමරයේ ‍දොර කඩා පරීක්ෂා කරන විට සිද්ධිය සම්බන්ධ මූලික කරුණු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය දිනවල සිදුවූ වර්ෂාවත් සමඟම දඬුඟං ඔයේ වතුර පහරට හසු වී මෙම මෘත දේහය මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයට ගසාගෙන විත් තිබියදී මීගමුව පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

ඝාතනය කිරීමට පහර දුන් බව කියන ක්‍රිකට් පිත්ත, ගෙල සිර කිරීමට සහ දේහය ඔයට දැමීමට භාවිත කළ වයරය, යතුරුපැදියක්, ජංගම දුරකථනයක්, හිස කෙස් කීපයක් සහ කාර් රථය මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන ඇත.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.