කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථීකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මියගේ අත්දැකීම් ඇසුරෙනි.

අපි ඔහුට කිරිමාමා යෑයි කියමු. කිරි මාමා හැට හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. ඔහු රජයේ රැකියාවක්‌ කොට විශ්‍රාම ලැබ සිටියේය. කිරිමාමාගේ දරුවන් ද විවාහ වි සිටියහ. මේ නිසා කිරිමාමා හා බිරිඳ නිවසේ තනිවුහ. මුහුදුකරය ආශ්‍රිත ගම්මානයක මෙම යුවළ පදිංචිව සිටියහ. කිරිමාමාට කිරීමට වැඩක්‌ පළක්‌ තිබුණේද නැත. මේ නිසා කිරිමාමා ගතකළේ හුදකලා දිවිපෙවතකි. කිරිමාමාගේ ඥාතියෙකුට අයත් වලව්වක්‌ තිබුණේය.

එම වලව්වේ පදිංචිව සිටියේ ගුරු යුවළක්‌ හා එම දෙපළගේ දරු දෙදෙනාය. අනේ කිරිමාමේ අපි දෙන්නා උදේ වැඩට ගිය පසු නිවස බලාගන්න කවුරුවත් නැහැ මේ කාලයේ හොර හතුරන් හැමතැනම කිරිමාමත් ඉතින් නිකන් ඉන්න එකේ දවල් කාලයේ ඇවිත් අපේ නිවස බලාගන්න පුළුවන් නේ. දැයි එක්‌ දිනක්‌ මෙම වලව්වේ ගුරු යුවළ කිරි මාමාගේ නිවසට පැමිණ ඔහුගෙන් ඉල්ලීමක්‌ කළේය. ගුරු යුවළගේ යෝජනාවට කිරිමාමාද කැමති වුයේය.

මෙකී වලව්ව පිහිටි ඉඩම වටා විශාල තාප්පයක්‌ ඉදිකොට තිබුණි. තම නිවසේ සිට උදෑසන මෙම වලව්වට පැමිණෙන කිරිමාමා ගුරු යුවළ යළි වලව්වට එනතෙක්‌ වලව්ව හා ඉඩම රැක බලාගත්තේය. ඒ වෙනුවෙන් කිරිමාමාට වැටුපක්‌ද ලැබුණි. හේ වැඩිවශයෙන් සිටියේ වලව්ව පිටුපස පිහිටි කුඩා මඩුවකය. කිරිමාමා සෑම දිනකම පාහේ උදෑසන ආහාරය ගත්තේද එම මඩුවේ සිටය. කිරිමාමා වෙනුවෙන් උදෑසන කෑම පිඟානක්‌ බෙදා එය මුළුතැන්ගෙයි තබා යාමට නිවැසියන් කටයුතු කරනු ලැබීය.

ගුරු යුවළ දරුවන් සමඟ යළි වලව්වට පැමිණෙන්නේ සවස්‌ කාලයේ දීය. ඔවුන් එනතෙක්‌ කිරිමාමා මෙකී වලව්ව හා ඉඩම හොඳින් රැකබලාගත්තේය. එක්‌ දිනක්‌ මෙම යුවළ දරුවන් සමඟ පස්‌වරුවේ වලව්වට එනවිට කිරිමාමා පෙනෙන්නට හිටියේ නැත. කිරි මාමේ, කිරි මාමේ කියා නිවැසියන් ඔහුට කථා කළද කිරිමාමාගෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොවීය. ඉන්පසු නිවැසියන් කිරිමාමා වැඩිවශයෙන් ගැවසෙන වලව්ව පිටුපස පිහිටි මඩුවට ගොස්‌ ඔහු ගැන විපරම්කොට බැලීය. කිරිමාමා මඩුව තුළ උඩුබැලි අතට වැටී සිටියේය.

ඔහුගේ මුහුණ රෙදි කඩකින් බැඳ දමා තිබුණේය. කිරිමාමා ඒ වනවිටත් මියගොස්‌ සිටියේය. මෙම සිද්ධියෙන් නිවැසියන්ද දැඩි කලබලයට පත්වූහ. කිරිමාමාගේ අභිරහස්‌ මරණය පිළිබඳ පොලිසියට දැන්වීමෙන් පසු කිරිමාමාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්‌ෂණ රෝහලට රැගෙන එනු ලැබිය. මියගිය පුද්ගලයාගේ අභිරහස්‌ මරණය පිළිබඳ පුවත ලැව්ගින්නක්‌ සේ පැතිරී යන්නටද වැඩි වේලාවක්‌ ගතවූයේ නැත.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වීමට පළමුව ස්‌ථානීය පරීක්‌ෂණය කිරීම සඳහා කිරිමාමා වැටී සිටි ස්‌ථානයට ගියාය. කිරිමාමා වැටි සිටි ස්‌ථානයේ උදුරා දමා තිබූ බෙහෙත් පෑළැටි කිහිපයක්‌ද දැකගත හැකිවිය. මෙකී බෙහෙත් පැළැටි ගැන පොලිස්‌ නිලධාරින්ගේ හා විශේෂඥ අධිකරණ වෛද්‍යවරියගේ දැඩි නිරීක්‌ෂණයට ලක්‌විය. ස්‌ථානීය පරීක්‌ෂණයෙන් පසු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණිය විසින් මෙකී පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදුකරණු ලැබුවාය. අධිකරණ වෛද්‍ය නිලධාරිණිය විසින් මියගිය පුද්ගලයාගේ සිරුර බාහිරව පරික්‌ෂා කරනු ලැබුවාය. ඔහුගේ සිරුරේ කිසිදු තුවාලයක්‌ දක්‌නට නොවීය.

මියගිය පුද්ගලයාගේ මුහුණ හා නාසය වැසි යන ලෙස බැඳ තිබූ රෙදි කඩ අධිකරණ වෛද්‍යවරයාගේ දැඩි නිරීක්‌ෂණයට ලක්‌වූවාය. මෙම පුද්ගලයාගේ මුඛයෙන් බේරී තිබූ කෙළ බිඳිති රෙදි කැබැල්ල පුරාම දක්‌නට ලැබුණි.

රෙදි පටියක්‌ අතුරින් හුස්‌ම ගැනීම අපහසු කාරියක්‌ නොවේ. එහෙත් මුඛයෙන් කෙළ බිඳිති පිටවී රෙදි කැබැල්ල මත වැටීමෙන් පසු වාතය ඒ තුලින් ගලා එන්නේ නැත. එවැනි අවස්‌ථාවකදී හුස්‌ම ගැනීම අපහසු වන අතර හුස්‌ම හිරවීමෙන් මිය යන්නේය. කිරිමාමාද හුස්‌ම හිරවීමෙන් මියගිය බවට මෙකී ලක්‌ෂණ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් පශ්චාත් මරණ පරීක්‌ෂණයේ දී අනාවරණය කරගත්තාය. හුස්‌ම හිරවීමෙන් පුද්ගලයකු මියගිය විට ඇස්‌ යට හා තල්ලේ පොඩි පොඩි ලේ කැටිති දැකගතහැකිය. ඒ විතරක්‌ නොව මොහුගේ ශ්වාසනාලය ඉදිමී තිබූ අතර ඇස්‌යට හා තොල් යට නිල්පාට වී තිබුණි. මෙම ලක්‌ෂණ අනුව මෙම පුද්ගලයා මියගොස්‌ තිබුණේ හුස්‌ම හිරවීමෙන් බවට කිසිදු සැකයකින් තොරව ඔප්පු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිනියට හැකිවූවාය. කිසිදු අයෙක්‌ තනිවම රෙදි කඩකින් තමන්ගේ මුහුණ බැඳ ගන්නේ නැත. ඒ විතරක්‌ නොව මෙම පුද්ගලයාගේ පාද පවා රෙදි කඩකින් ගැට ගසා තිබුණේය.

මුඛය හා නාසය ආවරණය වීම නිසා ඇතිවූ හුස්‌ම ගැනීමේ අපහසුතාවය නිසා තමයි, මරණය සිදුවෙලා තිබුණේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂා හැන්නදි මහත්මිය කියන්නීය.

ඒ අනුව මෙකී පුද්ගලයා මියගොස්‌ තිබුණේ කිසිවෙකු හෝ කණ්‌ඩායමක්‌ විසින් මෙකී පුද්ගලයාට හුස්‌ම ගැනීමට අපහසු වන අයුරින් මුඛය හා නාසය වැසීයන පරිදි රෙදි කැබැල්ලක්‌ ගැට ගැසීම නිසාය. ඒ විතරක්‌ නොව මරණයට හේතුව සොයා ගැනීම සඳහා මියගිය පුද්ගලයා වැටීසිටි ඉරියව්වද විශේෂඥ අධිකරණ වෛද්‍යවරියට දැඩිලෙස උපකාරි වුවාය.

අපරාධයක්‌ වසන් කරන්න බැහැ. සාක්‌ෂි ආයුධයක්‌, ඇඟිලි සටහනක්‌ නැති වුණත් පශ්චාත් මරණ පරීක්‌ෂණයේ දී අපරාධයක්‌ කරලා තියෙනවානම් ඔප්පු කරන්න පුළුවන්. වෛද්‍ය ස්‌ථානීය පරීක්‌ෂණය, සාක්‌ෂි සටහන්, මේ අපරාධයේ සුලමුල සොයාගැනීමට වැදගත් වුණා. ඒ විතරක්‌ නෙවෙයි, මියගිය පුද්ගලයා මරා දැමූ වේලාව සොයා ගැනීමටත් අවශ්‍ය වුණා. එදා මොහු තම නිවසින් තමයි, උදේ ආහාරය අරගෙන ඇවිත් තිබුණේ. මොහු උදෑසන ආහාර අරගෙන පැය හයකට පමණ පසු මරාදමා ඇති බව ආමාශය පරික්‌ෂා කිරීමෙන් තහවුරු වුණා යෑයිද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි මහත්මිය සඳහන් කළාය.

පශ්චාත් මරණ පරීක්‌ෂණයේ තීන්දුව අනුව මෙය මිනීමරුමක්‌ බවට තහවුරුවීම නිසා පොලිසිය විසින් ඝාතකයන් අල්ලා ගැනීම සඳහා පරීක්‌ෂණ කටයුතු කරනු ලැබීය. ඉක්‌බිති මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වෙන්නේ මේ ආකාරයෙනි.

කිරි මාමා වත්තේ ඇවිදිමින් සිටියදී එකවරම තරුණයන් දෙදෙනකු වත්තට ඇතුල්වූහ. “මාමේ අපි ආවේ බෙහෙත් පැළැටියක්‌ හොයා ගන්න” තරුණයින් දෙදෙනා කීහ. එක්‌ තරුණයකු බෙහෙත් පැළැටියක නමක්‌ කිවේය. “ආ මෙන්න මෙතන තියෙනවා ඒ බෙහෙත් පැළැටිය” කිරි මාමා එසේ කියා එම තරුණයින් දෙදෙනා එම ස්‌ථානයට කැඳවාගෙන ගියේය. ඔවුන් බෙහෙත් පැළෑටිය උදුරාගෙන යන්න සූදානම් වෙනවාත් සමඟ කිරිමාමාගේ මුහුණ කෑගැසීමට බැරිවන අයුරින් රෙදි කැබැල්ලකින් බදිනු ලැබීය. ඉන් පසු මොහුගේ දෙපාද රෙදි කඩකින් බැන්දේය. කිරි මාමා නිවසේ පිටුපස තිබූ මඩුවකට දමා තරුණයින් දෙදෙනා නිවසට ඇතුල්වී නිවසේ තිබු රන් භාණ්‌ඩ කොල්ලකාගෙන පලා ගියහ.

තරුණයන් දෙදෙනා දැඩිලෙස මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ය. මේ දෙදෙනා සොරකම් කරනු ලැබූ රන්භාණ්‌ඩ උගස්‌කොට ඇති පදමට මත්කුඩු පානය කළහ. සති ගණනාවක්‌ ගතවිය. පොලිසිය විසින් මේ පිළිබඳ පරීක්‌ෂණ අඛණ්‌ඩව කරගෙන ගියේය. වලව්ව අවට අයගෙන්ද තොරතුරු විමසමින් සාක්‌ෂි සටහන් කරගනු ලැබීය. කිරිමාමා මරා දැමූ දින උදෑසන තරුණයින් දෙදෙනකු කිරිමාමා සමඟ කථා බස්‌කරමින් සිටි බව අසල්වැසියකු මාර්ගයෙන් පොලිසිය දැන ගත්තේය. ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ තරුණයන් දෙදෙනා කොටුකරගැනීමට පොලිසියට හැකි විය.

ලලිත් චාමින්ද

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.