කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහතාගේ අත්දැකීම් ඇසුරෙන් මෙම ලිපිය සකස්‌ කෙරිණි.

සරත් විසි හතර හැවිරිදි වියේ පසුවූ ගැටවරයෙකි. ඔහු තම දෙමාපියන් සමඟ අකුරැස්‌ස ප්‍රදේශයට නුදුරින් පිහිටි ගම්මානයක පදිංචිව සිටියේය. සරත් තේ කර්මාන්ත ශාලාවක දවසේ පඩියට රැකියාව කළේය. මහලු වියේ පසු වූ දෙමව්පියන් දෙදෙනා ජීවත් කිරීම සඳහා සරත් දැඩි අරගලයක නිරතව සිටියේය. තේ කර්මාන්ත ශලාවෙන් ඔහුට ලැබූ සොච්චම් වැටුප ඒ සඳහා කිසිසෙත් ප්‍රමාණවත් නොවීය.

සරත් එතරම් අධ්‍යාපනයක්‌ ලබා තිබුණේ ද නැත. මෝඩපහේ තරුණයකු වූ සරත් බුලත් විඩ සැපීමටද පුරුදුව සිටියේය. ඉඳහිට දුම්පානය කළේය. එක්‌ දිනක රාත්‍රියේ සරත් මළ ගෙදරක යන බව දෙමව්පියන්ට පවසා පිටත්ව ගියේය. සරත් එනතෙක්‌ ඔහුගේ දෙමව්පියන් බලා සිටියද සරත් යළි නිවසට නොපැමිණියේය. මේ නිසා මහලු වියේ පසුවූ සරත්ගේ දෙමව්පියන් තම පුතු ගැන සොයන්නට වූහ. සරත් ඇසුරු කළ මිතුරන්ගෙන්ද ඔහු ගැන සොයා බැලීය. එහෙත් සරත් ගැන කිසිදු තොරතුරක්‌ නොවීය. දින කිහිපයක්‌ ගතවුවද සරත් යළි නිවසට නොපැමිණි නිසා සරත්ගේ පියා පොලිසියට ගොස්‌ තම පුතුගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක්‌ද කළේය. සරත්ගේ මව ශාස්‌ත්‍රකරුවකු හමුවී ශාස්‌ත්‍රයක්‌ ඇසුවේය.

බය වෙන්න කාරියක්‌ නැහැ. පුතා ජීවතුන් අතර ඉන්නවා. පුතා කවුරුහරි සිරකරගෙන තමයි ඉන්නේ. ටික දිනකින් පුතා නිවසට පැමිණේවි. ශාස්‌ත්‍රකරු එසේ කීවේය. ශාස්‌ත්‍රකරු කී දේ සරත්ගේ දෙමව්පියන්ද විශ්වාස කළේය. මාස කිහිපයක්‌ ගතවුවද සරත් යළි නිවසට පැමිණියේ නැත. පොලිසිය ද සරත්ගේ අතුරුදන්වීම ගැන පරීක්‌ෂණ ආරම්භකොට තිබුණේය. මේ අතරතුරේ තරුණයකුගේ මළ සිරුරක්‌ තේ වත්තක වළදමා ඇති බවට පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමක්‌ ලැබී තිබුණි. පොලිසියද අදාළ ස්‌ථානයට පැමිණ පරීක්‌ෂණ ආරම්භ කළේය. මෙවැනි මළ සිරුරක්‌ ගොඩගැනීම කළ යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඇති විධිවිධානයන්ට අනුවය. මේ සඳහා පළාතේ මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගයක්‌ ලබාගත යුතුය. මළ සිරුරක්‌ ගොඩගැනීම කළ යුත්තේ අධිකරණ වෛද්‍යවරයකුගේ අධීක්‌ෂණය යටතේය. මක්‌ නිසාදයත් මළ සිරුරක්‌ ගොඩගැනීමේ දී භාවිතයට ගන්නා උදළු, අලවංගු ආදිය නුපුහුණු කම්කරුවන් විසින් අපරික්‌ෂාකාරී ලෙස භාවිතා කළහොත් මළ සිරුරට හානිවිය හැක. මේ නිසා ඇතැම්විට මළ සිරුරේ අස්‌ථි කැඩීම් බිඳීම් වලටද ලක්‌විය හැක. එසේ වුවහොත් එම බිඳීම් මරණයට පෙර හෝ මරණයෙන් පසුව සිදුවූ ඒවාදැයි වෙන්කර ගැනීම අසීරුවේ.

මෙකී මළ සිරුර ගොඩගැනීම සිදුවූයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී යූ. සී. පී. පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේය. සාමාන්‍යයෙන් මළ සිරුරක්‌ ගොඩගැනීම කළ යුත්තේ ඉතා සූක්‍ෂම ආකාරයෙනි. මෙහිදී පුරාවිද්‍යා කැණීම් කටයුතුවලදී අනුගමනය කරනු ලබන සූක්‍ෂම පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. එවැනි ක්‍රම අනුගමනය කළ හැක්‌කේ කැණීම් කටයුතු කිරීම සඳහා දැනුම හා පළපුරුද්ද ඇති විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකුට පමණි.

ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ මළ සිරුර ගොඩගැනුණි. හඳුනා ගැනීමට නොහැකි තරමට මළ සිරුර නරක්‌වී තිබුණි. කුණුවීම නිසා සිරුරේ සෑම ස්‌ථානයකම අපිචර්මය ගැලවී තිබුණේය. දැඩිලෙස දුර්වර්ණ වූ කමිසයක්‌ හා කොට කලිසමක්‌ මියගිය තරුණයා ඇඳ සිට තිබෙනු දැකගත හැකිවිය. මෙම මරණය සරත්ගේ බවට පොලිසියද සැක කළේය. මළ සිරුර පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන එනු ලැබීය. මළ සිරුර හොඳින් සෝදා පිරිසිදු කරනු ලැබීය. මළ සිරුරේ තිබූ ඇඳුම්ද සෝදා පිරිසිදු කරනු ලැබීය. අලු පැහැති වරණයෙන් යුත් කමිසයේ පිටුපස ඉරුම් සලකුණක්‌ තිබෙනු අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්‌විය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මළ සිරුර බාහිරව පරීක්‌ෂා කළේය. මළ සිරුරේ පිට ප්‍රදේශයේ වම් පසට වන්නට ඇණුම් තුවාලයක්‌ දක්‌නට ලැබුණි. එය අධිකරණ වෛද්‍යවරයාගේ දැඩි නිරීක්‍ෂණයට ලක්‌විය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් කමිසයේ ඉරුම් සලකුණත් මළ සිරුරේ පිට ප්‍රදේශයේ තිබූ ඇණුම් තුවාලයත් සංසන්දනය කළේය.

එය එකිනෙකට ගැලපුණි. එහෙත් එම ඇණුම් තුවාලය මාරාන්තික තුවාලයක්‌ නොවීය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය තරුණයාගේ හිස්‌කබල පරීක්‌ෂා කළේය. හිස්‌කබල දැඩිලෙස භග්න වී තිබුණි (කැඩීබිඳී) මොලයට දැඩි ලෙස තුවාල වී තිබුණි. මොලයට මේ අයුරින් තුවාල වීමට ඉඩ ඇත්තේ උස්‌ තැනකින් වැටී හිස්‌කබලට තුවාල වීමෙනි. නැතහොත් මොට ආයුධයකින් පහරදීමෙන් නිසා බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

හිස්‌කබලේ තිබූ තුවාල හා හිස්‌කබල භග්නය වී ඇති ආකාරය අනුව මෙම තරුණයාගේ මරණය වී ඇත්තේ මොහුගේ පිටුපසින් සිට හිසේ පැත්තට මොට ආයුධයකින් පහරදීමෙන් බවට අධිකරණ වෛද්‍යවරයාගේ මතය විය. තදබල පහරක්‌ හිසට ගැසීමෙන් මොලයට දැඩිලෙස හානි වන්නේය. එමෙන්ම මියගිය තරුණයා සරත්මද කියා හඳුනාගත යුතුය. මක්‌නිසාදයත් මිනීමැරුම් නඩුවකදී මියගිය තැනැත්තා හඳුනාගත් බව සාධාරණ සැකයකින් තොරව අධිකරණයේ දී ඔප්පු කළ යුතුය. මියගිය තැනැත්තාට සාධාරණය ඉටුවන්නේ එසේ වුවහොත් පමණි. සරත්ගේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරාවිත් තිබුණේය. යටිහකුවේ තිබූ දත්වල බුලත් කහටද දක්‌නට විය. දැඩි ලෙස නරක්‌වූ හා දැඩි ලෙස පිළිස්‌සී ගිය මළ සිරුරුවල අනන්‍යතාව තහවුරුකර ගැනීම සඳහා දත් ඉතා වැදගත් වන්නේය.

උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් සමපාත නොවන අවස්‌ථා තියෙනවා. දත්වල පිහිටීම වෙනස්‌ වෙන්න පුළුවන්. සමහරක්‌ අයගේ දත්වල විශේෂිත ලක්‌ෂණ තියෙන්න පුළුවන්. කෘතිම දත් දමනවා. දත් පිරවීමට යොදාගන්නා රසායන ද්‍රව්‍ය ඒවායේ සංකේත විකෘති වූ දත් පරීක්‌ෂාව ආදාළ තොරතුරුවලින් මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් යෑයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. සී. පී. පෙරේරා මහතා කීවේය. තම පුතුගේ උඩු ඇන්දේ දත් ඉදිරියට නේරාවිත් තිබූ බව සරත්ගේ මව අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ ප්‍රකාශ කළේය. සරත් බුලත් විඩ සපන අයෙකු බව මෙම ලිපියේ මුලදී අපි සඳහන් කළෙමු. සරත්ගේ යටි හනුවේ තිබූ දත්වල බුලත් කහටද දක්‌නට විය.

සරත්ගේ මව ප්‍රකාශ කළ තොරතුරු මෙන්ම පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී අනාවරණය වූ තොරතුරු අනුව මළ සිරුර සරත්ගේ බවට හඳුනා ගැණුනි. අධිකරණ වෛද්‍යවරය එය අධිකරණය වෙත වාර්තා කළේය. අධික ලෙස කුණුවී ගිය මළ සිරුරක්‌ හඳුනා ගැනීම සඳහා දන්තිය දත්ත උපකාරී වන බව මේ තුළින් මනාව පැහැදිලි වන්නේය. සරත්ගේ ඉදිරියට නෙරාවිත් තිබූ උඩු ඇන්දේ දත් නිසා ඔහුගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමට හැකිවිය.

සරත්ගේ අබිරහස්‌ ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.
සරත් තමන් සමග තේ කම්හලේ වැඩකළ තරුණියක්‌ සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගියේය. අනේ සරත් ඔය බුලත් විට කෑම නතර කරන්න ඔයාට තේ කම්හලේ අය කියන්නේ බුලත් හපයා කියලා. මටත් විහිළු කරනවා. සරත්ගේ ප්‍රේමවන්තිය කීවාය. එහෙත් සරත් බුලත්විට සැපීම නතර කළේ නැත. මේ අතරේ සරත්ගේ ප්‍රේමවන්තියට ඔහුගේ මිතුරෙකුද සම්බන්ධතාවක්‌ ඇතිකර ගෙන තිබුණි. මේ ගැන සරත්ට ද ටික දිනකින් දැනගන්නට ලැබුණි. සරත් මේ ගැන තම පෙම්වතියගෙන්ද ඇසුවේය. ඔයාට පිස්‌සුද මම හදවතින්ම ආදරය කරන්නේ ඔයාට විතරයි පෙම්වතිය කීවාය. සරත් පෙම්වතියගේ කීම විශ්වාස කළේය. සරත් මළගෙදර ගියේ මිතුරන් පස්‌ දෙනෙකු සමගිනි. මළ ගෙදර සිට සරත් මිතුරන් සමඟ යළි නිවස බලා පිටත් වූහ. ඒ වන විට වෙලාව රාත්‍රි දොළහද පසුවී තිබුණි. සරත් ඇතුළු මිතුරන් මත්පැන් පානය කොට තිබුණි. සරත්ගේ පෙම්හුටපටය මළ ගෙදරදී ඇදී ආවේය.

මළගෙදර ගොස්‌ එන අතරතුරේ සරත්ගේ මිතුරන් ඔහු ඒ අසල තිබූ තේ වත්තකට රැගෙන ගියේය. උල් ඉන්නක්‌ අතට දී සරත්ටම කියා තේ වත්තේ වළක්‌ කැපීය. ඉන්පසු මිතුරක්‌ විසින් උල් ඉන්නේ මොට පැත්තෙන් සරත්ගේ හිසට පහරවල් කිහිපයක්‌ ගැසුවේය. ඉන්පසු ඔහු වළ තුළට ඇද දැමුවේය. තවත් අයකු විසින් සරත්ගේ පිට ප්‍රදේශයට පිහියකින් අනිනු ලැබීය.

– ලලිත් චාමින්ද

Loading...