Loading...

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය තවත් පැය කිහිපයකින් ආරම්භ වන්නේ 1998 ලෝක ශූරයන් වූ ප්‍රංශය සහ යුරෝපයේ තවත් ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන බෙල්ජියම අතර තරඟයෙන්.

මෙම කණ්ඩායම් දෙකම මෙවර ලෝක ශූරතාව දිනා ගනු ඇතැයි අනාවැකි පළ වී තිබූ අතර, ඉන් එක් කණ්ඩායමක් ඉරිදා මොස්කව් හිදී පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇති.

ගෝල 4-3ක් ලෙස ආජන්ටිනාව පරාජය කරමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, බෙල්ජියම ඒ සඳහා සුදුසුකම් ලැබුයේ 5 වරක් ලෝක ශූරයන් වූ බ්‍රසීලය ගෝල දෙකට එකක් ලෙස පරාජය කරමින්.

ප්‍රංශය, 1998 ලෝක ශූරයන් වුවත්, මෙවර තරඟාවලියේ අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයේදී බෙල්ජියම ඉදිරියෙන් සිටින බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.

1903 වසරේ සිට කණ්ඩායම් දෙක මීට පෙර 73 වතාවක් එකිනෙකාට එරෙහිව තරඟ වැදී ඇති අතර, ඉන් 30 වතාවක් බෙල්ජියමත්, 24 වරක් ප්‍රංශයත් ජයග්‍රහණය කර තිබෙනවා.

බෙල්ජියම මෙවර තරඟාවලියේ සියළු තරඟ නියමිත කාලය තුළ ජය ගැනීමත් කැපී පෙණුනා.

මේ අතර 1966 ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායම සහ ක්‍රොඒෂියාව හෙට (11)  දෙවන අවසන් පූර්ව තරඟයට මුහුණ දෙනවා.

Loading...