සිංහරාජ වනාන්තරයටම සිටින එකම වන අලි දෙදෙනා අල්ලා හොරව්පතාන රක්ෂිතයට මුදා හැරීමට වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා නියෝග කර තිබෙනවා.

මෙම නියෝගයට පරිසර සංවිධාන දැඩි ලෙස විරෝධය පළ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ ප්‍රකාශ කළේ, අදාළ නියෝගය වළක්වන්නැයි ඉල්ලමින් අද ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කළ බව යි.

එමෙන්ම කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ මෙම අලි දෙදෙනා රැගෙන ගියහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බවට යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවයි.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ මේ වන විට දිවි ගෙවන්නේ මෙම වන අලි දෙදෙනා පමණයි.

එම අලි තෙත් කලාපීය පරිසර පද්ධතිවලට හුරුවූවන්.

කෙසේ වෙතත් එම අලි දෙදෙනා සිංහරාජ මායිමේ පිහිටි ගම්මානලට කඩා වැදී ජීවිත හා දේපල හානි රැසක් සිදු කර තිබුණා.

වනජීවී අමාත්‍යවරයා අලි දෙදෙනා හොරව්පතාන රක්ෂිතයට මුදා හරින ලෙස නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව යි.

අමාත්‍යවරයාගේ නියෝගය අනුව දකුණු හා ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය මෙම අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දකුණු හා ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස ප්‍රකාශ කළේ, අලි දෙදෙනා අල්ලා ගැනීමට තවත් දින 2ක් පමණ ගත විය හැකි බව යි.

කෙසේ වෙතත් අලි දෙදෙනා ඇල්ලීමෙන් පසුව කුමන ප්‍රදේශයකට යොමු කරන්නේ දැයි මෙතෙක් තමන්ට නියෝගයක් නොලැබුණු බව ද ඔහු ප්‍රකාශ කළා.

Loading...