පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගයට පැමිණෙන කණ්ඩායම් දෙක පිළිබඳව මීට සුළු මොහොතකට පෙර තීරණය වූයේ අවසන් පූර්ව දෙවැනි තරගයේ ජය ක්‍රොයේෂියාව හිමිකරගැනීමත් සමගයි.

(ඡායාරූප සඳහා පහළට යන්න)

ඒ අනුව ප්‍රබල එංගලන්ත කණ්ඩායම 2-1ක් ලෙස පරාජයට පත් කළ ‍ක්‍රොයේෂියාව ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරගයේ දී ප්‍රංශ කණ්ඩායම සමග ලෝක කුසලානය සඳහා සටන් වදිනු ඇති.

මීට සුළු මොහොතකට පෙර නිමා වූ තරගය ආරම්භයේ සිටම එංගලන්ත කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය විශේෂයෙන්ම කැපී පෙණුනා.

තරගයේ පළමු ගොලය 5වැනි විනාඩියේ දී රැස් කිරීමට එංගලන්තය සමත් වීමම ඔවුන්ගේ තියුණු ආක්‍රමණයට උදාහරණ සැපයූවා.

එමෙන්ම තරගයේ පළමු අර්ධය තුළ ක්‍රොයේෂියාව වෙත එකදු ගෝලයක් හෝ ලබා නොදීමට ද ඔවුන් වගබලාගත්තේ ජයග්‍රහණයේ බලාපොරොත්තු එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුළ දල්වමින්.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව ක්‍රොයේෂියාවේ ඉවාන් පෙරිසිච් විසින් ගෝලයක් ලබා ගත්තේ යළිත් දෙපාර්ශවයම සම තත්ත්වයට ඇද දමමින්.

එතැන් සිට එංගලන්ත කණ්ඩායම නැවතත් ගෝලයක් වෙනුවෙන් සටන් වැදීමට සිදුවූ අතර එය සාර්ථක කරගැනීමට ක්‍රොයේෂියානුවන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කිසිවෙකු නොසිතූ ලෙස තරගයේ අවසන් අදියරේ දී මාරියෝ මන්සුකිච් විසින් ක්‍රොයේෂියාව වෙනුවෙන් තවත් ගොලයක් වාර්තා කළේ එංගලන්ත කණ්ඩායම කම්පනයට ලක් කරමින්.

පසුව මෙතෙක් කල් රැගෙන ආ දක්ෂතාවල ගෞරවය ආරක්ෂා කරගැනීමට ප්‍රබල සටනක යෙදුණු එංගලන්තය එම සටනින් කඳුළු සළමින් පරාජයට පත් වූයේ ලබා දුන් අමතර කාලය ද නිමා වීම හේතුවෙන්.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ක්‍රොයේෂියාව පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගයක් වෙත පිවිසුණේ සිය රටෙහි නාමය ඉතිහාසයේ රන් අකුරින් සටහන් කරමින්.

පළමු අවසන් පූර්ව තරගය බෙල්ජියම් කණ්ඩායම පරදවා ජයගත් ප්‍රංශය සහ ක්‍රොයේෂියාව අතර අවසාන මහා තරගය ලබන ඉරිදා (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වූ බෙල්ජියම සහ මෙම තරගයෙන් පරාජයට පත් වූ එංගලන්තය සෙනසුරාදා තරග වදින්නේ තරගාවලියේ තෙවැනි ස්ථානය ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

Loading...