කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව යි.

අදාළ දේවාලය මීට වසරකට පෙර අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට අයිති වී තිබෙනවා.

ඉන් උරණ වූ මහසෙන් දේවාලයේ හිටපු කපු මහතාගේ සැලසුමක් මත ඔහුගේ ජීප් රථයෙන් ම පැමිණි 3 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව හෙළිවී ඇතැයි පොලීසිය පැවසුවා.

ඒ බව එම අවස්ථාවේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද තහවුරු කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම – කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් මාධ්‍ය වෙත කියා සිටියේ මහසෙන් මහදේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවට තමන් වහන්සේට විශ්වාස බවයි.

සැකකරුවන් පිටුපස ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ලුහුබැඳ ඇති නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

කෙසේ වෙතත් එහි සිටි පොලිස් නිලධාරීන් අදාළ ජීප් රථයේ අංකය සටහන් කර පොලීසියට ලබා දී ඇති බව ද අදාළ උසස් පොලිස් නිලධාරියා පැවසුවා.

මේ අතර වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පළා ගිය UP CAG-8531 අංකය දරණ ජීප් රථය පූජා භූමිය සමීපයේ අතැර දමා ගොස් තිබියදී ඊයේ රාත්‍රියේ පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කිරිවෙහෙර පුද බිමේදී ඊයේ රාත්‍රි 10.50 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව යි.

Loading...