අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක වැඩි ඇයි හොඳයියක් නැත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී තිස්ස එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මහින්ද සමග එක්වීම නිසාය.

එහෙත් මේ වනවිට මහින්ද රාජපක්ෂ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවකට සම්බන්ධ වී නොමැති තිස්ස එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින්නේය.

මේ අතර තිස්සට නුගේගොඩ, නාලන්දාරාමයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට ආරාධනාවක් ලැබුණේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන්ගෙන්ය.

“මේ උත්සවයට අගමැතිතුමාත් එනවා” පාලිත හිමියන් කල් ඇතිවම තිස්සට දැනුම් දී තිබුණේය.

තිස්ස රනිල් එන උත්සවවලට ගොස් රනිල් හමුවීමට වැඩි කැමැත්තක් නොදක්වන නමුත් තිනියාවල පාලිත හිමියන් සමග ඇති සමීප සම්බන්ධය නිසාම තිස්ස එහි ගියේය.

ආරාධිත අමුත්තන්ට ආසන වෙන් කළ පළමු පේළියේම රනිල්ට හා තිස්සට ආසන වෙන් කර තිබුණි.

රනිල් සිටි තැනට ටිකක් ඈතට වන්නට ඔහුට ආසනයක් වෙන් කර තිබුණත් බුද්ධ පූජාව තැබිම සඳහා තිස්සටත් රනිල්ටත් ආරාධනා කළේ එකම විටය.

රනිල් බුද්ධ පූජාව පූජා කර හැරෙන විටම ඔහුගේ මුහුණට මුහුණ සිටියේ තිස්සය.

“හලෝ..කොහොමද තිස්ස” රනිල් ඇසුවේය.

“හොඳින් ඉන්නවා සර්” යැයි තිස්ස කීවා මිස වෙන කිසිවක් කියන්න ගියේ නැත.

එතැනින් තිස්ස ගියේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමටය.

එම විවාහ මංගල උත්සවයේදී තිස්සට එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු කිහිපදෙනෙක් හමුවිය.

එහිදී ඔහු රනිල්ගේ හමුවීම ගැන කීවේය.

“මොකද ලොක්කා කිව්වේ” මැති ඇමැතිවරු ඇසූහ

“හලෝ කිව්වා විතරයි. වෙන මුකුත් කතා කළේ නෑ. මම එක්ක විතරක් නෙමෙයි එතැන හිටපු කවුරු එක්කවත් කතා කළේ නෑ” තිස්ස සිනාසෙමින් කීවේය.

මේ අතර සිකුරාදා දහවල් තිස්ස තවත් මංගල උත්සවයකට සහභාගී වූ අතර එහිදී සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී පක්ෂය වෙනුවෙන් ගිනි තබාගෙන මිය ගිය රියෙන්සිගේ දරුවෙකු හමුවිය.

“අපිට නායකතුමා කිසිම දෙයක් කළේ නෑනේ” තිස්සට ඔහු පැවැසුවේ හැඩූ කඳුළින් යුතුවය.

Loading...