පාතාලයේ වැඩ තවම ඉවර නැත. මාතර සිද්ධියෙන් පාතාලය යටගොස් සිටියත් කවදා කෙසේ උඩ එයිද කියා කවුරුත් දන්නේ නැත. කෙසේ වෙතත් පසුගියදා දකුණේ සිදු වූ තවත් මරණයකින් පසුව පාතාලයම හෙල්ලී ගොස් ඇත. ඒ පසුගියදා විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් මියගිය තිලක්ගේ සිද්ධියත් සමඟය.

තිලක් යනු මෙරට පාතාලයේ දකුණු අතකි. දකුණු අතක් යනු තිලක්ගේ ලොක්කා මාකඳුරේ මදූෂ්ය. මදූෂ්ගේ සියලු මුදල් සහ බෝට්ටු බලාකියා ගත්තේ මේ කියන්නා වූ තිලක්ය. තිලක්ගේ නම අපරාධ පොත්වල මීට කලින් ලියවී තිබුණේ නැත. මේ නිසා තිලක් දකුණේ පාතාලය තුළ සැඟවුණු චරිතයක් විය.

එහෙත් පසුව විශේෂ කාර්ය බලකාය සොයා බැලීමේදී හෙළිවූයේ තිලක් මීගමුව, ගම්පහ, ගාල්ල, නිකවැරටිය යන ප්‍රදේශවල මූල්‍ය ආයතන කොල්ල කා ඇති අයකු බවය. ඊට අමතරව අලුත්ගම සහ කඩවත යන ප්‍රදේශවල පුද්ගල ඝාතන සිද්ධි නවයකට ද සම්බන්ධ වී ඇති බවයි. මේ නිසා මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විශේෂ මෙහෙයුමක් සිදුකෙරෙමින් පැවතිණි.

පසුගියදා මාතර ඇති වූ සිද්ධියත් සමඟ විශේෂ කාර්ය බළකා නිලධාරීන් මාතර ප්‍රදේශයේ මෙහෙයුම් කර ඇත. මේ අතර බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇත්තේ අවිගත් කණ්ඩායමක් නිල්වලා විද්‍යා පීඨ ප්‍රදේශයේ සැරිසරන බවය. අවසානයේ නිලධාරීන් එම අවිගත් පිරිස පසුපස හඹා යද්දී ඇතිවූ වෙඩි හුවමාරුවක් හේතුවෙන් පුද්ගලයකු මියගියේය. පසුව ඒ ගැන සොයා බැලීමේදී මෙලෙස මියගොස් ඇත්තේ තිලක් බව බුද්ධි නිලධාරීන් දැනගත්තේය.

එම මරණයෙන් මදූෂ් දැඩි ලෙස කම්පනයට පත්ව ඇතැයි බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත. එසේම එපමණක් නොව මදූෂ් මරණ වැඩකටයුතු සඳහා ඩුබායි සිට රුපියල් 120,000 ක මුදලක් ද එවා ඇත. කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ මදූෂ්ගේ කණ්ඩායම යම් ආකාරයක දකුණේ පහළ බැසීමක් සිදුවී ඇති බවද සඳහන් වේ.

Loading...