Loading...

මහජන චීනයේ යුද හමුදා දිනය නිමිත්තෙන් කොළඹ චීන තානාපතිවරයා සංවිධානය කළ විශේෂ උත්සවයක් හා සාදයක් පසුගිය දා කොළඹදී පැවැත්විණි.

මෙම උත්සවයට ජනාධිපති, අගමැති, හිටපු ජනපති, විපක්ෂ නායක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු ප්‍රභූ පිරිසකටද අමාත්‍යවරුන් ගණනාවකටද දේශපාලනඥයන් රැසකටද ආරාධනා කර තිබිණි.

එහෙත් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඊට සහභාගි වූයේ නැත.

හිටපු ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ප්‍රභූවරු ඊට එක්වූහ.

ජෝන් අමරතුංග, රන්ජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුද එක්ව සිටියහ. සම්පන්දන් මහතා, මහින්ද රාජපක්ෂ මහතා සිටියේ එක ළඟ අසුන්වලය.

සුපුරුදු ලෙස මහින්ද කලකින් තමා හමුවුණ විපක්ෂ නායක සම්පන්දන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් රටේ තොටේ තත්ත්වය කොහොමද කියා ප්‍රශ්න කළේය.

එවිට විපක්ෂ නායකවරයා කීවේ ජනතාවට දැඩි අර්ථික අමාරුකම් තිබෙන වගත් දුප්පත් උදවිය සෑහෙන අසීරුවෙන් ජීවිතය ගෙන යන බවත්ය.

“උතුරට මේ රජයෙන් අපේක්ෂා කළ සංවර්ධන ප්‍රතිලාභ ලැබුණේ නැහැ නේද?”

මහින්ද සම්පන්දන්ගෙන් කෙළින්ම ප්‍රශ්න කළේ ඒ මොහොතේය.

ඊට පිළිතුරක් නොදී සිනහවකින් පමණක් උත්තරදුන් සම්පන්දන්ට මහින්ද කීවේ “මම උතුරේ පාරවල් හැදුවා. රේල්පාර හදල කෝච්චි දාලා දුන්නා. තවත් නොයෙක් සංවර්ධන වැඩ කළා. හැබැයි මෙයාල මුකුත් කළේ නැහැ. ඒත් ඔයාල ආණ්ඩුවට උදව් කළා. ඉතින් තවදුරටත් මේ විදියට ගියොත් ඔයාලගේ පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කරාවි. පක්ෂ විනාශ වේවි. එතකොට දෙමළ සන්ධානය වෙනුවට අලුත් පක්ෂ හැදේවි” කියා ය.

ඒ මොහොතේ අසලට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දුටු විපක්ෂ නායකවරයා සුහද බව පළ කරද්දී “කොහොමද මිස්ටර් සම්පන්දන් අපි හුඟ කාලෙකින් නේද හමුවුණේ” කියමින් කෙටි සුහද කතාබහක නිරත විය.

ඒ මොහොතේ අසල සිටි ජෝන් අමරතුංග අමාත්‍යවරයා මහින්ද හා ගෝඨාභය අසලට පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තවත් මාස දෙකකින් තමන්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරෙන බව මතක් කළේය.

“ඒකට සර් ලොකු උත්සවයක් ගන්නයි අපේ හිතවතුන් සූදානම් වෙන්නේ” යැයි ජෝන් අමරතුංග කියන විට මහින්ද රාපජක්ෂ සඳහන් කළේ “ඔව්. ඔව්… අපටත් කියන්න අපි අනිවාර්යයෙන්ම එනවා” කියායි.

මේ කතාබහ යන අතර නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර ද ඒ අසලට පැමිණියේය.

ඔහු දුටු ගමන් හිටපු ජනපතිවරයා විහිළුවෙන් මෙන් ප්‍රශ්න කළේ “ආ රන්ජිත් ඔයාල රාජපක්ෂ පවුලම හිරේ දාන්නද යන්නේ…?” කියායි.

එහිදී සිනහසුණු මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පිළිතුරක් දුන්නේ නැත.

“කොහොමද දැන් පළාත් සභා ඡන්දෙ? උතුරෙත් ඡන්දය තියෙනවද?” හිටපු ජනපති ප්‍රශ්න කළේය.

“මොකද නැත්තෙ තියනව… තියනව….” රන්ජිත් අමාත්‍යවරයා පිළිතුරු ලෙස කීය.

“ඔබතුමා මොණරාගල පැත්තෙ එහෙම ගියේ නැද්ද… ගෝඨාභය මහත්තය නම් ගිහිල්ල තිබුණා…” යැයි අමාත්‍ය රන්ජිත් කියද්දී “ඇයි නැත්තෙ අපි නිතර යනවා” යැයි මහින්ද කීය.

Loading...