රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන ආණ්ඩුවේ බෝඩිම තුළ ආරක්ෂිතව රැඳී සිටිමින් රටටම වින කරන පිරිසකට වැඩ වරදින ලකුණු පහළ වී තිබේ. ජනාධිපතිවරයා සිදුකළ තදබල ප්‍රකාශයක් සමගිනි. මත් ජාවාරම් වැරැදි සඳහා මරණ දඬුවම හිමිව තිබියදීත්, ආණ්ඩුවේ සිරගෙදර සිට තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනා පිරිසට මරණ දඬුවම ලබාදීමට අවශ්‍ය ජනාධිපති අනුමැතිය ලබාදීමට තමන් ක්‍රියාකරන බවට ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. මරණ දඬුවම පොතට පමණක් සීමාකර තිබීම නිසා රටේ අපරාධ ඉහළ යන බවට විවිධ සමාජ ස්ථර තුළින් විවේචන ඉදිරිපත්ව තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමද එවැන්නකි. මේ නිසා තවදුරටත් පොතට සීමා නොවී නීතිය ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා තීන්දුකර තිබේ.

ලංකාව තුළ මත් ජාවාරමට සම්බන්ධ තත්ත්වය දිනෙන් දිනම ඉහළ යමින් පවතී. ලක්ෂ දෙකහමාරකට ආසන්න තරුණ පිරිසක් මේ සඳහා ඇබ්බැහිව සිටින බව වාර්තාගතය. එයිනුත් 50,000කට ආසන්න සංඛ්‍යාවක් හෙරොයින් ඇබ්බැහියට නතුව සිටින බව මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ගිය වසරේදීය. එසේම මෑතකාලීනව රටට එන මත්කුඩු ප්‍රමාණය අතිශය ඉහළ මට්ටමකට පත්ව තිබේ. මේ සියල්ල පසුපස සිටින මහ මොළකරුවන් පිරිසක් නිදැල්ලේ සිටින අතර තවත් කිහිප දෙනෙක් සිටින්නේ ආණ්ඩුවේ බෝඩිම තුළය. ඒ සිය අපරාධ ඔප්පු වී ලංකාවේ දිය හැකි දැඩිම දඬුවම වන මරණ දඬුවමටද ලක්වය. 

මරණ දඬුවම පොතට පමණක් සීමා වී තිබෙන හෙයින්, මේ අය සිරගෙදර සිටම සිය ඉපැරැණි වෘත්තිය කරදරයක් නොමැතිවම අරඹා තිබේ. ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගන්නට සිතා ඇත්තේ මේ පිරිසගේ ක්‍රියාකලාපය එළිදරව් වීමත් සමගය. මරණ දඬුවම බලාත්මක කිරීම මෑතකාලීන අපේ රටේ ජනතාවට මඳක් ආගන්තුක බවක් දක්වන ආන්දෝලනයකට ලක්වන කාරණාවකි. එසේ වුවද ලෝකයේ බොහෝ රටවල මේ වනවිටත් මරණ දඬුවම ක්‍රියාත්මකය. පිලිපීනයේ නම් එය මහපාරටද පැතිර ගිය “කුඩු දඩයමක්” බවට පත්ව හමාරය.

ලෝකයේ රටවල් 32ක මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මකය. එයින් රටවල් 4ක් හැර අනෙක් සියල්ලම වාගේ ආසියාකරයේ හෝ මැදපෙරදිග රටවල්ය. නමුත් මේ බොහෝ රටවලද අපේ රටේ මෙන් ඒවා තිබෙන්නේ පොතට පමණක් සීමා වීය. ඒ වෙනුවට ලැබෙන්නේ ජීවිතාන්තය දක්වා ආණ්ඩුවේ වියදමින් මහඋළුගෙදර බෝඩිම් වීමේ වරමකි. මේ අන්දමට පොතට පමණක් මරණ දඬුවම සීමා කළ රටවල් දාහතරක් දක්නට ලැබේ. කියුබාව සහ අමෙරිකාවද එයට උදාහරණයන්ය. ආසියාතික හෝ මැදපෙරදිග නොවන මත් ජාවාරම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක රටවල් අතරට මේ කියන රටවල් දෙක හැර සුඩානය සහ දකුණු සුඩානයද අයත්ය. නමුත් මරණ දඬුවම නොකඩවා නොපමාව ක්‍රියාත්මක රටවල් හයක් ලෝකයේ දක්නට ලැබේ. චීනය, ඉරානය, සවුදි අරාබිය, වියට්නාමය, මලයාසියාව සහ සිංගප්පූරුවයි.

මත් ජාවාරම්කරුවන් මහමගදීත් වෙඩි තබා ඝාතනය කරන රට හැටියට දැන් ලෝකය තුළ අලුත් ප්‍රසිද්ධියක් වගා දිගා කරගන ඇත්තේ පිලිපීනයයි. එරට පවතින්නේ කුඩු සුද්දය සඳහා වූ යුද්ධයකි. මේ ඊයේ පෙරේදාත් එරට හිටපු නගරාධිපතිවරුන් දෙදෙනෙක් ප්‍රසිද්ධ ස්ථානවලදී වෙඩි ප්‍රහාරයට ලක්වූහ. ඔවුන් දෙදෙනාම මත්ජාවාරමට අතහිත දෙන නමුත් ප්‍රසිද්ධියේ ඒ ගැන විරෝධය පළකළ අයයි. මේ වනවිට පිලිපීනය මානව හිමිකම් චෝදනාවලටද තදබල ලෙස යටත්ව තිබේ. කෙටිකලකදී දුටු දුටු තැන මිනිසුන් රැසක් මරා දැමීම හේතුවෙනි. මේ මරාදැමීම් සංඛ්‍යාව 2018 ජනවාරි වන විට 12,000ක් ලෙස ලේඛනවල සටහන්ව තිබුණද ඒ ගැන ඇති වෙනත් වාර්තා පෙන්වා දෙන්නේ එය 20,000ටත් වැඩි බවය.

බටහිර චිත්‍රපටවල පෙන්වන ආකාරයේ මිනීමරුවන් හඹා ගොස් මරා දමන මිනිස් දඩයක්කරුවන් බවට දැන් පිලිපීනයේ විවිධ තරාතිරම්වල පිරිස පත්ව සිටිති. එහිදී ඔවුන් හඹාගොස් ඝාතනය කරන්නේ මත් ජාවාරමට සම්බන්ධ සිල්ලර කුඩු කාරයන් මෙන්ම මහමොළ කාරයන්ය. ඒ ඝාතනවලට මිලක් නියම වී තිබේ. එලෙස ඝාතන සඳහා මිලක් නියම වීම නිසාම දැන් එරට අලුත් ආරක මත්ජාවාරමුන් ඝාතන සංස්කෘතියක් බිහිව හමාරය. එහි නව ජනාධිපති ඩ්‍යුටර්ටේගේ මැතිවරණ පොරොන්දුවක් ලෙසටය.

ඉන්දුනීසියාවද දැන් මත් ජාවාරම්කරුවන් සඳහා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන රටක් හැටියට නමක් දිනා හමාරය. මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉත්තන් බවට පත්වූ විදේශිකයන්ට පවා එරටදී දෙවරක් නොසිතාම මරණ දඬුවම ක්‍රියාත්මකය. 2014 වසරේ බලයට ආ නව ජනාධිපති ජොකෝ විඩෝඩෝ තදින්ම මතට එරෙහි තිත තබන්නෙකි. ආසියාකරයේ මත් ජාවාරම් කේන්ද්‍රය ලෙස කාලාන්තරයක් තිස්සේ සිය රටට ඇලවී ඇති කළු ලේබලය ඉරා දැමීම ඔහුගේද අරමුණයි. එරටේදී 2014 වසරට පෙර 1999 සිට මත් වැරුදි සඳහා මරණ දඬුවම ක්‍රියාත්මකව ඇත්තේ හත් වතාවකි. නමුත් විඩෝඩෝ පාලනය යටතේ දඬුවම ක්‍රියාත්මක වීම කඩිනම්ව තිබේ. කෙතරම් කඩිනම් වූයේද යත් 2015 දී බ්‍රසීලය සහ නෙදර්ලන්තය එරට සමඟ තානාපති සබඳකම් අත්හැරීමට තරම් කලබල වූහ. සිය රටවැසියන් දෙදෙනකුට මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් මරණ දඬුවම දීම නිසාය. එසේ වුවද ජනතාවගේ සල්ලි වියදම් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමුන් නඩත්තු කරනවාට වඩා චෝදනා සනාථ වූ සැණින් ඔවුන් සමාජ පිළිකාවක් සේ සලකා ඉවත්කර දැමීම දැන් එරටද ප්‍රතිපත්තිය වී තිබේ. ඉන්දුනීසියාව සිය රටට මත්ද්‍රව්‍ය ගෙන එන්නවුන් පමණක් නොව රට තුළ සිට පිටතට මත්ද්‍රව්‍ය ගෙනයන පිරිසද එකසේ එක ලෙසට මරණ දඬුවමට ලක්කරයි.

ඉරානයද මත් ජාවාරම්කරුවන් නමැති පිළිකාව සමාජ දේහයෙන් ඉවත් කිරීමේ ක්ෂණික ශල්‍යකර්මය ලෙස මරණ දඬුවම අකුරටම ක්‍රියාත්මක කරන රටකි. 2008 ට පෙර එරට එබඳු දඬුවම් වාර්තා වී තිබුණේ සියයකට අඩුවෙනි. නමුත් 2015 වසරේ මුල් කාර්තුවේදී පමණක් 241ක් මරණ දඬුවමට ලක් කැරිණි. ඒ වසර තුළ 977ක් මේ ලෙස දඬුවමට ලක්විය. මත්කුඩු ග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමග හසුවන ඕනෑම අයකුට ඉරානයේදී පෝරකය ස්ථීර ලෙසම සූදානම් කර තිබේ. බංග්ලාදේශය තුළද මත් ජාවාරම අහස උසට ඉහළ ගොස් තිබේ. මේ නිසා එරට තුළද මතට එරෙහිව තිත තබන්නට මරණ දඬුවම ක්‍රියාත්මකය.

චීනයද මත් ජාවාරමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක රටකි. එරටදීද වරද ඔප්පු වූ වහාම මත් ජාවාරම්කරුවන් දඬුවමට ලක්කෙරේ. නමුත් චීනය තමන්ගේ මේ මරණ ලැයිස්තු එළියට දෙන්නේ නැත. ඒ නිසා එරට මතට එරෙහි යාන්ත්‍රණය සෙසු ලෝකයාගෙන් වැසීගිය ක්‍රියාන්විතයක්ව තිබේ.

පාකිස්තානය 2015 වසරේදී එතෙක් කාලයක් අපේ රටේ මෙන් මරණ දඬුවම නියම වූ මත් ජාවාරම්කරුවන් මහ උළුගෙදරට ගාල්කර තැබූ අනුකම්පාව අත්හැර දැමීමට තීන්දු කළේය. ඒ වනවිට මත් ජාවාරම්කරුවන්ද ඇතුළත් 8000ක පිරිසක් මරණ ලැයිස්තු ගතව සිටියහ. ගාසා තීරය ඉරාකය ලිබියාව උතුරු කොරියාව, සුඩානය, දකුණු සුඩානය සහ සිරියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නමුදු, මේ සම්බන්ධව දත්ත පිට ලෝකයට නොලැබෙන තරම්ය.

මත්ද්‍රව්‍ය වැරැදි සඳහා ජීවිතාන්ත සිරදඬුවම් ක්‍රියාත්මක කරන රටවල් අතර කුවේටය මුල්තැන ගෙන තිබේ. ඕනෑම ප්‍රමාණයක් කුඩු අතේ තිබුණත් ජීවිතාන්තය දක්වා ආණ්ඩුවේ බෝඩිමට යන්නට සිදුවේ. එරට ජනගහනයෙන්, සියයට 4ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව වාර්තාවේ. අමෙරිකාව තුළද හෙරොයින් ප්‍රධාන මත්ද්‍රව්‍ය සඳහා දිවි ඇතිතෙක් හිරේ දැමීම ක්‍රියාත්මකය. සයිප්‍රසය තුළද ඕනෑම ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සහිතව හසුවන කෙනෙකුට හිමිවන්නේ ජීවිතාන්ත සිර දඬුවමයි.

ආසියාවට සාපේක්ෂව ගත්කළ මත් ජාවාරමට එරෙහිව ඇතැම් රටවල් තුළ ඇත්තේ ලිහිල් නීතියකි. නිදසුනක් හැටියට තමන්ගේ භාවිතයට කියා ගංජා ටිකක් ළඟ තබාගැනීම අමෙරිකාවේ ප්‍රාන්ත හතරක් ඇතුළු ලතින් ඇමෙරිකානු රටවලදී වරදක් නොවේ. බොහෝ යුරෝපීය රටවලද උරුගුවේ රාජ්ජයේද මේ අපූරු නිදහස ක්‍රියාත්මකය.

ලෝකයේ පොහොසත් රටවල් බොහෝමයක් කුඩු ඇබ්බැහිය රෝගයක් ලෙස සලකා ප්‍රතිකාර සැපැයීමට දැන් දැන් නැඹුරුව සිටිති. මේ සමහර රටවල පිරිසුදු එන්නත් කටු සහ උපකරණ පහසුවෙන් ලබාගත හැකි ලෙස විවෘත වෙළෙඳපළේ සුලබ කර තිබේ. බ්‍රිතාන්‍ය සහ ස්විස්ටර්ලන්තය වැනි රටවල දැන් සමහර කුඩ්ඩන්ට අවශ්‍ය කුඩුවේලක් බෙහෙත් සාප්පු මගින් ලබාදෙන තරමටම කාරුණික බවත් පැතිරී හමාරය. මේ සම්බන්ධව දැන් තදබල විවේචන මතුව තිබේ. කුඩු ජාවාරමට උඩගෙඩි දීමක් ලෙස සලකමිනි. මත් ජාවාරම සඳහා හොඳම සහ එකම විසඳුම “විසඝෝර සර්පයා දැක නෑර මෝඩයා” පිළියම බව පිලිපීනයේ වීදි සටන් කලාව තහවුරු කර හමාරය.

► සුගත් පී. කුලතුංගආරච්චි

Loading...