වැලිපැන්න කුරුඳුවත්ත මාර්ගය ඔස්‌සේ ධාවනය වූ යතුරු පැදි දෙකක්‌ මීගම මංසන්ධියේ පහන් කණුවක්‌ අසල නතර කෙරිණි. යතුරුපැදි දෙකේ පුද්ගලයන් සිව්දෙනෙකි.

ඔවුන් සියලුදෙනාම මුහුණු ආවරණය වන හිස්‌ වැසුම් පැළඳ සිටියහ. මේ පුද්ගලයන් වැලිපැන්න කුරුඳුවත්ත ප්‍රදේශයට ආගන්තුකයන්ය. යතුරුපැදි නතර කළ පුද්ගලයන් කිසියම් කතිකාවක යෙදෙන්නට වූහ.

ඒ වන විට රාත්‍රි හතේ හෝරාව පසු වී තිබුණේය. යතුරුපැදිවල සිටි පුද්ගලයන් සඟවාගෙන සිටි පිස්‌තෝල තුනක්‌ ඉවතට ඇද ගත්හ. මීගම හන්දියේ විදුලි පහන් එළියෙන් රිදී පැහැති පිස්‌තෝල දිලිසුණේය.

“සංජීවය හැංගිලා ඉන්නේ මේ පාරේ තියෙන හතර වැනි ගෙයි. ගෙදරට පැනලා ඉන්න හැම එකාටම තියලා දාපල්ලා”

සන්නද්ධ කල්ලියට නායකත්වය දුන් මැරයා තම සගයන්ට කීවේය. මේ සිදුවන්නට යන්නේ මහා අපරාධයකි. ඒ බව වැලිපැන්න කුරුඳුවත්ත ප්‍රදේශයේ කිසිවකු දැන සිටියේ නැත.

යතුරුපැදිකරුවන් මීගම මාර්ගය ඔස්‌සේ ඉදිරියට ඇදුණේය. ‘ජෝසා’ ගේ ආරක්‍ෂිත නිවාසය තිබුණේ මීගම මාවතේය. ජෝසාගේ සමීපතම මිතුරා වූ සංජීව සැඟවී සිටියේ ද මේ නිවසේය. පාතාල මැරයන් පැමිණ සිටියේ සංජීව සහ නිවසේ සිටින සියලුදෙනා ඝාතනය කිරීමටය.

ජෝසාගේ නිවස අසල යතුරුපැදි දෙක නතර වුණේය. නිවස ඉදිරිපිට ජෝසාගේ තුන් හැවිරිදි පුංචි දරුවා සෙල්ලම් කරමින් සිටියේය. පාතාල මැරයන්ට එය ගණනක්‌ නැත. නිවස ඉදිරිපිට කාන්තාවක්‌ ඇතුළු කීපදෙනකුම සිටියහ.

සන්නද්ධ කණ්‌ඩායම ක්‍රියාත්මක වූහ. මුළු කුරුඳුවත්ත ප්‍රදේශයම දෙවනත් කරමින් වෙඩි පිට වෙඩි පිට වුණේය. ජෝසාගේ අහිංසක නොදරුවා වෙඩි ප්‍රහාරයට ලක්‌ව බිම වැටී මරහඬ දෙන්නට වුණේය. අසල්වැසි කාන්තාවක්‌ ද වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගොස්‌ සිටියහ.

සන්නද්ධ කල්ලියට ඝාතනය කිරීමට අවශ්‍ය සිටි සංජීව නිවසේ සිටියේ නැත. ඒ වෙනුවට මැරයන් අතින් ඝාතනය වූයේ අසල්වැසි අහිංසක කාන්තාවකි. ජෝසාගේ තුන් හැවිරිදි පුත්‍රයා ද බරපතළ තුවාල ලැබුවද, ජීවත්වීමේ වාසනාව ඒ නොදරුවාට හිමිව තිබුණේය.

මේ ප්‍රහාරය එල්ල වන්නේ ඉකුත් 2015 වර්ෂයේදී ය. කොස්‌ගොඩ සුජීගේ පාතාල කල්ලිය සහ මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය අතර කාලයක පටන් පවතින මාර යුද්ධය මේ ප්‍රහාරයට හේතු වී තිබුණේය.

මේ වෙඩි තැබීම සිදුවන විට ජෝසා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ ය. ඒ වන විට ජෝසා මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියේ අංක එකේ නායකයකුව සිටියේය. ජෝසා යනු කිසිම අණක්‌ ගුණක්‌ නැති මිනිස්‌කමක්‌ නොහඳුනන අපරාධකාරයෙකි. ජෝසා උපන්නේ ඇල්පිටිය මත්තක ප්‍රදේශයේ දුෂ්කර ගමක ය. දිළිඳු පවුලක උපත ලැබූ ජෝසා රැකියාව ලෙස තෝරා ගන්නේ යුද හමුදා සේවයයි. 1997 වර්ෂයේදී හමුදාවට එක්‌ වූ මොහු උතුර – නැගෙනහිර ක්‍රියාන්විතයේ රාජකාරි කළේය. අසාමාන්‍ය කාය ශක්‌තියකින් හෙබි ජෝසාට එකවර තුන් හතර දෙනෙකු සමඟ වුවද සටන් කළ හැකිය.

ඒ අසාමාන්‍ය කාය ශක්‌තිය නිසාම ජෝසාට යුද හමුදා බොක්‌සිං කණ්‌ඩායමට එක්‌වීමට අවස්‌ථාව ලැබුණේය.

යුද්ධ කිරීම පසෙක තැබූ ජෝසා බොක්‌සිං වළල්ල තෝරා ගත්තේය. යුද හමුදාවේ සේවය කරන තරුණයන් කීපදෙනෙකු ජෝසාගේ සමීපතම මිතුරන් වූහ. මේ තරුණයන්ට අසීමිත මුදල් අවශ්‍යතා තිබුණේය.

මුදල් උපයා ගන්නා කෙටි මාර්ග ගැන ඔවුන් සොයන්නට වූහ. ඉක්‌මනින් සල්ලි හොයන්න නම් බැංකුවක්‌ කඩන්න ඕනෙ. එහෙමත් නැත්නම් ජුවලරි ෂොප් එකක්‌ මංකොල්ල කන්න ඕනෙ. ජෝසා තම සගයන්ට යෝජනා කළේය. මිතුරන්ගෙන් ද ඊට ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි.

“අපි ඩියුටි ඉන්න අතරේ මොකක්‌ හරි ගේම් එකක්‌ දෙමු. එහෙම උනාට අපිව අහුවෙන්නෙ නැහැනෙ.”

නාගොඩ නගරයේ රන් ආභරණ අලෙවිසලක්‌ කොල්ලකන්නට ජෝසා ඇතුළු හමුදා කල්ලිය සැලසුම් කළහ. මේ සිදුවීම වන්නේ අදින් වසර 15 කට උඩදී එනම් 2003 වර්ෂයේදී ය.

ජෝසා ඇතුළු හමුදා සාමාජිකයන් ආයුධවලින් සන්නද්ධව නාගොඩ නගරයේ ජුවලරි සාප්පුවකට කඩා වැදී රුපියල් ලක්‍ෂ ගණනක රන් ආභරණ සහ මුදල් කොල්ල කෑහ.

ජෝසා ඇතුළු සගයන් සිතා සිටියේ මේ අපරාධය කිසි දිනක හෙළි නොවනු ඇතැයි කියාය. එහෙත් වැඩි දවසක්‌ ඔවුන්ට හමුදා සේවයේ සිටින්නට ඉඩ ලැබුණේ නැත. මංකොල්ලය පිළිබඳ විමර්ශන කළ පොලිස්‌ නිලධාරීන් ජෝසා ඇතුළු සගයන් කරමුලින්ම අල්ලා ගත්හ. හමුදා සේවයට ආයුබෝවන් කියූ ජෝසා හට සිදුවුණේ ගාල්ල බන්ධනාගාරය තම වාසස්‌ථානය ලෙස තෝරාගැනීමටය. ජෝසාගේ ජීවිතය කණපිට පෙරළෙන්නට පටන් ගන්නේ ගාල්ල බන්ධනාගාරයේ ගත කළ කාල සීමාවේදී ය.

මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ඒ වන විට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියේය. හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි මධුෂ් ඒ වන විට ප්‍රබල පාතාල චරිතයක්‌ බවට පත්ව සිටියේ නැත. ජෝසා ගාල්ල බන්ධනාගාරය වෙත පැමිණි දිනයේම මධුෂ් ඔහු හමුවීමට ආවේය.

“මම උඹ ගැන අහලා තියෙනවා. උඹලා වගේ ෆිට්‌ කොල්ලෝ ටිකක්‌ තමයි මට ඕනෙ කරන්නේ. අපි එකතුවෙලා වැඩ කරමු.”

මාකඳුරේ මධුෂ් ජෝසාගේ දැත් දැඩිව ග්‍රහණය කරගෙන කීවේය. ඒ වන විට මාකඳුරේ මධුෂ් දකුණු පළාතේ පාතාල කෙරුම්කාරයකු වීමට සිහින මවමින් සිටියේය. බන්ධනාගාරය තුළ ගත කළ කාල සීමාව තුළදී ජෝසා සහ මධුෂ් සමීප මිතුරන් බවට පත් වූහ.

“එළියට ගිය ගමන් උඹ මගේ බිස්‌නස්‌වලට හවුල් වෙයන්. මාසෙකින් දෙකකින් මම උඹව කෝටිපතියෙක්‌ කරන්නම්.”

මධුෂ් තම සමීප මිතුරා වූ ජෝසාට කීවේය. බල්ලන් මරා හෝ මුදල් ඉපයීමේ ආසාවෙන් සිටි ජෝසා මධුෂ්ගේ යෝජනාවට එක පයින් කැමැති වුණේය. බන්ධනාගාරයෙන් නිදහස්‌ව පැමිණි දිනයේම ජෝසා තම සමීපතම මිතුරා වූ මධුෂ් සොයා ආවේය. ඒ වන විට මධුෂ් සිටියේ ද ඇප මත නිදහස ලබාගෙනය.

“මම උඹව මගේ බිස්‌නස්‌ එකේ මේන් ඩීලර් කෙනෙක්‌ කරනවා. උඹට තියෙන්නේ අවංකව ඒ වැඩේ කරන්න…….”

මධුෂ් තම හෙරොයින් ජාවාරමේ කොටස්‌කාරයකු ලෙස ජෝසා සම්බන්ධ කර ගත්තේය. නීත්‍යනුකූල නොවන මුහුදු මාර්ග හරහා තොග පිටින් මධුෂ්ට ලැබෙන හෙරොයින් බෙදා හැරීමේ නියෝජිතයකු ලෙස ජෝසා කටයුතු කරන්නට පටන් ගත්තේ එතැන් සිටය.

හෙරොයින් ජාවාරම්වලට අමතරව මහා පරිමාණ කොල්ලකෑම් සිදු කිරීමට ද ජෝසා අමතක කළේ නැත. ධනවත් පුද්ගලයන්ට මරණීය තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීම ද ජෝසාගේ තවත් ආදායම් මාර්ගයක්‌ විය.

ජෝසා සතුව ඕනෑ තරම් නීති විරෝධී ගිනි අවි තිබුණේය. අපරාධ සඳහා මොහු ඒ අවි ආයුධ කුලී පදනම මත ලබා දෙමින් මුදල් ඉපයුවේය.

නීති විරෝධී අවි ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධීන් කීපයක්‌ සම්බන්ධයෙන් ම ජෝසා අත්අඩංගුවට පත් වුණේය. මාතර, ගාල්ල, ඇල්පිටිය, මතුගම ඇතුළු තවත් අධිකරණ කීපයක ජෝසාට එරෙහිව නඩු විභාග වුණේ ඔහු කාලාන්තරයක්‌ තිස්‌සේ කළ අපරාධවල ප්‍රතිඵලයන් ලෙසය.

ඉවක්‌ බවක්‌ නොමැතිව තම ප්‍රතිවාදීන් ඝාතනය කරමින් මාකඳුරේ මධුෂ් දකුණේ අංක එකේ පාතාල නායකයා වෙද්දී ඔහු සමීපයේම සිටියේ ජෝසා ය. මාකඳුරේ මධුෂ්ට දකුණේ පාතාල කිරුළ අත්පත් කරදීමට ජෝසා තරම් වෙහෙස වූවකු නොමැති තරම් ය.

මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ තමන් වෙත පැවරුණු කොටස අකුරටම ක්‍රියාත්මක කළ ජෝසා ඒ හරහා විශාල ධනයක්‌ ද උපයා ගත්තේය.

පාතාල අපරාධකාරයන් මර්දනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක කළ මෙහෙයුම් හමුවේ බියට පත්වූ මධුෂ් ඩුබායි දේශයට පලා යන්නේ තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහාය.

මධුෂ් විදේශ ගත වීමෙන් පසු ඔහුගේ හෙරොයින් ජාවාරමේ විශාල වගකීමක්‌ පැවරී තිබුණේ ජෝසා වෙතය. ජෝසා තම ගෝලබාලයන් යොදවාගෙන හෙරොයින් ජාවාරම මෙන්ම මධුෂ්ගේ අනෙකුත් අපරාධ ක්‍රියාවලියන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන ගියේය.

ජෝසාගේ සමීපතම මිතුරා වූයේ සංජීවය. සංජීව ද ඇල්පිටියේම පදිංචිකරුවෙකි. ජෝසාගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධාන භූමිකාවක්‌ සංජීවට තිබුණේය.

කොස්‌ගොඩ සුජී නමැති පාතාල මැරයාද දකුණු පළාත කේන්ද්‍ර කරගෙන හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගිය පාතාල නායකයෙකි. කොස්‌ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් ජන්මාන්තර වෛරකාරයන් වන්නේ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් නිසාය.

ජෝසාගේ මිතුරා වන සංජීව කොස්‌ගොඩ සුජීගේ හෙරොයින් කල්ලිය සමග ගැටුමක්‌ ඇති කර ගත්තේය. ඒ ගැටුමට හේතුවී තිබුණේ ද හෙරොයින් බෙදාහැරීමේදී ඇති වූ ආරවුල්ය.

සංජීව ඝාතනය කිරීම සඳහා කොස්‌ගොඩ සුජී තම කල්ලියේ ඝාතකයන් සිව්දෙනකු යොදවන්නේ මාකඳුරේ මධුෂ්ට පාඩමක්‌ ඉගැන්වීමේ අරමුණෙන්ය. සංජීව සැඟවී සිටින්නේ ජෝසාට අයත් වැලිපැන්න කුරුඳුවත්තේ පිහිටි ආරක්‍ෂිත නිවාසයේ බව සොයාගත් කොස්‌ගොඩ සුජීගේ කල්ලියේ සාමාජිකයන් ඊට ප්‍රහාර එල්ල කළහ.

ජෝසාගේ තුන් හැවිරිදි පුත්‍රයා තුවාල ලබන්නේ මේ ප්‍රහාරයේදී ය. තම දරුවාට කොස්‌ගොඩ සුජීගේ ගෝලයන් වෙඩි තබද්දී ජෝසා සිටියෙ වැලිකඩ බන්ධනාගාරයේ ය.

ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධියකට වැරදිකරුවකු වී ජෝසා වසර තුනක සිරදඬුවමක්‌ විඳිමින් සිටියේය.

කොස්‌ගොඩ සුජීගේ මැරයන් තම දරුවාට වෙඩි තැබූ බව ඇසීමෙන් ජෝසා දැඩි කම්පනයට පත් වුණේය. හිත්පිත් නැති මැරයකු වුවද ජෝසා තම දරුවාට පණ මෙන් ආදරය කළේය.

“මගේ දරුවට වෙඩි තියපු උන් එකෙකුටවත් මම යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ. ඔවුන් බුරුතු පිටින් පරලොව යවනවා……”

තම දරුවා වෙඩි ප්‍රහාරයට ලක්‌වූ පුවත සැලවීමත් සමඟම ජෝසා කෝපයෙන් කෑ ගැසුවේය.

තම නොදරුවාට වෙඩි තැබූ නරුමයන් පිළිබඳව තොරතුරු ලබා ගන්නා ලෙස ජෝසා පාතාල සගයන්ට නියෝග කළේය. බන්ධනාගාරගතව සිටියද ජෝසා තම ජංගම දුරකථනය නිදහසේ පාවිච්චි කළේය. තම නොදරුවට වෙඩි තැබූ පුද්ගලයන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් පිළිබඳව සියලු විස්‌තර ජෝසාගේ සගයන් ඔහුට ලබා දුන්හ.

“ජෝසා උඹේ දරුවට වෙඩි තිබ්බෙ කොස්‌ගොඩ සුජියගෙ ටීම් එකක්‌. වෙඩි තියපු උන් ගැන හැම විස්‌තරයක්‌ ම හොයා ගත්තා ඒත් උන් ආගිය අතක්‌ නැහැ.”

ජෝසාගේ තොරතුරු ජාලයේ පාතාල සගයන් කොස්‌ගොඩ සුජීගේ කල්ලියේ කුලී ඝාතකයන්ගේ තොරතුරු සොයන්නට වූහ. ඒ සියලු තොරතුරු ඔවුන් නිරතුරුවම ජෝසා වෙත වාර්තා කිරීමට වගබලා ගත්හ.

මේ ඇටෑක්‌ එකට ඔත්තු බැලුවේ උඹේම ගමේ එකෙක්‌. නිමල්සිරි කියන බ්‍රොකර් තමයි උඹේ දරුවට වෙඩි තියන්න ඔත්තුව දුන්නේ.”

මේ තොරතුරු ඇසීමෙන් ජෝසා දැඩි ලෙස කෝපයට පත් වුණේය.

“මම තව වැඩි දවසක්‌ මේක ඇතුළෙ ඉන්නේ නැහැ. එළියට ආව ගමන් මේකට ගෑවුණ ගෑවුණු උන් සේරම බාවනවා.”

හිරෙන් නිදහස්‌ වූ විගස පළිගැනීමට සිටින පුද්ගලයන්ගේ ලැයිස්‌තුව සකස්‌ කළ ජෝසා ඒ සඳහා අවශ්‍ය සැලසුම් ද සකස්‌ කළේය.

නීති විරෝධී ගිනි අවි ළඟ තබාගැනීමට වැරදිකරුව වසර තුනක කාලයක්‌ සිරදඬුවම් විඳි ජෝසා ඉන් නිදහස ලැබුවේ පසුගිය සතියේය. නිදහස ලබා පැමිණි ජෝසා වැලිපැන්නේ පිහිටි නිවසට ගියේ නැත. රත්මලානේ පිහිටි ආරක්‍ෂිත නිවාසයක දින කීපයක්‌ ගත කළ ජෝසා තම දරුවාට වෙඩි තැබු පුද්ගලයන්ගෙන් පළිගැනීමේ සැලසුම් සකස්‌ කළේය. දරුවට වෙඩි තැබූ කොස්‌ගොඩ සුජීගේ කුලී ඝාතකයන් පිළිබඳව තොරතුරක්‌ සොයා ගැනීමට ජෝසාට ඉඩ ලැබුණේ නැත. ඔවුන්ගෙන් පළිගැනීම පසෙක තැබූ ජෝසා වැලිපැන්නේ නිවස ආසන්නයේ පදිංචිව සිටින නිමල්සිරි ඝාතනය කිරීමට සැලසුමක්‌ සකස්‌ කළේය.

“නිමල්සිරියවයි උගේ දරුවවයි නැති කළාම තමයි මට නින්ද යන්නේ. උන් මගේ අහිංසක නොදරුවව නැති කරන්න හැදුවේ. ඒකෙ වාඩුව ගත්තෙ නැත්නම් මම ජෝසා නෙවෙයි.” ජෝසා තම සගයන්ට කීවේය. නිමල්සිරි කොස්‌ගොඩ සුජිගේ කල්ලිය සමඟ සබඳතා පැවැත්වූ අයකු බව ජෝසා කාලයක සිට දැන සිටියේය. එහෙත් තෝරුන් මෝරුන් සිටියදී හාල්මැස්‌සන් ගෙන් පළි ගැනීම වැදගැම්මකට ඇති ක්‍රියාවක්‌ නොවන නිසා ජෝසා නිමල්සිරිට අනතුරක්‌ කළේ නැත.

එහෙත් තම නිවසට පැන දරුවට සහ අසල්වැසි කාන්තාවට වෙඩි තැබීමට නිමල්සිරි ඔත්තු බැලූ බව සැලවීමත් සමඟම ජෝසාගේ වෛරය දෙගුණ තෙගුණ වී තිබුණේය. අපි මේ වැඩේට වාහනයක්‌ ගන්න ඕනෑ. උඹලා ගිහින් රෙන්ට්‌ එකට කාර් එකක්‌ අරගෙන වරෙල්ලා. වැඩේට ඕන කරන වෙපන් මගේ ළඟ තියෙනවා.

ජෝසා තම සගයන්ට උපදෙස්‌ දුන්නේය. ජෝසාගේ ගෝලබාලයන් රත්මලානේ පිහිටි වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයකින් මරුටි වර්ගයේ රථයක්‌ ලබා ගත්තේ දිනකට රුපියල් පන්දහසක මුදලක්‌ ලබා දෙන පොරොන්දුව මතය. ඉකුත් 16 වැනිදා ජෝසා තම සහචරයන් තිදෙනෙකු ද සමඟ රත්මලානෙන් පිටත් වුණේ වැලිපැන්නේ පිහිටි ආරක්‍ෂිත නිවාසය වෙත රෑබෝ වීමට පෙර යන බලාපොරොත්තුව ඇතිවය.

මෝටර් රථය ධාවනය කළේ ගාලු පාර ඔස්‌සේය. පයාගල ඈතගම ප්‍රදේශයේදී කිසිවකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුණ දෙන්නට ජෝසා ඇතුළු සගයන්ට සිදුවිය.

වෙනත් මෝටර් රථයක පැමිණි පිරිසක්‌ මාර්ගය හරස්‌ කරගෙන සිටීම නිසා කෝපයට පත් වූ ජෝසා ඔවුන් සමඟ පැටලුණේය. බහින්බස්‌වීම දුරදිග යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත.

ජෝසා සඟවාගෙන සිටි මිලි මීටර් නවය වර්ගයේ පිස්‌තෝලය පිටතට ඇදගෙන වෙඩි තබන්නට සූදානම් වුණේය. ඒ වන විට ඈතගම ප්‍රදේශයේ සෑහෙන පිරිසක්‌ මේ කෝලහලයට මැදිව සිටියහ. ජෝසා පිස්‌තෝලය ලෝඩ් කරද්දී එම උණ්‌ඩයක්‌ බිම වැටුණේය. අන්ධකාරය නිසා බිම වැටුණු උණ්‌ඩය සොයා ගැනීමට ජෝසාට හැකි වුණේ නැත.

ගැටුම ගොඩින් බේරා ගත් ජෝසාගේ සගයන් හෙමිහිට මාරු වුණේ අනවශ්‍ය ප්‍රශ්නයකට මැදිවීමට අවශ්‍ය නොවූ නිසා ය. පිස්‌තෝලයක්‌ පෙන්වමින් චණ්‌ඩිකම් කළ මැරයා පිළිබඳව තොරතුරු පයාගල පොලිසියට ලැබෙන්නේ ප්‍රදේශවාසීන්ගෙන් ය. මේ සිදුවීම වූ ස්‌ථානයට පැමිණි පොලිසිය විමර්ශන ආරම්භ කළහ.

“සර් මෙන්න මේ පිස්‌තෝල උණ්‌ඩය වැටිල තිබුණා. කාර් එකේ ආව මනුස්‌සය ළඟ තිබුණු පිස්‌තෝලෙ උණ්‌ඩයක්‌ මේක. ප්‍රදේශවාසියකු අහුලාගත් පිස්‌තෝල උණ්‌ඩය පයාගල පොලිසියේ නිලධාරීන් වෙත භාර කෙරුණි. එමෙන්ම ජෝසා ඇතුළු මැරයන් පැමිණි මෝටර් රථයේ අංකය ද ඒ වන විට පොලිසිය අතට පත්ව තිබුණේය.

පයාගලදී සොයාගත් පිස්‌තෝල උණ්‌ඩය කිසියම් භයානක සිදුවීමක පෙර නිමිත්තක්‌ බව තේරුම් ගත් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා මේ පිළිබඳ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළේය.

කළුතර කොට්‌ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක තිලංග සංජීව මහතා හසල දැනුමක්‌ ඇති නිලධාරියෙකි. පිස්‌තෝල උණ්‌ඩය පිටුපස සැඟවුණු අභිරහස සෙවීමේ භාරදූර කාර්ය පොලිස්‌ පරීක්‍ෂක තිලංග සංජීව වෙත භාරදීමට උපුල් නිල්මිණි ආරියරත්න මහතා පියවර ගත්තේය.

“මේ පිස්‌තෝල උණ්‌ඩය මොකක්‌ හරි ලොකු අපරාධයක මුල් පියවරක්‌ වෙන්න පුළුවන්. මේ සිද්ධිය වෙන වෙලාවෙ එතන හිටපු ටීම් එක කව්ද කියලා හොයාගන්න. වාහනේ නොම්මරේ තියන නිසා අයිතිකාරයා කවුද කියලා බලාගන්න පුළුවන්. විමර්ශනය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා තරුණ පොලිස්‌ පරීක්‍ෂකවරයාට උපදෙස්‌ දුන්නේය.

ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිස්‌ පරීක්‍ෂක තිලංග සංජීව මහතා ඇතුළු නිලධාරීන් සන්නද්ධ පිරිස පැමිණි වාහනය ඔස්‌සේ සිය විමර්ශන කටයුතු ආරම්භ කළේය. මෝටර් රථය රත්මලාන ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ආයතනයකින් ලබාගත් එකක්‌ බව පොලිස්‌ නිලධාරීන් සොයාගත්තේය. කුලියට ලබාදුන් වාහනයේ හැඩරුව සහ වර්ණය සොයා ගත් පොලිස්‌ පරීක්‍ෂක තිලංග සංජීව පයාගල ඈතගමදී දෙපිරිසක්‌ අතර ගැටුම සිදු වූ ස්‌ථානයේ සිට මාර්ගයේ වෙළෙඳසල්, නිවාසවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කළේය.

මෙය ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. එහෙත් පොලිස්‌ නිලධාරීන් තමන්ට ලැබුණු අභියෝගය භාරගෙන තිබුණේ එය කෙසේ හෝ ජයග්‍රහණය කරන ස්‌ථිර අධිෂ්ඨානයෙන් යුතුවය. මෝටර් රථයේ පැමිණි මැරයන්ගේ හැඩරුව සොයාගත් පොලිස්‌ නිලධාරීන් ඔවුන් පිළිබඳව වෙන වෙනම විමර්ශන කිරීමට පටන් ගත්හ.

පැය විසිහතරක්‌ තිස්‌සේ එක දිගට කළ විමර්ශනවල සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්නට පොලිස්‌ පරීක්‍ෂක තිලංග සංජීව ඇතුළු නිලධාරීන්ට හැකි විය.

පයාගලදී ගැටුමට සම්බන්ධ වූ මැර පිරිස රැගත් මරුති වර්ගයේ මෝටර් රථය වැලිපැන්න ප්‍රදේශයට ධාවනය වී ඇති බව පොලිස්‌ නිලධාරීන් අනාවරණය කර ගත්තේය.

සන්නද්ධ පාතාල කණ්‌ඩායමක්‌ කිසියම් මිනිස්‌ ඝාතනයක්‌ සඳහා පැමිණ වැලිපැන්න ප්‍රදේශයේ සැරිසරන බව ද ඒ වන විට පොලිස්‌ නිලධාරින් සොයාගෙන සිටියහ.

“එකත් එකට මේ වාහනේ එන්න ඇත්තේ ඔය අන්ඩවර්ල්ඩ් ටීම් එක තමයි. අපි ප්‍රමාද වුණොත් ලොකු විනාශයක්‌ වෙන්න පුළුවන්” පොලිස්‌ පරීක්‍ෂකවරයා සිය විමර්ශන කටයුතු කඩිනම් කළේ කිසියම් අපරාධයක්‌ සිදුවීමට ඉඩ ඇති බවට සැක පහල වීම නිසාය.

විමර්ශනයේදී හෙළිකරගත් සියලු කරුණු කාරණා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ සහකාර පොලිස්‌ අධිකාරි සංජිව ඉරසිංහ මහත්වරුන් වෙත ලබාදුන් පොලිස්‌ පරීක්‍ෂක තිලංග සංජීව මහතා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස්‌ ලබා ගත්තේය.

පොලිස්‌ කණ්‌ඩායම වැලිපැන්න ප්‍රදේශය ආවරණය වන පරිදි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළේ මරුති මෝටර් රථයේ පැමිණ අතුරුදන් වූ පාතාල කල්ලිය සොයා ගැනීම සඳහා ය. දිවා රාත්‍රී නිදි වර්ජිතව කළ මෙහෙයුම සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේය. වැලිපැන්න කුරුඳුවත්ත මීගම ප්‍රදේශයේ නිවසක්‌ වැටලූ පොලිස්‌ කණ්‌ඩායම ජෝසා ඇතුළු පාතාල සාමාජිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැබැවින්ම එය පොලිස්‌ නිලධාරීන්ගේ දක්‍ෂතාව සහ කැපවීමේ ප්‍රතිඵලයකි. එසේ නොවන්නට ජෝසා ඇතුළු කල්ලිය වැලිපැන්නේදී නිමල්සිරි සහ ඔහුගේ දරුවා ඝාතනය කරනු නිසැකය.

බිම වැටී තිබූ පිස්‌තෝල උණ්‌ඩය අපරාධ ගණනාවක සුලමුල හෙළි කළේය. දරුණු අපරාධකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට මාර්ගය පාදා දුන්නේය.

ජෝසා රටේ නමගිය අපරාධකාරයකු වන්නේ මාකඳුරේ මධුෂ්ගෙන් ලැබුණු ගුරුහරුකම් වලින්ය. මාකඳුරේ මධුෂ් නමැති පාපතරයා මුළු රටම ආවරණය වන පරිදි පාතාල බළකායක්‌ නිර්මාණය කර හමාරය.

මේ වන විට රටේ සිදුවන පාතාල අපරාධවලින් 90% ක්‌ පිටුපස සිටින්නේ මාකඳුරේ මධුෂ් ය. එහෙමත් නැත්නම් ඔහුගේ ගෝලබාලයන් ය. මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ඩුබායි දේශයේ සැඟවී සිටින බව අද පාසල් දරුවන් පවා දන්නේය. වසර ගණනක්‌ තිස්‌සේ මේ නරුමයා සිදු කරන අපරාධවල නිමක්‌ නැත. කොටින්ම රටේ නීතිය තුට්‌ටුවකට මායිම් නොකරන මේ නරුමයා තමන්ට රිසි සේ මිනිසුන් මරා දමයි. මහා පරිමාණ කුඩු ජාවාරමේ නිරත වෙයි. ව්‍යාපාරිකයන් මෙන්ම ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් මරණීය තර්ජන කර රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් ගනියි.

රටේ නීතිය හාස්‍යයට ලක්‌කරමින් තමන්ට රිසි සේ අපරාධවල නිරත වන මේ පාතාල මැරයා තවමත් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම ගැන වර්තමාන රජය මෙන්ම පොලිස්‌ දෙපාර්තමේන්තුව ලැඡ්ජා විය යුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. මැලේසියාවේ සැඟ වී සිටියදී ඔහු කුදලාගෙන ඒමට එදා ආරක්‍ෂක අංශවලට හැකි විය.

එදා ඒ වික්‍රමයන් සිදුකළ ආරක්‍ෂක අංශ අද නිද්‍රවට පත්ව සිටීම කනගාටුවට කරුණකි. රටේ අහිංසක ජනතාවගේ ජීවිත උකසට තබමින් රටේ නීතියට සිය නිරුවත පෙන්වන මේ පාතාල මැරයා අල්ලා ගැනීමට පොලිසිය මේ වනතුරුත් කිසිම ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවා නැත.

මෙවැනි පාතාල මැරයන් මට්‌ටු කර රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් පොලිසියට මිදිය නොහැක.

  • හේමන්ත රන්දුණු
Loading...