තමන් හැඳ සිටින රෙදි ගැළවී ගියද කිසිදු ලැඡ්ජාවක්‌, බියක්‌, සැකක්‌ නොමැතිව සමාජයේ හැසිරෙන්නට උපන් හපන්කම් දක්‌වන එකෙකු වෙතොත් ඒ දේශපාලනඥයන්ය. මේ වන විට ඒ නොපනත්කම උන්ගේ පවුලේ උදවියට බෝවී ඇති වගක්‌ පෙනෙන්නට තිබේ. වරක්‌ දෙවරක්‌ නොව කිහිප වරක්‌ම එකම ආකාරයේ තුප්පහිකම් සිදුකර තවත් වතාවක්‌ එවැනිම වරදක්‌ කළ නසරාණියන් දඬුකඳේ නොගසා නිදැල්ලේ හිඳින්නට ඉඩ හැරි වගකිවයුත්තන්ම මෙහි වගකීම ගත යුතුය.

අප මේ කියන කතාව පෙළ ගැසෙන්නේ පාලිත රංගේ බණ්‌ඩාර නම් රාජ්‍ය ඇමැතිවරයාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්‌ඩාර මූලික කරගනිමිනි. දැනටමත් කවුරුත් දන්නා ඒ කතාව සංක්‍ෂිප්තව මෙසේය.

පසුගිය 06 වැනිදා යශෝධ රංගේ බණ්‌ඩාර නම් නාඹර දඟකාර ඇමැති පුතා පුත්තලමේ කරුකුපනේ පිහිටි “අනන්තය” නම් හෝටලයෙහි සාදයකට සහභාගි වී තිබේ. වාර්තා වන හැටියට යශෝධට රාත්‍රී සාද යනු එතරම්ම නුහුරු නුපුරුදු දේවල් නොවේ. පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් සමඟ එකතුව අලුයම වන තුරුත් මධු සාදයට සහභාගි වී සිටි යශෝධට නිවසට යැමට වුවමනා විය. හෙතෙම තමන් පැමිණි කැබ් රථයට ගොඩවිය. මෙම කැබ් රථය “යශෝධ” දුක්‌ මහන්සියෙන් සපයාගත්, මුදලින් මිලදීගත් කැබ් රථයක්‌ නොව ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන, ජල කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කැබ් රථයකි. මධු සාදයකට සහභාගි වූ පසු රියෑදුරු අසුනට නඟින්නේ පියවි සිහියෙන් යුතු පුද්ගලයකු නොවේ. එහෙත් ඇමැති පුත්‍රයාට එහි වගක්‌ නැත.

(බොහෝ දේශපාලනඥයන්ගේ පවුලේ උදවියට පමණක්‌ නොව සමීපතමයන්ට, රියෑදුරන්ට, සේවක සේවිකාවන්ට, ආධාරකරුවන්ට පවා එවැනි උණක්‌ තිබේ.) පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත්, ඇමැති පුත්‍රයාත් කරුකුපනේ සිට කෝට්‌ටපිටිය පාරෙන් පැමිණ පුත්තලම – කොළඹ මාර්ගයට පිවිසීමට පැමිණෙද්දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව වාහනය පාරෙන් ඉවතට පැන්නේය. එසේ ඉවතට පිනූ රථය නතර වූයේ අසල තිබූ නිවසක්‌ සුන්බුන් ගොඩක්‌ බවට පරිවර්තනය කරමිනි. නිවසෙහි සිටි කිසිවකුටත් හානියක්‌ සිදු නොවුණේ වාසනාවකටය. එම නිවසෙහි හිමිකරු වන චාමර ළහිරු අමරදිවාකර රාජ්‍ය ඇමැතිවරයාගේ පුත්‍රයා වන යශෝධ කවරෙක්‌දැයි හඳුනාගෙන තිබේ. නවීන වර්ගයේ කැබ් රථයක්‌ වන එහි වායු බැලූන් සියල්ල විවෘතව තිබූ නිසා එහි ගමන් ගත් පුද්ගලයන්ට සිදුව ඇති අනතුරු අවම වී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි. අනතුරෙන් පසු කැබ් රථයේ ගමන් ගත් දෙදෙනා ඊට පිටුපසින් පැමිණි තවත් වාහනයක නංවාගෙන ගොස්‌ ඇති බවද වාර්තා වේ. කෙසේ හෝ පසුගිය 08 වැනිදා අලුයම ඇමැති පුත්‍රයා අත්අඩංගුවට ගත් බව වාර්තා විය. එහෙත් මෙය සාමාන්‍ය අනතුරක්‌ ලෙස බැහැර කළ නොහැකි කරුණු කාරණා කිහිපයක්‌ම මේ සිදුවීම පිටුපස තිබේ. අපට වැදගත් වන්නේ එම කාරණාය.

මුලින් කීවාක්‌ මෙන් එම කැබ් රථය වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයට අයත් එකක්‌ බව සඳහන් ලියකියවිලි සේම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයාට අයත් බව කියන ලියකියවිලි කිහිපයක්‌ද එම කැබ් රථයේ තිබී ඇත.

රාජ්‍ය ඇමැතිවරයෙකුට තමන්ගේ පුතාට අමාත්‍යාංශ වාහනයක්‌ දෙන්න බැරිනම් ඒ ඇමැතිකමෙන් ඇති වැඩේ මොකක්‌ දැයි මේ නිර්ලඡ්ජිත දේශපාලන ක්‍රමය අනුමත කරන කෙනෙකුට කියන්නට හැකිය. එහෙත් මෙතැන සිදුව ඇත්තේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමකි. රාජ්‍ය දේපළ සම්පත් අවභාවිත කළා යෑයි පසුගිය ආණ්‌ඩුවේ පුතාලාට අම්මා මෝ නැතිව දොස්‌ පවරන යහපාලන ආණ්‌ඩුවක මෙවැනි දැ සිදුවීම ලැඡ්ජා සහගතය. කැබ් රථයේ මත්පැන් බෝතලයක්‌, සෝඩා බෝතලයක්‌, බයිට්‌ වර්ග කිහිපයක්‌, මත්පැන් පානය සඳහා අවශ්‍ය කරන කෝප්ප කිහිපයක්‌ද තිබී ඇත. වැදගත්ම කාරණය එය නොවේ. වාහනයේ තිබී කඩුවක්‌ හා විකට්‌ කූරක්‌ සොයා ගැනීමය. ඇමැතිවරයකුගේ ආරක්‌ෂාවට සිටින අයෙකුට පිස්‌තෝලයක්‌ නිකුත් කිරීම පිළිගත හැකි කරුණකි. එවැනි ආරක්‌ෂකයකු හෝ පිරිසක්‌ තමන්ගේ දුවා දරුවන්ගේ ආරක්‌ෂාව පිණිස යෙදවීමද වර්තමාන දේශපාලනයේ සුලබව දකින්නට ලැබේ. ඇමැති පුත්තු පිස්‌තෝල ගෙන ඩෙඟා නැටීමද එපමණකටම රටේ ජනතාවට හුරුපුරුදුය. ප්‍රශ්නය වන්නේ ප්‍රභූ ආරක්‍ෂකයන්ට දැන් පිස්‌තෝල වෙනුවට “කඩු” ලබා දෙනවාද යන්නය. කඩු, පොලු රැගෙන යන්නේ පාතාලයන්ය.

නොඑසේ නම් “හදිසි චණ්‌ඩිකම්” වලට සූදානමින් සිටින්නන්ය. රාජ්‍ය ඇමැති රංගේ බණ්‌ඩාරගේ පුත්‍රයා එසේ යෑයි කියන්නට අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් ඒ පුත්‍රයාගේ “පෙර වැරැදි” ද තරමක්‌ බරපතළය. සමහර වැරැදි ඇමැති පුතා පුරුද්දට මෙන් කරනවා වැනිය. යශෝධ රංගේ බණ්‌ඩාර ඇමැති පුත්‍රයා හා හා පුරා කියා සිදුකළ අනතුර සිදු වන්නේ 2016 වර්ෂයේදීය. සිදුකළ එම අනතුරින් පුද්ගලයකු මියගොස්‌ තිබේ. ඒ නඩුව තවමත් අසන්නේය. 2017 අප්‍රේල් මාසයේ දී මේ “පුතා” ආණමඩුවේදීම හතරදෙනකුගෙන් යුත් පවුලක්‌ම සිය වාහනයට හැප්පුවේය. අනතුරට පත් වාහනයේ ගැබිනියකද සිටියාය. දෙදෙනෙක්‌ කුඩා දරුවෝය. මේ පවුලම තවමත් සිය තුවාල සමඟ ජීවත් වන්නේය.

ඒ අතරවාරයේම ඇමැති පුතා තවත් අනතුරක්‌ සිදු කරන්නේය. දැන් අපට තිබෙන ප්‍රශ්නය තෙවතාවක්‌ම මේ ආකාරයෙන් අනතුරු සිදු කරන්නට ඇමැති පුතෙකුට හයිය ලැබෙන්නේ කොහොමද කියන එකය. ඊට “දේශපාලන හයිය නොකියා” වෙන යෝජනා කරන්නට යමක්‌ තිබේ නම් පැහැදිලි කරන මෙන් රාජ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලීමක්‌ කරන්නෙමු. ඒත් රාජ්‍ය ඇමැතිවරයාට තමන්ගේ පුතා ගැන හරි හැටි සොයා බලන්නටවත් කාලයක්‌ නොමැති වීම ගැන පුදුම වන්නට දෙයක්‌ නැත. තමන්ගේ පක්‌ෂයේ නායකයා ගැන තිබෙන ප්‍රශ්නත්, කැබිනට්‌ ඇමැතිකමක්‌ නොමැති වීම ගැන තිබෙන ප්‍රශ්නත් ගත් විට පුතාගේ ප්‍රශ්නත් ක-ජක්‌ද?

ඇමැති පුත්තුන්ගේ මෙවැනි “ජඩ වැඩ”, “දඟ වැඩ” ඕනෑ තරම් අපි අසා ඇත්තෙමු. වරෙක පසුගිය ආණ්‌ඩුවේ ඇමැති පුතෙක්‌ කළ දඟ වැඩකදී ඇමැතිවරයා කීවේ “ඕවා මොනවද? Boys are Boys (කොල්ලෝ කියන්නේ කොල්ලෝ) යනුවෙනි. වර්තමානයේ මේ කතාව අදාළ වන්නේ දේශපාලන හයිය ඇති අයගේ “කොල්ලන්ට” පමණි. එවැනි කොල්ලන්ට, කෙල්ලන්ට හැකි තරම් පිස්‌සු නටන්නට හැකි ආකාරයට රටේ ක්‍රමය සකස්‌ වී තිබේ. සාමාන්‍ය පුද්ගලයකුගේ පුතෙකු අනතුරු තුනක්‌ නොව එකක්‌ කළහොත් රියෑදුරු බලපත්‍රය අවලංගු කර රජයට අලාභ ගෙවා, අදාළ පුද්ගලයන්ට වන්දි ගෙවා හිරෙත් ලගින්නට සිදු වේ. කවදාක හෝ යශෝධ රංගේ බණ්‌ඩාර ඇමැති පුතා පළාත් සභාවටත්, එතැනින් පාර්ලිමේන්තුවටත් පිවිසියහොත් ඒ ගැන පුදුම වන්නට අවශ්‍ය නැත. ඉන් කියෑවෙන්නේ දේශපාලනඥයන් සේම රටේ ජනතාවද රෙදි නැතුව පාරට බැසීමට තරම් මොළේ කොලොප්පම් කරගෙන සිටින බවය.

උදේශ සංජීව ගමගේ

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.