ස්වේච්ඡාවෙන් රෝහල්ගතව සිටින රෝගීන්ට සේවය කරන අපූරු පුද්ගලයකු පසුගියදා ත්‍රිකුණාමලය මහ රෝහලේදී අපට හමුවිය.

මුස්ලිම් ජාතිකයකු වන ඔහු නමින් මොහොමඩ් රාෆික්ය.

දැනට ත්‍රිකුණාමලය නගරයේ ජලසම්පාදන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලයේ පයිප්ප වෑද්දුම්කරුවකු ලෙස සේවයේ නියුතුව සිටී.

අපට ඔහු මුණගැසුණුදා වන විට ඔහු වසර දෙකකුත් දින 300ක් නොකඩවා මේ ස්වේච්ඡා සේවයේ යෙදී සිටින බව අප සමඟ පැවැසීය.

සෑම දිනකම රැකියාවට යෑමට ප්‍රථම පෙරවරු 6.30ට පමණ රෝහලට පැමිණෙන ඔහු රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙරවරු 7.45 පමණ වන තුරු කැප කරයි.

රෝහලේ 16 වාට්ටුවේදී ඔහු අපට හමුවූ අතර වාට්ටු කිහිපයක් සඳහාම තම සේවය ලබාදෙන බව රාෆික් මහතා අප සමඟ පැවැසීය.

නේවාසික රෝගීන්ගේ කෑමබීම ආදිය සපයා දීම, වැසිකිළි – කැසිකිළි රැගෙන යෑම ආදිය පමණක් නොව පැම්පස් මාරු කිරීම දක්වා වූ ඕනෑම කටයුත්තක් තමා ඉටු කරනුයේ ඉතාමත් කැමැත්තෙන් බව හෙතෙම පවසයි.

ඔහු රෝහලේ අප සිටි වාට්ටුවට පැමිණි පසුව බොහෝ රෝගීන් ඉතාමත් සිනහමුසු මුහුණින් ඔහුව පිළිගත් බව අපට දක්නට ලැබිණි.

ඇතැම් රෝගීන් බැලීමට කිසිවකු නොපැමිණ සිටි අවස්ථාවලට රාෆික් මහතා එම අය වෙත ගොස් සිනහ මුසු මුහුණින් යුතුව සුවදුක් විචාලේ එම අඩුව සම්පූර්ණ කිරීමට මෙනි.

අප සමඟ හඬ අවදි කළ ඔහු මෙසේ පැවැසීය.

“මම අවුරුදු දෙකයි දවස් 300ක් නොකඩවා මේ වැඩේ කරනවා. එක දවසක්වත් කැඩුනේ නැහැ. දෙයියන්ට තමයි ඒකට ස්තුති කරන්න ඕනෑ. මම කියන්න කැමැති නැහැ නමුත් මම රෝගීන්ට අවශ්‍ය වෙන හැම දෙයක්ම කරලා දෙනවා. මම ත්‍රිකුණාමලයේ කාලි කෝවිල ආසන්නයේ නීර් මූසිර්හි පදිංචිව සිටිනවා. දැනට ජලසම්පාදනේ පයිප්ප බාස් කෙනෙක් විදියට වැඩ කරනවා. මට ළමයි තුන්දෙනයි. එක්කෙනෙක් ගැහැනු ළමයෙක්. අනිත් දෙන්නම පුතාලා.

එක්කෙනෙක් පේරාදෙණිය කැම්පස් එකේ වාණිජ අංශයේ ඉගෙනුම ලබනවා. ලොකු පුතා ගිනි නිවන අංශයේ රැකියාව කරනවා. පොඩි කාලේ 78-80 වගේ කාලයේ මම රෝහල් වාට්ටුවේ ඉදිආප්ප විකුණුවා. පස්සේ මම මෑතකදී මක්කම ගියා. එහේ ගිහින් එන ගමන් කල්පනා වුණේ පොඩි කාලේ ඉදිආප්ප විකුණපු විදිය. ඒත් එක්කම මට හිතුණා රෝහලේ ඉන්න රෝගීන්ට උපකාර කරන එක තමයි හොඳම වැඩේ කියලා. ඊට පස්සේ තමයි මේ වැඩේ පටන් ගත්තේ.

මම උදේ 7.45 වෙනකම් මෙහේ ඉන්නවා. කවුරුත් මාව එළවන්නේ නැහැ. මට කරන්න උපකාරයක් තිබුණොත් කරනවා. නැත්නම් අහනවා මොනවද කරලා දෙන්න ඕනෑ කියලා. සමහරු දැන් මාව දන්න නිසා මට අඬ ගහනවා මේ මේ උදව්ව කරලා දෙන්න කියලා. මට කිසිම අඩුවක් නැහැ. ඉතින් මම හරිම විනෝදෙන් සහ කැමැත්තෙන් තමයි මේ වැඩේ කරන්නේ”

සියල්ල මුදල් මත තීරණය වන සහ මුදල් පසුපස හඹා යන සමාජයක මනුස්සකම සෝදාපාලු වී ගිහින් තිබෙන මෙවන් අවධියක මොහොමඩ් රාෆික් මහතා පරමාදර්ශී චරිතයකි.

කෙනකුට උදවු කිරීමට හෝ උපකාර කිරීමට අවශ්‍ය නම් කොතෙක් මංපෙත් විවරව පවතින්නේද යන්නද රාෆික් මහතාගෙන් අපට උගත හැකිව තිබේ.

– ජනනාත් වික්‍රමසිංහ

Loading...