Loading...

පාපන්දු ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගය තව පැය දෙකකින් පමණ ආරම්භ වීමට නියමිතයි.

ඒ එංගලන්තය සහ ක්‍රොයේෂියාව අතරයි.

1966 වසරේ දී ලෝක ශූරයින් වූ එංගලන්තයට වසර 52කට පසු ලෝක කුසලානයේ අවසාන මහා තරගයක අත්දැකීම නැවතත් විඳ ගැනීමේ අවස්ථාව අද හිමි වී තිබෙනවා.

එමෙන්ම 1998 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තෙවන ස්ථාවය දිනාගත් ‍ක්‍රොයේෂියාව අද තරගය ජයගතහොත් ඉතිහාසයේ පළමු වරට අවසාන මහා තරගයක ඉඩකඩ වෙන් කර ගැනීමට හැකිවෙනවා.

මෙවර තරගාවලියේ වැඩිම ගෝලලාභියා ලෙස රන් සපත්තුවට හිමිකම් දැරීමේ වැඩි ඉඩකඩක් ඇති ක්‍රීඩකයා වන හැරී කේන් සිටින්නේ ද අද තරගයට එක්වන එංගලන්ත කණ්ඩායමේයි.

මේ නිසා සහ අනෙකුත් දෑ සැළකිල්ලට ගත් විට එංගලන්ත කණ්ඩායමට අද තරගයේ වැඩි වාසි හිමිවනු ඇති බව ක්‍රීඩා විචාරකයින් සඳහන් කර තිබුණා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසාන මහා තරගයේ දී හමුවන්නේ ඊයේ තරගයෙන් ජයගත් ප්‍රංශය සමගයි.

එංගලන්තය සහ ක්‍රොයේෂියාව අතර තීරණාත්මක අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිතයි.

Loading...