තවත් ප්‍රාදේශීය දේශපාලකයෙක්‌ පාතාලයේ වෙඩි උණ්‌ඩයට ගොදුරුව තිබේ. දෙහිවල-ගල්කිස්‌ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන්ද සිල්වා මහතා ඝාතනය වූයේ ඉකුත් මැයි 24 වැනිදා රාත්‍රියේය. ඒ මරණය සිදුවී සති දෙකක්‌ ඉක්‌ම යද්දී ඇල්පිටිය ඌරගස්‌මංහන්දිය ප්‍රදේශයේදී කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඝාතනයට ලක්‌විය. පාතාලයට කප්පම් නොදුන් සිද්ධියක්‌ නිසා උප සභාපතිවරයා ඝාතනය වී ඇතැයි පැවසේ.

දකුණේ පාතාලය යළිත් ක්‍රියාත්මකවී ඇත. කවරකු ආරක්‍ෂිතද? කවරකු අනාරක්‍ෂිතද යන්න කිව නොහැකිය. දැන් ප්‍රාදේශීය දේශපාලකයන්ට පවා හමුදා ආරක්‍ෂාව ලබාදෙන්නට සිදුවෙයිද? මෙවන් තත්ත්වයකට රට ගමන් කිරීම ඛේදයක්‌ම නොවන්නේද? පාතාලය හා පාතාල කෙරුමන් ගැන සැම දිනම කතා බහට ලක්‌වේ. එහෙත් පාතාල මර්දනය කෙසේ වෙතත් පාතාලයෙන් වෙඩිකන ප්‍රමාණය දිනෙන් දින වැඩිවන බව නම් පැහැදිලිය. පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට පොලිසියට නොහැකිවී ඇත්තේ කවර හේතුව නිසාද?

2017 මාර්තු මාසයේදී බන්ධනාගාර බස්‌ රථයට එල්ලවූ ප්‍රහාරයකින් පාතාල නායක සමයං ඝාතනය විය. එම සිද්ධියෙන් පසුව පොලිස්‌පතිවරයා සඳහන් කර සිටියේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය වේගවත් කරන බවත් ඒ සඳහා විශේෂ කාර්ය බළකාය යොදන බවත්ය. පොලිස්‌පතිතුමා කවරක්‌ කීවද එතෙක්‌ මෙතෙක්‌ පාතාල ක්‍රියාකාරකම්වල වර්ධනයක්‌ මිස මර්දනයක්‌ නම් පෙනෙන්නට නැත.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායට පාතාල මර්දනය පිළිබඳ වඩා සුවිශේෂී හැකියාවක්‌ හා දක්‍ෂතාවයක්‌ ඇත. ඒ ගැන කිසිදු තර්කයක්‌ නැත. පෙරේදා දිනයේ මඩවලදී පාතාල කෙරුමන් දෙදෙනකු මිය පරලොව ගියේ විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමකිනි. මේ මෙහෙයුම් ශීඝ්‍රව සිදු නොකරන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම්වලට පවා සමහර අවස්‌ථාවලදී බාධා එල්ල වන බව පෙනී යයි. පාතාලය හුරතල් කරන ගමන් අනෙක්‌ පැත්තෙන් මේ කණ්‌ඩායම් මර්දනය කළ නොහැකිය. කොටියා කවර හෝ මොහොතක අත නොව බෙල්ලම සපා කා හැකිය.

කරන්දෙණිය උප සභාපතිවරයා ඝාතනය වන්නේ කප්පම් නොදීම නිසා නම් සෙසු සාමාන්‍ය ජනයා ආරක්‍ෂිත වන්නේ කෙසේද? දකුණේ සියලු ව්‍යාපාරිකයන් කොස්‌ගොඩ සුජීට කප්පම් ගෙවිය යුතුද? කවර සිවිල් බලයක්‌ තිබුණද ඒ කිසිවකුට පාතාලයේ තුවක්‌කු බලයට අභියෝග කළ නොහැකි බව උප සභාපතිවරයාගේ ඝාතනයෙන්ද ප්‍රකට වන කරුණකි. මෙයින් සමාජයම භීතියට පත් නොවන්නේද? ත්‍රස්‌ත භීතිය පරයා පාතාල භීතිය වේගයෙන් හැසිරෙන බව නම් සහතිකය. මේ භීතියෙන් ජනතාව මුදා ගන්නා දියසේන කුමාරයා කවරෙක්‌ද? නැත්නම් ලංකාවම මධුෂ්ගේ හෝ සුජීගේ තුවක්‌කු පාලනයට නතුව ජීවිත් විය යුතුද?

පාතාලය අතුගා දැමීම ගැන ජනතාව කම්පාවට පත්වන්නේ නැත. ජනතාවගේ කම්පාව වන්නේ පාතාලයට හැදී වැඩී සමාජයම වෙලා භීතියට පත් කිරීමට ඉඩදීම ගැනය. රටේ ප්‍රධාන දේශපාලන ධාරාවට පාතාලය තර්ජනය කරයි. ප්‍රාදේශීය දේශපාලකයන් ඝාතනය කරයි. මින් පසුව පාතාලය කෙළින්ම ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ටද එරෙහිව අවි අමෝරනු ඇත. එසේනම් පාතාලය පැමිණ ගෙදර දොරට තට්‌ටු කරන තුරු බලා සිටිය යුතුද? එනිසාම සමාජ විරෝධී දුෂ්ඨ අධම බලවේග අනුකම්පා විරහිතව මර්දනය කළ යුතුය. එසේ නොවන්නේ නම් සමාජයටද අනුකම්පා විරහිත ඛේදයකට මුහුණ පාන්නට සිදුවනු ඇත.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.