Loading...

නිරිතදිග මෝසමෙන් ‘රැගෙන එන‍ෙහිරිකඩ වැස්ස නගර කලාපය සැරෙන් සැරේ දියබත් කරයි. අහස් වියනට යටින්, කඩ පේළි අතර හරස්වට ඉහළ නැඟුණු ෂඩ් වර්ණ පාලම් කොඩි හිටිගමන් එන පොසොන් සුළඟින් සලිත වෙයි.

මේ සියල්ල අතරේ ප්‍රකටම පුද්ගලයා අන් කිසිවෙක් නොව,’බෙග් මාස්ටර්’ය.’වෙසක් පොසොන් සමයේ වැඩියෙන්ම කාර්‍යබහුල වන්නේ ඔහුගේ පිරුණු, බරසාර ස්වරය ය.අනුරාධපුරයේ දැන් ඉඳලාම ඒ ස්වරය උස්ව නැගෙමින් තිබේ.

ඔබෙ රාගී මන කැලඹේ හා
පිවිතුරු හදවත පෑරේදෝ….
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී….!!!

මාස්ටර්ගේ ‘බර හඬ’ අතීත චමත්කාරයත්, වර්තමාන කම්පනයත් කැටුව නින්නාද දෙයි. අනුරාධපුරය පොසොන් පෝයට සූදානම්ය. තැන තැන නැගෙමින් ඇති තොරණ, පහන් කූඩු, දන්සල් පොසොන් උළෙල සඳහා සැරසෙමින්ය. සැදැහැවත් බැතිමත්හූ සැලකිය යුතු පිරිසක් දැන්ම තියාම නගරාශ්‍රිතව සැරිසරති.

පොසොන් සමයට ‘ඇහැරුණු නගරයක් වන්නේ’ අනුරාධපුරයය. ඒ නිසාම අනුරාධපුර කාර්යබහුල වෙලාය. දශ ලක්ෂාධික සැදැහැවතුන් වන්දනාවට ද, වින්දනයට ද පැමිණෙන්නට සූදානම් බව දන්නා උදවිය ‘රැල්ල බලා රුවල’දමමින් සිටී.

පිටතින් බොදු බැති සිරියෙන් ආතුරව මේ මහාර්ඝ දින කිහිපය සමරන සේම, එකී තිරපටට මුවාවී බොහෝ ‘කළුපාට’ දේවල්ද සිදුවන අයුරු විමසුම් ඇසකට සොයා ගන්නට මේ වකවානුවේදී අපහසු නැත.

මේ වෑයම් කරන්නේ හෙට අනිද්දා සිට එළිදැකීමට සැලසුම් වී ඇති ඒ කළුපාට කතා කිහිපයක් කියන්නටය.

උත්සව සමය එත්ම වඩාත්ම කාර්යබහුල වන්නේ අනුරාධපුර නගර සභාවය.බැතිමතුන්ට අවැසි පහසුකම් සැපිරීම සේම පූජා නගරය අලංකාර කිරීමද ඔවුන්ගේ රාජකාරිය වෙයි.

වන්දනාවේ යන එන්නන්ට මල් විකිණීම හරහා ජීවත් වෙන මිනිස්සු අනුරාධපුරයේ බොහෝය. ඔවුන්ගේ කතා සියල්ලම පාහේ ‘අලුත් අත්දැකීම්’ එකතු කරන ඒවාය.

‘මම කරන්නේ මල් විකුණන එක. අවුරුදු 30ක් තිස්සේ මම මේක කරනවා. මගේ අම්මාත් කළේ මේක. මගේ මහත්තයාට දියවැඩියාව හින්දා කකුල කපලා තියෙන්නේ. හැබැයි එයත් පාන්දර පහට ඔරුවෙන් බසවක්කුලම වැවට ගිහින් මල් කඩාගෙන එනවා. අපිම ගිහින් කඩාගෙන ඇවිත් වික්කොත් තමා පොඩි ලාභයක් තියෙන්නේ.’

එහෙම කියන්නේ අනුලාවතීය. ඒක ප්‍රසිද්ධ කතාවක්ය. ‘මල්’ පිට තබා ‘මල්’ විකුණන එක කලක සිට සමහරු කරන වැඩක්ය.

“මලක් විකුණලා ජීවත් වෙන්න බෑ. අනික දැන් ගොඩක් අය මල් අරන් යනවට වඩා, නිකන් ගිහින් වැඳලා එනවා. ගොඩක් තියෙන්නේ ෂෝ එකනේ. ඉතින් මෙහෙම දෙයක් කරලා තමයි ජීවත් වෙන්නේ.

‘මල්’ පිට තබා ‘මල්’ විකුණන කෙනකුගේ කතාව ඕකය.

“පැන් ඕනද?” කියලා මල් විකුණන තැනක ගැවසෙන කෙනෙක් ඇසුවොත් ඒ අසන්නේ “මල්වලට පැන් ඉසින්නද කියා” අසනවා යැයි වරද්දා ගතයුතු නැත. ඔහු විමසන්නේ ‘මත් වෙන්න දෙන්න පුළුවන් පැන්’ ගැනය. ඔබ එකඟ නම් යාබදින් ඒවා ලබා ගත හැකිය. ගංජා, අබිං, කේජී, විතරක් නොව ඕන නම් ඊට එහා ගිය ‘කුඩු’ වුණත් ඔය අතරේ ලබාගත හැකිය.

‘පොසොන් සීසන් එකට මෙහෙ මත් ද්‍රව්‍ය තහනම්.හැබැයි මම කැට තියලා කියනවා, වැඩියෙන්ම අරක්කු විකිණෙන්නේ ඒ දවස් ටිකේ’

ඔහු අනුරාධපුර කඩ පණහ ‘ලයිසන් බාර්’එකක් කරගෙන යන්නේ දශකයකට එහා සිටය.

‘සතියක ඉඳලා බාර් වහනවා. ඒත් ඒ වෙනකොට බඩු ඕන තැන් වලට ගිහින් ඉවරයි. බඩු ගන්න පෝලිමේ ඉන්නේ මේ දවස්වල ඉඳලා.’

ඔහු කියන්නේ ඇත්ත ය. මේ දිනවල, දන්සල් පරදන පෝලිම් දුටුවොත් නොරැවටෙන්න. ඒ ‘බාර් පෝලිමක්’විනා දන්සැල් පෝලිමක් නොවේ.

‘බඩු අරගෙන ගිහින් ස්ටොක් කරගෙන, උත්සව කාලෙට පොඩි බිස්නස් එකක් කරන අය තමයි ගොඩක් ඉන්නේ. විශ්වාස කරනවද සමහරු දාහේ බෝතලේ පන්දහට විකුණනවා.’

ඔහු කියයි.එහෙම ගෙවා ‘බඩු’ගන්නට පැකිලීමක් නැතිව සමහරු කැමැතිය.

මේ සියල්ල කෙරෙන්නේ වැටලීම් අස්සේය.

පූජා සථාන ආශ්‍රිතව ‘පාර්කින්’හෙවත් වාහන නැවතුම්පලවල් ඉදිවන්නේ උත්සව සමයට සතියකට පෙර සිටමය.තමා සතු කුඩා ඉඩක් වෙත්නම් ඒ කුඩා ඉඩ පවා කිසියම් ‘සම්තින්’එකක් සොයා ගැනීමේ තැනක් බවට පත් කරගන්නට නගර සහ ආසන්න වාසීන් නොපැකිලෙති.

‘එන අයගේ රටාව බලලා තව දේවල් සෙට් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වාහන පාක් කරන ගමන් වෙන අඩුමකුඩුම සප්ලයි කරගන්නත් සමහර තැන්වල ඉඩ තියෙනවා’

පැමිණ සිටින්නේ වන්දනාවටද, වින්දනයටද කියා එන කල්ලියේ මුහුණ බලා කීමට බොහෝ දෙනාට ‘ඉවක්’තිබේ. ඒ අනුව අදාළ කල්ලිය වෙත කිට්ටු වී, අවැසි දෑ විමසයි. මධු විතක්,හෝ කතක් වුව ‘සප්ලයි’කරන්න සමහරුන්ට ‘කන්ටෑක්’ තිබේ.

උත්සව සමයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව පවත්වාගෙන යන ගණිකා ව්‍යාපාරයේ තිප්පොළවල් වැහිවැහැලාය. ජීවිතය ආපසු හරවාගත නොහැකි තැනක සිරවූ මිනිස්සු ජීවිතය අල්ලාගත යුත්තේ ද ‘පුරුදු තැනිනි.’

ගැනුම්කරුවකුට අපහසුවකින් තොරව ‘කොක්ක ගසා ගත හැකි’ කෙනෙක් සොයා ගැනීම හරිම ‘සිම්පල්’ වැඩක්ය. වුවමනා වන්නේ ‘ඕනෑකම’ විතරය. රෑ කඩයක් අසලදීද, තැඹිලි කරත්තයක් ගාවදීද, බස් නැවතුමක් අද්දරදීද, කවුරුත් සැක නොකරන මල් කඩයක් ගාවදීද ‘ඉඟිමරන දෑසක්’ සොයා ගැනීම අපහසු නැත.

කිව යුතුම දෙයක් තිබේ. ඒ යටකී වෙළෙඳාම් කරන හැමෝම එහෙම නොවන බවය. අනුරාධපුර නගරයේ විනය ක්‍රමවත් කිරීමට අදාළ අංශ වෙත උපරිම සහාය දෙන බොහෝ දෙනා සිටින බව ඇත්තය. අනුරාධපුරයේ විනය මෙතරම්වත් රැකී තිබෙන්නේ එහෙම මිනිස්සු හින්දාය. ඒ ඇත්ත මැද අහම්බෙන් තිත්ත කතාද තිබෙන බව දැක ගත හැකිය.

“සමහරු දිහා බැලුවම තේරෙනවා, ඕන මොනවද කියලා. එහෙම කෙනෙක් ගාවට කිට්ටු වෙලා ‘අල්ල ගන්න’ අපිට තේරෙනවා.

එහෙම කියන්නේ පෙනෙන්න ජංගම වෙළෙඳාමත් නොපෙනෙන්න ‘ඩීල්’ වැඩෙත් කරන මිනිසෙක්ය. සීරුවට ගනුදෙනුකරු වෙත කිට්ටු වී වුවමනාව විමසා එය සැපිරීමට ඔහු සමත්ය.

“සීසන් එකට මෙහේ ඔය බිස්නස් එක නැගලා යනවා. හැබැයි වටලන එකේ කෙළවරක් නෑ. වැටලුවා කියලා නවතින්නෙත් නෑ. මදුරුවෝ වගේ ආයේ ආයේ එනවා.”

අනුරාධපුරේ හතර කොනම දන්නා මිතුරෙක් එහෙම කීවේය. ඕනම තැනක ඉන්න වෛශ්‍යාවක් හඳුනා ගන්න එක ඔහුට ‘සිම්පල්’ වැඩක්ය.

“වන්දනාවේ එන අයගෙන් මේ අයට වැඩක් නෑ. වඳින්න එන මිනිස්සු අතරේ මේවා පස්සේ දුවන අය නෑ. හැබැයි නිවාඩුවේ ආතල් එකක් ගන්න එන අය මෙයාලට වටිනවා. පොසොන් සීසන් එක මෙයාලට වටින්නේ මේක ට්‍රිප් එකක් කරගෙන එන අය නිසා.”

“ටීම් එකක් විදිහට ට්‍රිප් එකක් වගේ මෙහෙට එන ඉහළ පැලැන්තියේ ගණිකාවොත් මෙහේ ඉන්නවා. එයාලා එන්නේ පිටින් කොල්ලො අරගෙන. මෙහේ ඇවිත් ෆන් එකක් අරන් යනවා.”

නිරන්තරයෙන් කෙරෙන වැටලීම්වලින් අත්අඩංගුවට පත්වන කතුන් බොහෝය. ළමා ගණිකා වෘත්තිය හා සමලිංගික ගණිකා වෘත්තිය මෑත ඉතිහාසයේ සමාජ ඛේදාන්තයක් වී ඇති අතර අනුරාධපුර ආශ්‍රිතව ළාබාල යුවතියන් පවා මීට යොමු වී තිබෙන අවස්ථා දැකිය හැකිය. ළාබාල විවාහ වීම් සහ ගැබ් ගැනීම් මේ ප්‍රදේශයේ බහුල තත්ත්වයක් වී තිබේ.

ආර්ථික අහේනියේ සංවේගදායක, ඛේදවාචකය කුටුම්භවලට කඩා වැදී කරන පීඩනය ඔරොත්තු නොදෙන තැන මිනිස්සු ජීවත්වීමට විවිධ මංමාවත් තෝරා ගනී. එය හිතා මතා කරන තෝරා ගැනීමකට වඩා අහම්බයන්ය.

‘පන්සීයකට වවුලෙක් ගන්න පුළුවන්.’

වවුලෙක් යනු නිරන්තර වීදි සරණ කාන්තාවකට කියන නමකි. එහෙම අය පවා ලබාදීමට තැරැව්කරුවන් අරගලයකය. මේ දිනවල අනුරාධපුර ලැගුම්හල් සියල්ලම පාහේ ‘හවුස් ෆුල්’ය. ඒ විතරක් නොව මිල ගණන්ද අධිකය. හෝරා දෙකකින් කාමරය නිදහස් කරන්නේ නම් ලැගුම්හල් හිමියෝ කැමැතිය.

ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථානවලටද මේ දිනවල ‘හුස්මක් ගන්න බැරි තරම්’ වැඩය. අනුරාධපුර පූජා භූමියේ හතු පිපෙන්නා මෙන් විවෘත වන පංච කර්ම මධ්‍යස්ථාන (සම්බාහන මධ්‍යස්ථාන) වල පංචකර්ම ක්‍රියාවලියට අමතරව එහි සේවය කරන කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බව අත්දැකිය හැකි ඇත්තය. දැන් දැන් අනුරාධපුර සම්බාහන මධ්‍යස්ථාන වැහිවැහැලා තිබෙන අතර ගනුදෙනුකරුවන් ‘බා ගන්නට’ ඔවුන් ලබාදෙන සේවයද පුළුල් කොට තිබේ. ‘සම්බාහනයෙන් පස්සේ ගොඩක් අය අහනවා, වෙන මොනාද වෙන්න ඕනෑ කියලා. ඒක වෙන්නේ සීමාවෙන් එහා ගිහින්. කොහොමත් අපිට ස්පා එකෙන් දවසට රුපියල් දෙදාහක් ගෙවනවා. ජීවත් වෙන්නයි ගෙවල් ගැන බලන්නයි ඒක මදි. ඉතින් අපි සීමාවෙන් එහාට යනවා. එතකොට කස්ටමර් දෙන ටිප් එක අපිට ස්පා එකෙන් දවසටම ගෙවන ගාණට වඩා වැඩියි.’

ඈ කොළඹ පිහිටි සම්බාහන ආයතනයෙන් අනුරාධපුර ශාඛාවට සීසන් එක සඳහාම එවූ තරුණියකි. කොළඹ ප්‍රකට පාසලක උගත් ඈ මුලින් මියුසික් වීඩියෝවකට අහම්බෙන් සම්බන්ධ වී අනතුරුව නිරූපණ ශිල්පය තෝරාගෙන එහි මඳ දුරක් ගොස් නැවතී මේ වෘත්තිය තෝරා ගත් තරුණියකි. ඈ කියන්නේ තමන්ගේ වයස තාමත් අවුරුදු 19ක් බවය. පොලිසිය උපාය දූතයන් යොදවා සිදුකරන මෙහෙයුමකදී ඈ දෙවරක් අත්අඩංගුවට පත්ව ඇත. රුපියල් 1200ත් 1500ත් අතර මුදලකට සම්බාහන කාර්යය කර ගැනීමට හැකි අතර ඉන් ඔබ්බට රුපියල් 500 – 1000ක් වැනි මුදලක් සම්බාහනය සිදුකරන කාන්තාවට ලබා දුන් විට ලිංගික ක්‍රියාවලියට පෙලඹෙන බව ප්‍රකට කරුණකි.

‘ටෙලි කෑල්ලක හරි මියුසික් වීඩියෝවක හරි පෙනී ඉඳලා “නිළි”ලේබල් එක ගහගත්ත කෙල්ලෝ කොළඹින් පිටවෙලා මෙහේ එන අවස්ථා තියෙනවා. එයාලගේ ෆේස්බුක්වල ස්ටේටස් වැටෙනවා, ඉන්නේ අනුරාධපුරේ කියලා. එහෙම එන්නේ මොකටද කියලා දන්නෝ දන්නවා.’

තරුණ පහේ පොලිස් නිළධාරියකු එහෙම කීවේය.

පල ඇති තැනට අත් යොමුවීම අරුමයක් නොවේ.

‘උතසව කාලේ සීමා පනින අයට තෑගිත් ලැබෙනවා.සමාජ රෝග හැදෙන සහ හදා ගන්න සෑහෙන පිරිසක් මේ කාලෙට බිහිවෙනවා.’

සීමාවන් ඉක්මවා යන කල්හි ඊට අවැසි අවම ආරක්ෂාවවත් නොසිතන අනාරක්ෂිතයන් එහි ගොදුරු බවට පත්වීම අරුමයක් නොවේ. මෙවැනි කාරණා වලදී විය යුතු ආරක්ෂාවීම් සම්බන්ධව වත් එතරම් දැනුම්වත් කිරීමක් සිදු වන්නේ නැත. එක්කෝ, ඒ ගැන තැකීමක් නැත. එවැනි විටෙක වින්දනය සොයා එන සමහරු ‘විඳවීම’ඉතිරිකරගෙන උත්සව සමය නිමා කරති.

ඒ අතර මුදල් පසුම්බිය සුරක්ෂිත කරගැනීමත් තම තමන්ගේ වගකීම ය. ගැට කපන්නන් ‘භික්ෂූන් වේශයෙන්’පවා සිටිය හැකිය. ආහාර පාන මිලදී ගනිද්දී සැලකිලිමත් වීම අනිවාර්‍ය වන්නේ දින ගාණක පිළිණු වූ හෝ අපිරිසිදු ආහාර ‘සරසා’ලබාදිය හැකි නිසා ය.

මේ සමයේ සිඟමන් යැදීමට පැමිණෙන සංවිධානාත්මක යාචක බළඇණි අනුරාධපුර නගර ආක්‍රමණය කරන එක චිරාත් කාලයක සිට එන සිරිතක් ය. බෙදාහදාගෙන කරන මේ වැඩෙන් පසු පූජා භූමි වටා යාචකයන් අරක් ගනී. මේ යාචකයන් එම වෘත්තියේ යොදවනු ලබන්නේ යම් බලවත් පුද්ගලයන් හෝ සංවිධානාත්මක පිරිස් විසින් බව සමාජයට රහසක් නොවේ.

ගැට කපන්නන්ගේ අතමිට සරු වෙන්නේත්, කසිප්පුකරුවන් යහමින් ගොඩ යන්නේත්, අච්චාරු, කඩචෝරුකරුවන් ජීවිතේ ගැටගසා ගන්නේත්, අරුමෝසම් සෙල්ලම් බඩුකරුවන් යාන්තමින් හිස උස්සන්නේත්, සාරවිට, බුලත්විට කරුවන් ‘අතුරු බිස්නස්’ එකක් කරගන්නේත් මේ දවස්වලය. කිසිවෙක් කිසිවක් අතහැර නැත. අතහරින්නේත් නැත.

තිස්ස දුණු හී අතැර නැවතුණ බව සැබැවි. එහෙත් මිනිසුන් තවමත් දුණු හී රැගෙන දුවමිනි.

– රංජිත් කුමාර සමරකෝන්

Loading...