Loading...

ලෝකයේ වැඩිම දෙනකුගේ අවධානය දිනාගත් ක්‍රීඩා කුසලානයක් වේ නම් එය FIFA ලෝක පාපන්දු කුසලානයයි. පාපන්දු ක්‍රිඩා ලෝකය තුළ ජය කිරුළ ලෙස නම් දරා ඇති මේ කුසලානය දිනා ගැනීම සඳහා පැවැත්වෙන තරග ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් නරඹන බව ප්‍රසිද්ධය. 2014 වසරේ වාර්තා අනුව බිලියනයක පිරිසක් එදා තරඟ නරඹා තිබේ. මෙවර රුසියාව මුල් වරට සංවිධාන කරන තරග ජය සඳහා තිළිණ කිරිමට සූදානම්ව ඇති රන් කුසලානය පලමු වරට හඳුන්වා දී ඇත්තේ 1974 වසරේදීය. මේ කුසලානය නිසැකවම කතාබහකට ලක්කළ යුතු අන්දමේ අපූර්වතා රැසක් සහිත වූ සූවිශේෂී නිර්මාණයකි.

දැන් අපි දකින FIFA කුසලානය නිර්මාණය කළේ ඉතාලි ජාතික කලාකරුවෙක් වන සිල්වියෝ ගෂානීගාය. ලෝකයේ රටවල් හතක නිර්මාණකරුවන් 53න් දෙනකුගේ නිර්මාණ අතරින් ක්‍රීඩකයන් දෙදෙනෙක් මහ පොළොව උර මත දරා සිටින අයුරු දැක්වෙන සිල්වියෝගේ මේ අපුරු කෘතිය තෝරා ගෙන තිබේ. රත්රන් යොදා කළ මේ නිමැවුමේ රළු ගොරෝසු මතුපිට ස්වභාවය ක්‍රීඩාවට අදාළ ශක්තිය සහ බලය නිරූපනය කරන අතර එහි ඇති තද ශක්තිමත් රේඛා ක්‍රියාශීලි උද්‍යෝගය ඔප් නංවයි. මේ නිසාම FIFA රන්කුසලාන සතුව එයටම අනන්‍ය වූ පෞර්ෂයයක් පවති. එහෙයින්ම එයට අදාළව සුවිශේෂී වතාවත් සමුහයක්ද ක්‍රියාත්මකය.

කැරට් 18 රත්රන් යොදා නිමවා ඇති මෙම මූලීක ආකෘතියේ බර කිලෝ 6කි. මුළු උස සෙන්ටිමීටර 36කි. එහි පාදම කොළ පැහැතිය. පාපන්දු පිටියේ පැහැය නිරූපණය කරන මෙම කොළ පැහැය පාදම නිපදවීමට යොදා ඇති ඛණිජයේ ස්වභාවික පැහැයයි. රන් හා සමාන ඉතා වටිනා ඛණිජයක් වන මෙය ලෝකයේ සියලුම මහාද්වීපවල දක්නට ලැබෙන්නකි. ඒ නිසාම මුළු ලොවට පොදු වූ කුසලානයක් බව පෙන්වන්නට මැලචයිට් නම් වූ මේ විශේෂ ඛණිජය යොදා පාදම තනා ඇත. පාදම පතුලේ පිට පැත්තේ 1974 වසරේ පැවැති 10වැනි තරගයේ සිට මේ දක්වා කුසලානය හිමි කරගත් ජයග්‍රාහක රටවල්ලවල නම් කොටා තිබේ.

ලෝකයේ ඕනෑම පාපන්දු ක්‍රිඩකයකුගේ සිහිනය වන්නේ මේ කුසලාන අතට ගැනීමයි. නමුත් තමන්ගේ අත් දෙකෙන් මේ කුසලාන ඇල්ලීමට වාසනාව ඇත්තේ රාජ්‍ය නායකයන්ටත් ලෝක ශූරයන්ටත් පමණි. අන් අය එයට අත තබනවානම් අත් වැසුම් පැළඳ සිටිය යුතුය. ලෝක ශූරතාව දිනන පිරිසට ලැබෙන්නේ මුල් කෘතියේ ආදර්ශයකි. එය ශූරයන්ගේ කුසලානයයි. මේ කාලය තුළ මූලික කුසලාන FIFA පාපන්දු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. තරග නොමැති කාල සීමාවේදි මූලික කුසලානය සුරීච් බැංකු සේප්පුවක ආරක්ෂිතව තබා ඇත්තේ කලින් තිබූ රන් කුසලානවල අත්වූ ඉරණම අත් නොවනු පිණිසය. 1974ට පෙර තිබූ ජූල්ස් රිමේට් නම් ලද කුසලානය දෙවතාවක් සොරකම් කරන්නට යෙදුණි.

මුල් වතාවේ එංගලන්තයේදීය. 1966 වසරේදීය. මහජන ප්‍රදර්ශනයකට තබා තිබූ කුසලාන කාගේත් ඇස් වසා සොරා ගන්නා ලදි. වාසනාවකට මෙන් සොරුන්ගේ ඉව පසුපස ලුහුබැඳ ගිය පිකල්ස් නමැති සුනඛයාට මෙය අතුරුදන්ව සතියකට පසු සොයා ගන්නට හැකිවිය. දෙවැනිවර බ්‍රසීලයේදීය. බ්‍රසීලය තෙවැනි වරටත් ලෝක කුසලානය දිනා ගත් අතර, එහෙයින් එරටට ස්ථීර ලෙසම කුසලානය ලබා දෙන ලදී. ඉන්පසු සිල්වියෝගේ වත්මන් නිර්මාණය කලඑළි බැස්ස අතර 1983දි බ්‍රසීලයේ තිබූ පැරුණි රන් කුසලානය සොරා ගනු ලැබිණි. එය පිළිබඳව මේ වනතුරු ද හෝඩුවාවක් ලැබී නැත. සමහරුන්ගේ විශ්වාසය නම් මේවන විටත් එම කුසලානය උණුකර රන් සොරාගෙන හමාරව ඇති බවයි. ඇත්තෙන්ම, අවාසනාවන්ත ඉරණමකි!!!

මෙවර පාපන්දු තරග පැවැත්වීම සංවිධානය කරන රුසියාව FIFA කුසලානය ඒ සඳහා සිය රටට ගෙන්වා ගත්තේ මුල්වරටය. එරට මේ වන විට ලෝක කුසලාන තරග 11ට සහභාගි වී ඇති අතර 1966දී හතර වැනි ස්ථානයට කිට්ටු කරන්නට සමත් විය. කුසලානය වෙනුවෙන් ලෝකයේ රට රාජ්ජ මේවන විට 20 වතාවක් තරග වැද තිබේ. වැඩිම වතාවක් කුසලාන ඩැහැ ගත්තේ බ්‍රසීලයයි. එය පස් වතාවකි. ඔවුහු 1958, 1962, 1970, 1994 සහ 2002 ලෝක ශූරයෝ වූහ. ඊළඟට ළඟ ළඟම සම සමව ඉන්නේ ඉතාලිය සහ ජර්මනියයි.

ලෝක පාපන්දු කුසලානය ගැන කියැවෙන අමුතු එමෙන්ම රස කතා බොහෝමයකි. ඒ අතර මුල් තැන ගන්නේ ඉන්දියාව 1950දී තරගයෙන් ඉවත් කිරීමට ඉවහල් වූ හේතුවයි. ඒ ඉන්දියානුවෝ පාවහන් නොපැළඳ ක්‍රීඩා කිරීමට ඉදිරිපත් වීම නිසාය. ලෝක පාපන්දු කුසලාන තරගය මුල් වරට පැවැත්වුණේ 1930 වසරදීය. එවර එය උරුගුවේ රාජ්ජයේ පැවැති අතර තරග වීරයන් බවට පත් වූයේ ද එම රටයි. 1966දී තරගය සතියකට කල් ගියේය. ඒ කුසලානය සොරා ගත් හෙයිනි. ලෝක ශූරතා තරගයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ 1954දීය. ඕස්ට්‍රියාව ස්විට්සර්ලන්තයට එරෙහිව ලබාගත් 7 – 5 ප්‍රමාණයයි. වයසට ගියත් ගෝල් ලකුණු ලබාගන්නට සමත් වූ ක්‍රීඩකයා ලෙස සටහන්ව ඇත්තේ කැමරන් රටේ ක්‍රීඩක 42 හැවිරිදි රොජර් මිලාය. ඔහු ලකුණු ගත්තේ රුසියාවට එරෙහිව 1994දී පැවති තරගයේදීය. වැඩිම වතාවක් කුසලාන තරග සම ලකුණු ලබා නිමා කර ඇත්තේ ඉතාලියයි. ඒ 21 වතාවකි.

ලෝක කුසලානය වෙනුවෙන් අඩුම වතාවක් ක්‍රීඩා කළ රට ඉන්දුනිසියාවයි. 1938දී සහභාගි වූ එකම එක තරගයක් පමණි. මෙක්සිකෝව වැඩිම වතාවක් අවසන් තරග පරාජය වූ රටයි. එය 25 වතාවකි. නමුත් ඔවුන් තරග සෑහෙන ගණනක් ද දිනා ඇත. එසේම ඒහා සමාන තරග ගණනකදී ලකුණු සම කර තබේ. ඒ 14 වතාව බැගිනි. තනි තරගයකදී වැඩිම ගෝල ප්‍රමණයක් වාර්තා කළේ රුසියාවේ ඔලෙග් සැලෙන්කෝය. ඔහු ගත් ලකුණු ප්‍රමාණය 5කි. මෙතෙක් සහභාගී වූ තරගාවලි අතරින් තුනකදී වැඩිම ගෝල් ප්‍රමාණයක් වාර්තාකර දිනා ඇත්තේ ජර්මනියයි. 2014 දි 18ක්ද, 2010දි 16ක්ද 2006දි 14ක්ද ලෙසටය. එසේම ජර්මන් ක්‍රීඩක මිරෝස්ලාව් ක්ලෝස් තරගාවලියකදී වැඩිම ගෝල් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයාය. ඔහු තරග 24කදී ගෝල් 16ක් රුස් කර ඇත. හතර වතාවක් ශූරතාව දිනා ගත් ජර්මනිය 1966, 1982, 1986, සහ 2002දී අවසන් වටය දක්වාම තරග කළේය.

මෙතෙක් ලෝක කුසලානය තුන් වරක්ම සිය තුරුළට ගන්නට වාසනාවන්ත වූ එකම ක්‍රීඩකයා බ්‍රසීලයේ ජනකාන්ත තරුව පේලේය. 1958, 1962 සහ 1970 ජයග්‍රාහී තරග සඳහා ඔහු සහභාගී විය. ඔහු අඩුම වයසින් ගෝල් ලබා ශූරතාව දිනූ තැනැත්තා ලෙස වාර්තා තැබුවේ යාන්තම් වයස 17ක කොලු ගැටයෙක්ව සිටියදීය. ඔහු 1970දී සිය අතට ගෙන රටට ගෙන ගියේ FIFA පාපන්දු ශූරතාවයට තිළිණ කළ දඹ රනින් නිමවූ එම තරග සංවිධාන කමිටුවේ මුල් සභාපති ජූල්ස් රිමේට් විසින් 1930දි තමන්ගේ නමින්ම හඳුන්වා දුන් මුල් සැබෑ රන් කුසලානයයි. එයට පසු වත්මන් ක්‍රිඩා ශූරයන් අතට දැන් ලැබෙන්නේ රත්රන් ආලේප කළ කැරට් 18 ආකෘතියකි. නමුත් ඒ වෙනුවෙන් ඇති ලෝක පිළිගැනීම දැනුත් කිසිසේත්ම දශමයකින්වත් අඩුව නැත.

♦ සුගත් පී.කුලතුංග ආරච්චි

Loading...