කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිට සහ තවත් හිමිනමකට සිදු කළ වෙඩි තැබීම මෙහෙයවූ බවට සැක කෙරෙන මහසෙන් මහදේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර මේවන විට ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ඔහුගේ නිවසේ තිබී අවි ආයුධ සහ උණ්ඩ ද හමුවී ඇති බව සඳහන්.

මේවන විට අනාවරණය වී ඇත්තේ කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව යි.

අදාළ දේවාලය මීට වසරකට පෙර අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට අයිති වී තිබෙනවා.

ඉන් උරණ වූ මහසෙන් දේවාලයේ හිටපු කපු මහතාගේ සැලසුමක් මත ඔහුගේ ජීප් රථයෙන් ම පැමිණි 3 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව හෙළිවී ඇතැයි පොලීසිය පැවසුවා.

කතරගම – කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් ද මාධ්‍ය වෙත කියා සිටියේ මහසෙන් මහදේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවට තමන් වහන්සේට විශ්වාස බවයි.

ඊයේ රාත්‍රියේ නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමිනම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවුණා.

හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා සදහන් කළේ නාහිමියන්ගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 5ක් පමණ එල්ල වී ඇති බවයි.

මීට අමතරව වම් අතට සහ දකුණු පාදයට තුවාල සිදුව තිබෙනවා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව නාහිමියන්ට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පහත මළුවේ සැඟව සිටි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබෙනවා.

වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි UP CAG-8531 දරණ සුඛෝපභෝගී ජීප් රථය කතරගම පුද බිම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අද දහවල් ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට වැඩමවනු ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් කොළඹ ශාලිකා ක්‍රීඩංගනය වෙත රැගෙන ආ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

Loading...