මිනිසාගේ ජීවත් වීමේ කාලසීමාව තීරණය කරන්නේ කර්මයද? එසේ නැතහොත් උත්පත්තියේ දී ගෙන එනවා යැයි කියැවෙන ආයුෂ ප්‍රමාණය ද? නැතහොත් අදෘශ්‍යමාන බලවේග මගින්ද? මේ මතවාදවලට වෙනස්ව පවතින සමාජාර්ථික, දේශපාලන වටපිටාව ද? එසේ නැතහොත් වෘත්තීය වගකීම් අවබෝධ කරනොගත් හෝ සිතාමතා පැහැරහරින වෘත්තිකයන් නිසා ද?

ඒ ගැන තීන්දු තීරණ ගැනීම ඔබට බාර කරමින් පෙර පූර්විකාවට පාදක වූ නිධාන කථාව දෙසට අපි දැන් යොමුවෙමු.

පනස් හතර හැවිරිදි වියේ පසු වූ පී.ආර්. ගුණතිලක මහතා ජීවත් වූයේ ගල්ගමුව, අකරගල්ල අංක 161 නිවසේය. ඔහුගේ බිරිය අයි.එම්. ධම්මිකා කුමාරි (අවුරුදු 44) මහත්මියයි. වයස අවුරැදු පහළොවක හා දහතුනක වූ දියණියෝම දෙදෙනෙක් මේ දෙපලට සිටිති.

ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ එකොළොස්වැනි හා අටවැනි ශ්‍රේණිවල මේ දියණියෝ ඉගෙනුම ලබති. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ගොවිතැන ජීවනෝපාය කරගත් ගුණතිලක මහතා ඉන් ලබන ආදායමෙන් පිය සුතඹුවන් පෝෂණය කළෝය. දරුවන්ගේ ලෙඩට – දුකට, අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට ගොවිතැනින් ලබන ආදායම හෝ යෙදවීය.

අඹුදරුවන් සමඟ සතුටින්, සෙමෙන් කාලය ගතකරමින් සිටි ගුණතිලක මහතා පසුගිය දොළොස් වැනි දින හදිසියේම රෝගාතුර විය. ඒ සිය නිවසේ සිටියදීය. මෙතෙක් කලක් නිදන්ගත රෝගයකින් නොපෙළුණු ඔහු හදිසියේ රෝගාතුර වීම ගැන වික්ෂිප්ත වූ ධම්මිකා කුමාරි වහාම ලකලෑස්ති වී සිය සැමියා යතුරුපැදියේ තබාගෙන අතරගල්ල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගියාය.

එදා (12) හවස හතරයි හතලිස් පහට විතර තමයි මහත්තයා අසනීප වුණේ. මම හවස පහ වෙනකොට මහත්තයාව අතරගල්ල ඉස්පිරිතාලෙට අරන් ගියා. ඩොක්ටර් හා එහි කාර්යමණ්ඩලය ඉක් ඉක්මනින් මහත්තයට ප්‍රතිකාර කිරීම පටන් ගත්තා. ඊ.සී.ජී. පරීක්ෂණයකුත් කළා. පස්සේ දිවයට තියාගන්න බේත් පෙත්තකුත් දුන්නා. තව බේත් පෙතිවගයක් කුඩු කරලා බොන්න දුන්නා. ඊ.සී.ජී. පරීක්ෂණයේ වාර්තාව හොඳ නෑ කියලා මහත්තයාව කුරැණෑගල මහ ඉස්පිරිතාලෙට යවන්න ඕන කියලා ඩොක්ටර් කීවා.

අකරගල්ල ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය ඒ අවස්ථාවේ රෝහලේ නොතිබුණු නිසා ආසන්නයේම පිහිටි අඹන්පොළ රජයේ රෝහල සතු ගිලන් රිය ගෙන්වා ගැනීමට වෛද්‍යවරයා කටයුතු කළේය. විනාඩි දහයක් පමණ ගතවීමෙන් පසු ඒ ගිලන් රථය අකරගල්ල ප්‍රාදේශීය රෝහලට පැමිණියේය.

රෝගියා වහා ගිලන් රියට නංවනු ලැබීය. ඔක්සිජන් යන්ත්‍රය ද ගිලන් රියට දැමිණි. ගිලන් රියේ තණකොළ කපන මැෂිමක් තිබෙන බව වෛද්‍යවරයා දිටීය. හේ ඒ පිළිබඳව ගිලන් රියේ සහායකගෙන් විමසීය. ඒ මැෂිම ගිලන් රථයේ රියදුරාගේ බව රිය සහායකගෙන් වෛද්‍යවරයා දැනගත්තේය.

ඊළඟට වූ සිදුවීම් මාලාව අපි ධම්මිකා කුමාරි මහත්මියගෙන්ම අසමු.

“මහත්තයාට ඔක්සිජන් දෙන්න ලෑස්ති වෙනකොට එයා කීවා “මට හුස්ම ගන්න අමාරුවක් නෑ. ඔක්සිජන් ඕන නෑ කීවා.” ඇත්තටම මාත් ඒ වෙලාවේ හිතුවේ මහත්තයාට එච්චර අමාරුවක් නැතිව ඇති කියලා. ගෙදරින් එනකොටත් මට කීවා වේගයෙන් මෝටර් සයිකලය පදින්න එපා. හෙමින් යන්. මට අමාරුවක් නෑ කියලා. ඒත් ඩොක්ටර් දැනගෙන තියෙනවා මහත්තයාට ටිකක් අමාරු බව.

“මහත්තයා ගිලන් රථයට දැම්මාට පස්සේ මම ඩොක්ටර්ගෙන් අහුවා “මාත් ලෙඩාත් එක්ක යන්න ද” කියලා. ඩොක්ටර් කීවා “ඔයා ගෑනු කෙනෙක් නේ. පිරිමියෙක් ඉන්නවා නම් යන්න පුළුවන්.” කියලා. ඒ වෙලාවේ පිරිමි කෙනෙක් හොයා ගන්ඩ මට වෙලාවක් තිබුණේ නෑ. අකරගල්ල ඉස්පිරිතාලේ ඇටන්ඩන් කෙනෙක් ගිලන් රථයට නැග්ගා. මම එයාගේ ටෙලිෆෝන් අංකය ඉල්ලා ගත්තා.

“හවස පහයි කාලට විතර ගිලන් රථය පිටත් වුණා. මම වරින් වර ඇටෙන්ඩන්ට කෝල් කළා. පළමු දෙවැනිවර කතා කරද්දී ඇටන්ඩන් කීවා ලෙඩාට අමාරුවක් නෑ. කියලා. ඊට පස්සේ මම මගේ නංගිගේ මහත්තයාට කෝල් කරලා කීවා. “මල්ලි අය්යාට අසනීප වෙලා කුරුණෑගල ඉස්පිරිතාලයට එව්වා. ඔයා ලෙඩා ළඟ නතර වෙන්න ඉස්පිරිතාලෙට යන්න කියලා.” ඒ මල්ලී පදිංචි වෙලා ඉන්නේ කුරුණෑගල කිට්ටුව. පස්සේ මල්ලි ඉස්පිරිතාලෙට ගිහින් මහත්තයාගේ විස්තර කියලා මෙහෙම ලෙඩෙක් ගෙනාවද කියලා අහලා තියෙනවා. ඒ වනවිටත් ලෙඩා රෝහලට අරන් ගිහින් නෑ. මල්ලී කීවා එයා කුරැණෑගල ඉස්පිරිතාලයට ඇවිත් ඒ වෙනකොට පැයක් විතර ගතවෙලා කියා.”

“මම නැවත ඇටන්ඩන්ට කතා කළා. ඒ ගමන එයා ෆෝන් එකට කතා කළා. මම කීවා ලෙඩා ළඟ නතර වෙන්නත් කෙනෙක් එව්වා. ඒත් තාම ලෙඩා රෝහලට අරන් ඇවිත් නෑ. ඔයගොල්ලෝ කොහේද ඉන්නේ කියලා. එයා කියනවා “ෆෝන් එක පිරිමි අයකුට දෙන්න කියලා. මම කීවා පිරිමි අය කවුරත් ගෙදර නෑ. මොකද වුණේ කියලා මට කියන්න කියලා. ළඟපාත ඉන්න පිරිමියෙකුට හරි ෆෝන් එක දෙන්න කියා ඔහු කීවා. එහෙම ළඟපාතකවත් කවුරුත් නෑ. දැන් ලෙඩාට කොහොමද මොකද වෙලා තියෙන්නේ කියා ඉක්මනට කියන්න කියලා මම ඇටන්ඩන්ට කීවා.”

“ලෙඩාට ටිකක් අමාරුයි. අපි දැන් කුරුණෑගලට කිට්ටුවට ඇවිත් ඉන්නේ කියා ඔහු කීවා. ඊළඟට මම මල්ලිට කතා කළා. මල්ලි කීවා දැන් ලෙඩා රෝහලට ගෙනාවා. අය්යට ටිකක් අමාරැ වාගේ පේන්නේ. ඇස් අරින්නෙත් නෑ වගේ. මම පස්සේ කතා කරලා විස්තර කියන්නම් කියලා.* මල්ලි කීවා. මල්ලි ඒ කියලා තියෙන්නේ බොරැ. ඒ වෙනකොට මගේ මහත්තයා මැරිලා ඉදලා තියෙන්නේ. මළකඳ තමයි කුරුණෑගල රෝහලට අරන් ගිහින් තියෙන්නේ.

රෝගියකු රෝහලකට ගිලන් රියකින් රැගෙන යද්දී කෙටිම, හොඳම මාර්ගයකින් රැගෙන යායුතු බවට නියමයක් ඇත. එහෙත් මේ රෝගියා රැගෙන ගොස් ඇත්තේ ඇහැටුවැව නගරයට ගොස් එතැන් සිට සාලියගම හන්දිය, මඩගල්ල පොල්පිතිගම, ඉබ්බාගමුව හරහා කුරුණෑගල මහ රෝහල දක්වා දුර පාරකිනි. මේ මාර්ගයේ ඇහැටුවැව සිට පොල්පිතිගම දක්වා කොටස රැලි වළගොඩැලි සහිත වාහන ධාවනයට අසීරු මාර්ගයකි. දුර ප්‍රමාණයෙන් ද වැඩි මාර්ගයකි.

අතරගල්ල ප්‍රාදේශීය රෝහලේ සිට කුරුණෑගල මහ රෝහලට යාමට ඇති කෙටිම මාර්ගය අඹන්පොළට පැමිණ පාදෙණිය, වාර්යපොළ හරහා කුරැණෑගලට පැමිණීමයි. මේ සම්පූර්ණ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කළ මඟකි.

හොඳට කෙටිම මාර්ගය මඟහැර මේ ගිලන් රථ රියැදුරු නොමගක ගොස් ඇත්තේ ගිලන් රථයෙන් රුගෙන ගිය තණකොළ මැෂිමක් සිය නිවසට රුගෙන යාමට බව මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ගිලන් රථ රියැදුරැගේ නිවස පිහිටා ඇත්තේ මඩගල්ල ප්‍රදේශයේ බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අතරගල්ල ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරි ඒ.එම්.එන්.එස්. බණ්ඩාර මහතාගෙන් අපි විමසුවෙමු. මේ ඒ මහතා ඊට දුන් පිළිතුරයි.

“ඔය කියන රෝගියා මේ මාසේ දොළොස් වැනිදා හවස 4.50ට හෝ පනස් පහට පමණ තමයි රෝහලට අරන් ආවේ. අපේ රෝහලේ හෙදියන් නෑනේ. ඒ නිසා උපස්ථායකයන් හා එකතු වෙලා ඊ.සී.ජී. පරීක්ෂණයක් රෝගියාගේ කළා. ඊට අනුව තත්ත්වය බැරූරුම් බව මට පැහැදිලි වුණා. රෝගියාව කුරුණෑගල මූලික රෝහලට මාරු කර යවන්න මම තීරණය කළා. ඒ අවස්ථාවේ අපේ රෝහලේ ගිලන් රථය තිබුණේ නෑ. මම අඹන්පොළ රෝහලට කතා කරලා ගිලන් රථය එවන්න කීවා. ඒ ඇමතුම දීලා ඊට විනාඩි දහයකට විතර පස්සේ ආයි එහාට ඇමතුමක් දුන්නා. කොහොම හරි විනාඩි දහයකට විතර පස්සේ ගිලන් රථය රෝහලට ආවා.

රෝගියා රෝද පුටුවක තබාගෙන ගිලන් රථය ළඟට අරන් ගියා. අපේ රෝහලේ උපස්ථායයෙකුත් සමඟ රෝගියා කුරැණෑගල මහ රෝහලට මාරු කර යැව්වා. ගිලන් රථයට ඔක්සිජන් ලබාදෙන යන්ත්‍රයකුත් දමා අවශ්‍ය උපදෙස් උපස්ථායකට ලබාදී පිටත් කර යැව්වා.

රාත්‍රී 8.30ට විතර අපේ උපස්ථායක මට ඇමතුමක් දුන්නා රෝගියා අතරමඟදී මිය ගියා කියලා. රෝගියා අපේ රෝහලෙන් අරන් ගියේ හවස 5.10ට විතර. මෙපමණ වේලාවක් කුරුණෑගලට යන්න ගත වුණේ කොහොමද කියන සැකය මට ඇති වුණා. මම උපස්ථායකයකගෙන් ඇහුවා මොන පාරෙන් ද ගියේ කියලා. ඇහැටුවැවෙන් මඩගල්ලට ගිහින් පොලිපිතිගම, ඉබ්බාගමුව හරහා ගිය බව ඔහු කීවා. එහෙම ගියේ ඇයි කියා ඇහුවාම ගිලන් රථ රියැදුරුගේ ගෙදරට ගිහින් තණකොළ මැෂිම ඒ ගෙදරට බාලා ගියා කියා ඔහු කීවා.

“අඹන්පොළට ගිහින් ගියා නම් වැඩිම වුණොත් පැය භාගයකින් කුරුණෑගලට යන්න පුළුවන්. නමුත් මේ අබලන් මාර්ගයේ ගිහින් පැය දෙකකට විතර පස්සේ තමයි කුරුණෑගල රෝහලට ගිහින් තියෙන්නේ. කුරුණෑගල මහා රෝහලට මළ සිරුර බාර දෙනකොට රෑ හතයි කාල විතර වෙලා තියෙනවා. රෝගියා මියගිහින් තියෙන්නේ ඉබ්බාගමුව හරියේදී. ඇහැටුවැවේ සිට බොහෝම හෙමින් ධාවනය කරගෙන ගිහින් රෝගියා මියගියාට පස්සේ එතැන ඉඳලා සයිරන්ස් නළාව හඬවමින් වේගයෙන් කුරැණෑගලට රෝහලට ධාවනය කළ බවක් දැන ගන්ඩ ලැබුණා.

“මම මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂතුමියටත්, පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂතුමාටත් ලිඛිතව දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ගියා.

කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි චම්පා ජේ. අලුත්වීර මහත්මියගෙන් ද අපි මේ සම්බන්ධයෙන් විමසුවෙමු.

“ඔය රෝගියාගේ මරණය ගැන පැමිණිලි ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කමිටුවක් දාලා ඉන්නවා. ඒ පරීක්ෂණ තාම පවත්වනවා. දෙපාර්තමේන්තු මට්ටමින් පවත්වන මූලික විමර්ශනයෙන් පසු ඒ කමිටුව චෝදනා පත්‍රයක් ඉදිරිපස. කළොත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ගිලන් රථ රියැදුරු නියමිත මාර්ගයේ රිය ධාවනය නොකළ බවට තමයි චෝදනා නැගෙන්නේ. විමර්ශනවලදී ඒ බව අනාවරණය වුණොත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව හා විනයානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවා.

පී.ආර්. ගුණතිලක මහතා දැන් මියගොස්ය. ඔහුගේ අකල් වියෝව වඩාත් දැනෙන්නේ ඒ බිරිඳටය. දෙදරුවන්ටය. ඔහු නැති හිඩැස යළි කෙදිනකවත් පිරවිය නොහැක.

ගල්ගමුව – නිහාල් ජයවීර

Loading...