පසුගිය කැබිනට් රැස්වීමේ දී අර්ජුන රණතුංග සහ ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව වාර්තා වෙනවා.

ඒ ක්‍රිකට් නිලවරණය සම්බන්ධවයි.

ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළ යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග විසින් සිදු කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

තමා කටයුතු කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මත බවට ෆයිසර් මුස්තාපා පවසද්දී අර්ජුන රණතුංග ඔහුට චෝදනා කර ඇත්තේ ඒ පිළිබඳව නිසි ලෙස කටයුතු නොකළ බවට යි.

ඊට ආවේගශීලීව ප්‍රතිචාර දැක්වූ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපති නීතීඥයෙකු වන තමන් නීතිය හොඳින් දන්නා බවයි.

තමා කටයුතු කරන්නේ නීත්‍යානුකූලව ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට බවයි ඔහු එහි දී ප්‍රකාශ කොට ඇත්තේ.

මෙම අවස්ථාවේ දී එම කතාබහට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැදිහත් වී තිබෙනවා.

ඔහු අර්ජුන රණතුංග අමාත්‍යවරයාට ප්‍රකාශ කොට ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතු වලට සම්බන්ධ නොවී තමන්ට පැවරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙසයි.

මේ අතර පෙරේදා පැවැති උත්සවයක් අමතමින් අර්ජුන රණතුංග සිය අමාත්‍ය ධූරය පිළිබඳව අවිනිශ්චිත බවකින් අදහස් පළ කරනු ද දක්නට ලැබුණා.

Loading...