ගිය සතියේ අම්පාර ප්‍රදේශයේ පැවති පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවකදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගැනිණි.

විමලවීර දිසානායක, සරත් වීරසේකර ආදී පළාතේ දේශපාලකයන් සහභාගි වූ මෙම හමුවේ මුලසුන ගත්තේ බැසිල් රාජපක්ෂ මහතාය.

ඔහු මුලසුනේ සිටියදී සභාව ඇමතූ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා තමන්ගේ පෞද්ගලික කැමැත්ත ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය බැසිල් රාජපක්ෂ මහතාට ලැබීම යැයි කීය.

සභාවේ සිටි පළාත් පාලන නියෝජිතයෝද එම අදහසට පක්ෂව ප්‍රතිචාර දැක්වූහ.

අනතුරුව සභාව අමතා කතා කළේ බැසිල් රාජපක්ෂ මහතාය.

ඔහු පවත්නා දේශපාලන තත්ත්වය පැහැදිලි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපතිතුමාට ජනපති ඡන්දය ඉල්ලන්න තිබෙන අවස්ථාව අහිමි කළ බව කීය.

ඊළඟට ගෝඨාභය රාජපක්ෂ හා තමන්ට විදේශ පුරවැසිකම් ඇතැයි කියමින් ඡන්දයට ඉදිරිපත් වීම වළක්වන්නට රජය නීති සම්මත කළ බව මතක් කළේය.

ඒ සියල්ල සඳහා මැතිසබයේදී අත එසැවූවන් වන අතර ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ද වන බව ඔහු කීය.

තමන් අදත් සිතන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු සුදුසුම අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් අපේක්ෂකත්වය ගැන මහින්ද රාජපක්ෂ මහතා සිය තීන්දුව ඉදිරියේදී ගන්නා බවද බැසිල් කීය.

මෙම රැස්වීම තබා ටික වේලාවකින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අම්පාරේ මන්ත්‍රී විමලවීර දිසානායකට දුරකතනයෙන් කතා කොට බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කළේ ඇයිදැයි විමසා පක්ෂය ඉදිරිපත් කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව නොදන්නේදැයි විමසීය.

මෙම ප්‍රශ්නයෙන් කේන්ති ගත් විමලවීර මන්ත්‍රීවරයා තමන් විවෘතව ප්‍රකාශ කළේ තමන්ගේ පෞද්ගලික මතය බවත් ඕනෑම මන්ත්‍රීවරයකුට කිසියම් මතයක් දරන්නට ඉඩකඩ තිබිය යුතු වගත් කීය.

අනතුරුව දෙදෙනා අතර මේ ගැන උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබිණි.

මෙම සිදුවීමෙන් සුළු වේලාවකට පසුව මහින්දානන්ද මතුකළ ප්‍රශ්නය ගැන විමලවීර මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතාට දැන්වූ අතර ඒ වන විට බැසිල් සමඟ සිටි ඔහුගේ සමීපතමයෝද ඒ ගැන මහින්දානන්දට දොස් කීහ.

තමන් විමලවීර මන්ත්‍රීවරයාගෙන් විමසූ ප්‍රශ්නයත් ඊට ඔහු දැක්වූ සැර ප්‍රතිචාරයත් නිසා කෝපයෙන් සිටි මහින්දානන්ද මේ කරුණ වහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ පක්ෂයේ ඇතැමුන් නැති ප්‍රශ්න ඇති කරන බවට චෝදනාවක්ද නගමිනි.

ඊට කන්දුන් මහින්ද රාජපක්ෂ මහතා ඊට පසුදා උදෑසනින්ම බැසිල් රාජපක්ෂ මහතා අමතා මේ ගැන ප්‍රශ්න කොට ඔහුගේ අනුගාමිකයන්ගේ මෙම කටයුතු නතර විය යුතු බව පෙන්වා දී ඇතැයිද දැනගන්නට ලැබිණි.

මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන දැඩි ලෙස කේන්තියෙන් සිටි බව ඔහුගේ කතාවෙන් පෙනිණි.

Loading...