Loading...

ඉන්ධන ගිනි ඇවිලෙන සුළුය. පසුගිය කාලයේ මෙරට දේශපාලනය, ආර්ථිකය මෙන්ම ජන සමාජය ද ඉන්ධන නිසාවෙන් ගිනි ඇවිලී ගිය අවස්ථා තිබිණි. බාල ඉන්ධන, ඉන්ධන හිඟය, සේවක වර්ජන ආදිය ඒ ගිනි ගැනීම්වලින් අවස්ථා කිහිපයක් පමණි. මේ සිදුවීම් අළු යට ගිනි වශයෙන් තිබියදීම අලුත් කතාවක් කරළියට පැමිණ තිබේ. ඒ අලුතින් හඳුන්වාදීමට නියමිත ඉන්ධනයක් පිළිබඳ කතාවකි. සුපුරුදු ලෙස කලබල විය යුතු නැත. ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් සාදාගත යුතු නැත. මේ නව ඉන්ධන පිළිබඳ පුවත තරමක් වෙනස් එකකි.

ලබන මාසයේ සිට දැනට භාවිතා වන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ (Euro 4) ප්‍රමිතියෙන් යුතු ඉන්ධන හඳුන්වා දීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබීම එම කතාවයි. මෙම නවතම පුවතට පාදක වී ඇත්තේ 2018 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලියේ එන යුරෝ ෆෝ කාබනික දුම් පිළිබඳ ප්‍රමිතිය හඳුන්වා දීමේ යෝජනාවයි.

යුරෝ ෆෝ ලෙස හඳුන්වනු ලබන්නේ යුරෝපා කොමිසම විසින් දෙන ලද ප්‍රමිතියකි. මෙම ප්‍රමිතිකරණය කරන ලද ඉන්ධන යුරෝ ෆෝ ඉන්ධන ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව යුරෝ ෆෝ යනු පෙට්‍රල් ඩීසල් මෙන් ඉන්ධන නාමයක් නොවේ. අද වනවිට යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක මේ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන භාවිතය ආරම්භ කර ඇත.

වායු දූෂණය අවම වීම හා පරිසර හිතකාමීබව ඉහළ මට්ටමක පැවතීමට මෙම ප්‍රමිතිය ලද ඉන්ධනවල ප්‍රධාන ලක්ෂණයයි. ඊට අමතරව යුරෝ ෆෝ ඉන්ධන භාවිතයෙන් වාහනවල කාර්යක්ෂම බව ඉහළ යන බවද සඳහන් වෙයි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු මේ සම්බන්ධව කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තීරණය කර ඇති යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතු රථ වාහන සඳහා මෙම ඉන්ධන භාවිතය අත්‍යවශ්‍ය වනු ඇති බවයි. ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය තුළින් යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතු වාහනවල දෝෂ හටගැනීමේ හැකියාවන් පැවතීම ඊට හේතුවය.

මෙම ප්‍රමිතිකරණය සමඟ ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව දැනට භාවිත කරනු ලබන ඔක්ටේන් 95 පෙට්‍රල් රැපියල් 148.00ට ද ලංකා සුපර් ඩීසල් රුපියල් 119.00ට ද යන මිල මට්ටමට යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතුව ඉදිරියටත් නිකුත් කෙරෙයි. මෙම නව ඉන්ධන හරහා යම් පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාවට සිදු වුවද එය සංස්ථාව විසින් දරාගනු ලබන බවය. මෙම නව ඉන්ධන හඳුන්වා දීම හරහා ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළෙඳපොළෙන් ඉවත් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි. එසේ වුවද ඉහළ ප්‍රමිතියකින් ඉන්ධන නිතරම භාවිත කරන ලෙස ඉතා ඕනෑකමින් තමන් ඉල්ලා සිටින ඉව ද ඔහු සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාව සඳහා යුරෝ ෆෝ ඉන්ධන භාවිතය ආරම්භ වන විට ලෝකය තුළ යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතු රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ද යෝජනා පළවිය. ඒ අනුව ආරක්ෂිත බවින් ඉහළ, පරිසර හිතකාමී, වායු දූෂණය අවම වාහන ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට ඉඩ ඇත. 1992 වර්ෂයේදී යුරෝපා කොමිසම යුරෝ වන් (Euro 1) හඳුන්වා දීමත් සමඟ ආරම්භ වූ මෙම පරිසර හිතකාමී ප්‍රමිතිකරණය අද වනවිට යුරෝ සික්ස් (Euro 6) දක්වා ඉදිරියට පැමිණ තිබේ.

මුළු මහත් ලෝකයම පරිසර හිතකාමී තාක්ෂණික දියුණුවක අවශ්‍යතාවය හඳුනා ගනිමින් ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.

එවන් තත්ත්වයන් තුළ මෙරටට ද යුරෝ ෆෝ හඳුන්වා දීම යම් සාධනීය කටයුත්තක් ලෙස හැඳින්විය හැකිය. එසේම වඩාත් පුළුල් වැඩපිළිවෙළක් හරහා වායු දූෂණය අවම කිරීමේ හා පරිසර සංරක්ෂණය සිදු කිරීම අද වනවිට යුගයේ අවශ්‍යතාවයක්ව පවතී.

 චමිඳු නිසල් ද සිල්වා

Loading...